ජනපතිවරණයට හොඳ අපේක්ෂකයෙක් | දිනමිණ

ජනපතිවරණයට හොඳ අපේක්ෂකයෙක්

පසුගිය ඔක්තෝම්බර් 26 වැනි දින සිදු වූ ජනපති අගමැති විරසකය නිසා රටට විශාල පාඩුවක් වුණ බවත්, ජාත්‍යන්තරයෙන් ආධාර ලබා ගැනීමේ දී අප කෙරෙහි තිබෙන විශ්වාසය පළුදු වූ බවත් ඇමැති රවුෆ් හකීම් මහතා පවසයි.

නගර සැලසුම්,ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මහතා ඉරිදා (17) මාතලේ දිස්ත්‍රික්කයේ ගලේවෙල ජල සම්පාදන කාර්යාල පරිශ්‍රය විවෘත කිරීමේ උත්සවයට එක් වෙමින් මේ බව පැවසීය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය රවුෆ් හකීම් මහතා,

නීතියෙන් අපට නැවත ආණ්ඩුව ලබා දුන්නා. දැන් එක්සත් ජාතික පක්ෂය තනිවම ආණ්ඩුව ගෙනියනවා. මේ අය-වැයේ දී මන්ත්‍රීවරු 27ක් විතර ඡන්දය නොදී පැනලා ගියා. හිටපු ජනපතිතුමා කියනවා අපට අය-වැය පරද්දන්න තිබුණා කියලා. ඒත් මතක තියාගත යුතුයි ද්‍රවිඩ සන්ධානය ඇතුළු අනෙක් පක්ෂ ආණ්ඩුවත් එක්ක ඉන්නකොට ඡන්දය පරදින්නේ නැහැ කියලා. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොහොට්ටුව සමඟ එකතු වෙන්න අකමැති බව පේනවා. ලබන ජනපතිවරණයෙන් හොඳ අපේක්ෂකයෙක් අපි ඉදිරිපත් කර ජයග්‍රහණය කරනවා.

2015 වසරේ සිට මේ දක්වා මෙරට ජනතාවගේ පිරිසුදු පානීය ජල අවශ්‍යතා සපුරන්නට රුපියල් බිලියන 1150ක ආයෝජනයක් කර තිබෙනවා.බිලියන 1150ක් ආයෝජනයක් කියන්නේ විශාල මුදලක්. එවැනි විශාල ආයෝජනයක් සිදු කළේ මුදල්වලින් මැනිය නොහැකි දීර්ඝ කාලීන විසඳුමක් විශාල ජනතාවකට ලබා දෙමින්. ඒවගේම මේ වසරේ රට පුරා ගම් 1000කට ප්‍රජා ජල ව්‍යාපෘති පටන් ගන්නවා. මාතර දිස්ත්‍රික්කයේ ගම් 20කට මාර්තුවේ ආරම්භ කරමින් සැප්තැම්බර්වල දී අවසන් කෙරෙන ව්‍යාපෘති නිල වශයෙන් ආරම්භ කළා. එහිදී මුදල් ඇමතිතුමා පොරොන්දු වුණා ජල ගැටලුව විසඳීම සඳහා මේ වසරේ මුල දී අය වැයෙන් රුපියල් මිලියන 1500කුත් වසර අවසානයේ තවත් රුපියල් මිලියන 1500කුත් ලබා දෙන්නට.

මේ ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් ඉබ්බන්කොටුව වැවෙන් ජලය ලබා ගනිමින් නවීන තාක්ෂණයෙන් යුත් ජල පවිත්‍රාගාරයක් ඉදි කළා. එය මීට වසර පහකට පමණ පෙර පටන් ගෙන පසුගිය වසරේ නිම කළා. ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාමසේවා වසම් 18ක් ආවරණය වන පරිදි රුපියල් මිලියන 10 000ක් වැය කරමින් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්නට කටයුතු මේ වනවිට සූදානම්. එම මුදල ඉන්දියානු අපනයන බැංකුවෙන් ඩොලර් මිලියන 75කට ආසන්න මුදලක් වශයෙන් ලබා ගැනීමට කටයුතු කරන තිබෙනවා. එම රුපියල් මිලියන 10 000ට අමතරව තවත් රුපියල් මිලියන 8000ක් අවශ්‍ය වෙන අතර එය දේශීය බැංකුවකින් සහන ණය ක්‍රමයක් අනුව ලබා ගන්නට බලාපොරොත්තු වෙනවා.

එසේ ම නාවුල සිට වතුර අරගෙන ග්‍රාමසේවක වසම් 15ක් ආවරණය කළ හැකි තවත් ව්‍යාපෘතියක් අපි ආරම්භ කරන්නට කටයුතු සැලසුම් කරලා තිබෙනවා. ඉහළ බිම්බාව ප්‍රදේශයේ ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 15ක් යොමු කරලා තිබෙනවා.


නව අදහස දක්වන්න