සතු­ටින් ම සිටින ජනයා වෙසෙන රට­වල් | දිනමිණ

සතු­ටින් ම සිටින ජනයා වෙසෙන රට­වල්

 

සතුටින් හිඳීමේ අන්තර් ජාතික දිනය යෙදී තිබෙන්නේ, සෑම වසරකම මාර්තු මස 20 වැනිදාට ය. එක්සත් ජාතීන්ගේ සංවිධානය 2012 වසරේ ජුනි 28 වැනිදා මේ දිනය ප්‍රකාශයට පත් කළේ, සෑම රටකටම ආර්ථික වර්ධනයක්, තිරසාර සංවර්ධනයක් අත්කර දීමේ අරමුණ ඇතිව ය. ඒ හැරුණුවිට දිළිඳුකම පිටුදැකීම සහ මහජනයාගේ යහ පැවැත්ම සනිටුහන් කර ගැනීමේ අරමුණු ද ඊට ඇතුළත් විය. ඒ අනුව සතුටින් හිඳීමේ අන්තර් ජාතික දිනය පළමු වරට සමරනු ලැබුවේ, 2013 වසරේ මාර්තු 20 වැනිදා ය. ලොව සන්තෝෂයෙන් ම සිටින ජනයා වෙසෙන්නේ කවර රටවලද යන්න වාර්ෂිකව ප්‍රකාශයට පත් කරන්නේ, එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන විසැඳුම් ජාලයයි. ඒ ඒ රට එකී ස්ථානය හිමිකරගෙන තිබෙන්නේ, කාරණා කිහිපයක් සැලකිල්ලට ගෙන, එම සංවිධානය ලබා දුන් ලකුණු මත ය. පහත දැක්වෙන්නේ එම සංවිධානයේ 2018 වාර්තාවට අනුව ඉහළ ම ලකුණු ලබාගත් රටවල් දහය, නැතිනම්, ලොව වැඩියෙන් ම සන්තෝෂයෙන් සිටින ජනයා වෙසෙන රටවල් දහයයි.

 

1. පින්ලන්තය

ලොව ප්‍රීතිමත්ම මිනිසුන් ජීවත් වන අංක එකෙහි රට පින්ලන්තයයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තිරසාර සංවර්ධන විසැඳුම් ජාලයෙහි වාර්තාවට අනුව, එරට ලබා ඇති ලකුණු සංඛ්‍යාව 7.632කි. එරට තුළ වංචා, දූෂණ සහ අපරාධ ආදිය අඩු මට්ටමක ඇත. එනිසා, එරට ජනයාට මානසික නිදහස අත්විඳින්නට ඉඩ ලැබී තිබේ. පින්ලන්තයේ ඉතා හොඳ පොලිස් සේවයක් දකින්නට පුළුවන. ගුණාත්මක අතින් ඉහළ සෞඛ්‍ය පහසුකම් ඇති බැවින්, එහි ජනයාට වැඩි ආයු කාලයක් භුක්ති විඳින්නට හැකි වී ඇත. එරට වැසියකුගේ ආයු අපේක්ෂාව වසර 80.53ක් පමණ වේ. ඉහළ ඒක පුද්ගල ආදායමක් ලබන පුරවැසියන් සිටින රටක් හැටියටත් පින්ලන්තය ප්‍රකට ය. ලොව හොඳ ම අධ්‍යාපනයක් තිබෙන්නේ ද එහි බැව් සඳහන් වේ. ඕනෑම පුද්ගලයකුට නිදහසේ ජීවත් වීමට අවැසි පරිසරයක්, පින්ලන්තයේ දකින්නට පුළුවන. ඒ නිසා, කැමැති ආගමක් ඇදහීමේ සහ අදහස් ප්‍රකාශනයේ නිදහස එරට තුළ කැපී පෙනෙයි.

2. නෝර්වේ

වර්ග කිලෝ මීටර 385,252කින් සමන්විත නෝර්වේ හි ජනගහනය මිලියන 5.3ක් පමණ වේ. ලෝක බැංකුවේ සහ අන්තර්ජා

තික මූල්‍ය අරමුදලේ දත්තවලට අනුව, ලොව සිව් වැනි තැනට ඉහළ ඒක පුද්ගල ආදායම ලබන පුද්ගලයන් සිටින්නේ ද නෝර්වේ රාජ්‍යයෙහි ය. ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ දර්ශකයෙහි ද, මහජන ඒකාබද්ධතාව පිළිබඳ දර්ශකයෙහි ද අංක එකෙහි සිටින රටකි. අපරාධ අඩුවෙන් ම සිදුවන රටවල් අතර නෝර්වේ හි නම ඇත. එහි දැකිය හැකි වන්නේ, ලොව ඉතා ම දියුණු සෞඛ්‍ය පහසුකම් ය. එනිසා, බෝවන රෝග, ආසාදන රෝග, වසංගත ආදිය එහි දක්නට නොලැබෙන තරම් ය. එරට ළදරු මරණ අනුපාතිකය මෙන් ම, මාතෘ මරණ අනුපාතිකයත් ගැනිය නො හැකි තරම් පහළ මට්ටමක පවතී. ලොව සන්තෝෂයෙන් වෙසෙන ජාතීන් අතර දෙවැනි තැනට පත් වන්නට, නෝර්වේ හි පවත්නා මේ තත්ත්වය හේතු වී ඇත.

