ඇමැති බුලත් හුරුල්ලක් දී තර්ජනීව පිළිගනී | දිනමිණ

ඇමැති බුලත් හුරුල්ලක් දී තර්ජනීව පිළිගනී

හරීන්ගෙන් සමාජයට අලුත් ආදර්ශයක්

ප්‍රින්ස් ගුණසේකර

සංවර්ධන කටයුතු ජනතා අයිතියට පැවැරීමේදී ජනතාව විසින් ඇමැතිවරුන්ට මල්මාලා දමා පිලි ගන්නා ක්‍රමය වෙනස් කොට ඇමැතිවරයා විසින් බුලත් හුරුල්ලක් දී ආරාධිතයින් පිළිගන්නා ක්‍රමයක් ඇති කළ ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා සමාජයට නව ආදර්ශයක් සපයයි. ජනතාවගේ මුදලින් කෙරෙන සංවර්ධන කටයුතු ජනතාවගේම අතින් විවෘතවීම වඩාත් ජනතාවාදී පිළිවෙතක් බව තේරුම් ගෙන රුපියල් මිලියන 332කින් ප්‍රතිසංස්කරණය කරන ලද කිලිනොච්චි ක්‍රීඩා සංකීර්ණය ජාතික දැල්පන්දු ක්‍රීඩිකා තර්ජනී සිවලිංගම් මෙනවියගේ සුරතින් පෙරේදා ජනතා අයිතියට පත්විය.

දේශපාලනඥයන් විසින් ක්‍රීඩා සංකීර්ණ ජනතා අයිතියට පත්කිරීමේ ක්‍රමයට තිත තබන බව ක්‍රීඩා ඇමැතිවරයා මෙහිදී සඳහන් කළේය. එය කාගේත් ප්‍රසංශාවට ලක්වූ සුවිශේෂී ප්‍රකාශයකි.

කිලිනොච්චි ක්‍රීඩා සංකීර්ණය විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස අඩි 6යි අගල් 10ක් පමණ උස උතුරු පළාතෙන් බිහිවූ අති දක්ෂ නෙට්බෝල් ක්‍රීඩිකා තර්ජනී සිවලිංගම් මෙනවියට ආරාධනා කොට තිබිණි. ඇය උත්සව භූමියට පැමිණි පසු ක්‍රීඩා ඇමැතිවරයා විසින් උණුසුම් ලෙස පිළිගෙන සමරු ඵලකය විවෘත කිරීමට ආරාධනා පිළිගැන්වුණි.

නවීකරණය කළ කිලිනොච්චි ක්‍රීඩා සංකීර්ණයේ මීටර් 400ක ධාවන පථයක් ඉදිකර ඇති අතර ඉතා ඉක්මණින් එය සින්තටික් ධාවන පථයකට පරිවර්තනය කර දෙන බව ඇමැතිවරයා උත්සව සභාව අමතමින් ප්‍රකාශ කළේය. ක්‍රිකට් පිටියක්, පිහිනුම් තටාකයක්, ගෘහස්ථ ක්‍රීඩාංගණයක්, වොලිබෝල් පිටියක් හා දැවැන්ත ක්‍රීඩා මණ්ඩපයක් මෙම ක්‍රීඩා සංකීර්ණයට ඇතුලත්ය. ක්‍රීඩා සංකීර්ණය විවෘත කිරීමෙන් පසුව ක්‍රිකට් තණතිල්ලක් හා ක්‍රීඩාගාරයක් ඉදිකිරීම උදෙසා මුල්ගල් තැබූ අතර එම අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා මහතා ද එක් වූවේය. උතුරේ නැගී එන ක්‍රිකට් ක්‍රීඩකයන් වෙනුවෙන් එම තණතිල්ල හා ක්‍රීඩාගාරය ඉදි කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පවරා ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් අනුව රටපුරා මෙවැනි ක්‍රීඩාංගණ සංවර්ධනය කිරීමට විශේෂ අවධානය යොමූවී ඇතැයි ක්‍රීඩා ඇමැතිවරයා සදහන් කර සිටී.

“ අවුරුදු කිහිපයකට පෙර ඉදිකර තිබූ මේ ක්‍රීඩාංගණය ප්‍රයෝජනයට ගත නොහැකි තත්ත්වයේ තිබුණා. මා ක්‍රීඩා ඇමැති වූ වහාම මේ පිළිබඳ අවධානය යොමු කොට මාස කිහිපයක් තුල ප්‍රතිසංස්කරණ කටයුතු නිමා කිරීමට හැකිවීම පිළිබඳ සතුටු වෙනවා. දැන් මෙවැනි සංවර්ධන කටයුතු විවෘත කරන්නේ රටේ දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතින්. මේ ක්‍රීඩා සංකීර්ණය ප්‍රයෝජනයට ගෙන උතුරෙන් දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහි කළ යුතුයි. දැන් උතුරේ දරුවන් ක්‍රීඩා පුහුණුවට කොළඹට පැමිණිය යුතු නෑ. කොළඹින් පිට පළාත්වලට ජාත්‍යන්තර පහසුකම් දීම අපේ අරමුණයි“ හරීන් ප්‍රනාන්දු මහතා පැවැසීය. මෙම අවස්ථාවට අධ්‍යාපන රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන්, පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහත්ම මහත්මීන් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.


නව අදහස දක්වන්න