ප්‍රීමියර් ලීග් පාපන්දු ශූරතාව ශ්‍රී ලංකා පොලීසියට | දිනමිණ

ප්‍රීමියර් ලීග් පාපන්දු ශූරතාව ශ්‍රී ලංකා පොලීසියට

ප්‍රින්ස් ගුණසේකර

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සංවිධාන කළ අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ ප්‍රීමියර් ලීග් තරගාවලියේ ශූරතාව ශ්‍රී ලංකා පොලීසිය දිනයි. මාවනැල්ල සෙරන්ඩිබ් ක්‍රීඩා සමාජය සමග පැවැති අවසන් මහා තරගයෙන් ගෝල් 2-1ක ජයක් පොලිසියට හිමිවූ අතර පළමු පෙළ තරගාවලියේ අවසන් සටනට පිවිසි මෙම කණ්ඩායම් දෙක එළැඹෙන චැම්පියන් ලීග් පාපන්දු තරගාවලියට උසස්වීම් ලබා ගත්හ.

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී විදුලි ආලෝක ධාරා මැද පෙරේදා පැවැති මෙම තරගයේ පළමු භාගයේදී පොලීස් ක්‍රීඩකයෝ ගෝල් 2-0ක් ලෙස ඉදිරියෙන් සිටි අතර පළමු මිනිත්තුවේදීම සෙරන්ඩිබ් පිලේ රිෆ්කාන් මොහොමඩ්ගේ නීති විරෝධී ක්‍රියාවකින් පොලිස් පිලට දඩුවම් පහරක් පිරිනැමුණි. එම දඩුවම් පහර චතුර ගුණරත්න විසින් සාර්ථක කර ගැනීමෙන් පළමු ගොලය සටහන් විය.

තරගයේ 18වැනි මිනිත්තුවේදී සම්පත් පතිරණ එල්ල කළ කෝනර් පහරක් ගෝල් කණුව ඉදිරියේ සිටි රියාස් අහමඩ් හිසෙන් ගෝල් කණුව තුලට යොමු කිරීමෙන් දෙවැනි ගෝලය වාර්තාවූ අතර සෙරන්ඩිබ් ගෝල් රකින්නාට හෝ ආරක්ෂක පෙළ ක්‍රීඩකයින්ට එය වලක්වාලීමට හැකියාවක් නොවුණි.

තරගයේ 54වැනි මිනිත්තුවේදී සෙරන්ඩිබ් ක්‍රීඩක එවන්ස් ඇසෙන්ට් පන්දුව ඉදිරියට ගෙන යමින් සිටියදී පොලිස් ක්‍රීඩකයෙකුගේ නීති විරෝධී වැලැක්වීමකින් දඩුවම් කළාපයේදී ඇඳ වැටුණු අතර, එම වරද හේතුවෙන් තරග විනිසුරු සෙරන්ඩිබ් පිලට නිදහස් පහරක් පිරිනැමීමට තීරණය කළේය.

එම නිදහස් පහර පොලිස් ගෝල් කණුව ඇතුලට එවන්ස් ඇසෙන්ට් සාර්ථක ලෙස යොමු කිරීමෙන් සෙරන්ඩිබ් පිල ඉදිරියේ ගෝලයක් සටහන් විය.

තරගය නිමාවීමට මිනිත්තු 10ක් පමණ තිබියදී සෙරන්ඩිබ් පිලේ හේමන්ත බන්ඩාරගොඩ පිට පිට කහ කාඩ්පත් අවවාද දෙකක් ලැබීමෙන් රතු කාඩ්පතක් ද පෙන්වා පිටියෙන් නෙරපීමට විනිසුරු කටයුතු කළේය. මේ හේතුවෙන් සෙරන්ඩිබ් පිලට අවසන් මිනිත්තු 10 ක්‍රීඩකයින් 10 දෙනෙකුට සීමාවීමට සිදුවිය.

තරගාවලියේ වැඩිම ගෝල් වාර්තා කළ ක්‍රීඩකයාට හිමිවන ගෝල්ඩන් බූට් සම්මානය නිවි ස්ටාර් පිලේ මොහොමඩ් අනාස්, හොදම ගෝල් රකින්නාට හිමි ගෝල්ඩන් ග්ලව් සම්මානය පොලිසියේ මහේන්ද්‍රන් දිනේෂ් හා දක්ෂතම ක්‍රීඩකයාට හිමි ගෝල්ඩන් බෝල් සම්මානය පොලිසියේ ජේ. ආර්. මොහොමඩ් දිනා ගත්හ.

මෙම තරගාවලියේ අවසන් පූර්ව වටයෙන් පරාජයට පත්වූ නිව් ස්ටාර් හා ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩල පිල අතර තෙවැනි ස්ථානය තෝරා ගැනීමේ තරගයෙන් නිව් ස්ටාර් ගෝල් 3-0ක ජයක් වාර්තා කළේය.


නව අදහස දක්වන්න