3. ඩෙන්මාර්කය

ලොව ප්‍රීතිමත්ම ජාතීන් අතර තෙවැනි තැන හිමිකර ගන්නට, ඩෙන්මාර්කය සමත්ව ඇත. වාර්තාවට අනුව එරට හිමි කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 7.555කි. වර්ග කිලෝ මීටර 42,924කින් සමන්විත ඩෙන්මාර්කයේ ජනගහනය, මිලියන 5.8ක් පමණ වේ. සමාජීය වශයෙනුත්, ආර්ථික වශයෙනුත් සංවර්ධිත රටක් හැටියට සැලකෙන ඩෙන්මාර්කයේ, ලොව ඉහළ ම ඒක පුද්ගල ආදායම දක්නට පුළුවන. වංචා, දූෂණ එහි අඩු ය. සෞඛ්‍ය, අධ්‍යාපන සහ ආරක්ෂාව යන අංශ ඉතා දියුණු තලයක පවතී. එමෙන් ම, ප්‍රජාතාන්ත්‍රික දේශපාලන ප්‍රවාහයත්, සාමය සහ සමෘද්ධිමත් බවත් ඉතා හොඳින් අත්විඳින්නට, එරට ජනයාට ඉඩ ලැබී ඇත. එරට වැසියකුගේ ආයු අපේක්ෂාව වසර 80.6ක් පමණ වේ.

4. අයිස්ලන්තය

එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන විසැඳුම් ජාල වාර්තාව තුළ ලකුණු 7.495ක් ලබා ඇති අයිස්ලන්තය, ලොව සතුටින් ම ජීවත් වන ජාතීන් අතර හතර වැනි ස්ථානය හිමි කරගෙන තිබේ. වර්ග කිලෝ මීටර ලක්ෂයකට වැඩි භූමි ප්‍රමාණයකින් යුත් අයිස්ලන්තයේ ජනගහනය, ලක්ෂ තුනහමාරක් පමණ වේ. බදු බර අඩු ආර්ථිකයක් එහි දකින්නට පුළුවන.එය, සංවර්ධිත රටකි. එහි දක්නට ලැබෙන්නේ බෙහෙවින් ම සාමාකාමී වාතාවරණයකි. ගෝලීය සාම දර්ශකයේ පළමු තැන හිමි කර ගන්නට එරට සමත්ව සිටින්නේ එනිසා ය. අයිස්ලන්තය තුළ පරිහරණය කෙරෙන්නේ, සුනිත්‍ය බලශක්ති ප්‍රභවවලින් උත්පාදනය කර ගත් බලශක්තිය බව දැක් වේ. මේ නිසා, වායුගෝලයට විමෝචනය කෙරෙන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය බෙහෙවින් ම අල්ප ය. ලොව ඉතාමත් ඉහළ ම තත්ත්වයේ ඇති සෞඛ්‍යය සේවාවක් අයිස්ලන්ත ජනතාව අත්විඳිති. එබැවින්, එරට වැසියකුගේ අපේක්ෂිත ආයු කාලය වසර 81.8ක් තරම් ඉහළ මට්ටමක ඇත.

5. ස්විට්සර්ලන්තය

වර්ග කිලෝ මීටර 39,997කින් සමන්විත ස්විට්සර්ලන්තයේ ජනගහනය, මිලියන 8.5ක් පමණ වේ. ස්විට්සර්ලන්තය සංවර්ධිත රටකි. ලොව අට වැනි තැනට ඉහළ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය තිබෙන්නේ එහි ය. ස්විට්සර්ලන්තය ඉතාමත් අලංකෘත සහ පිරිසුදු රටක් හැටියටත් ප්‍රකට ය. ස්වභාව සෞන්දර්යයෙන් අනූන මේ රටෙහි බලශක්ති උත්පාදනය කෙරෙන්නේ, සුනිත්‍ය බලශක්ති ප්‍රභව භාවිතයෙනි. එහිලා ජලය සහ භූ තාපය කැපී පෙනෙයි. මේ නිසා, වායු ගෝලයට මුදා හැරෙන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය බෙහෙවින් ම පාලනය වී ඇත. එවැනි වටපිටාවක් ඇති නිසා, එරට ජනයාට නීරෝගී සුවය භුක්ති විඳින්නට ඉඩ ලැබී තිබේ. ඉහළ නාගරීකරණයක් සහිත ස්විට්සර්ලන්තයේ වෙසෙන ජනයා, ලොව සතුටින් ම සිටින පිරිස අතර පස් වැනි තැන හිමිකරගෙන තිබීම පුදුමයක් නොවේ. එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන විසැඳුම් ජාල වාර්තාවට අනුව, එරට ලබා ඇති ලකුණු සංඛ්‍යාව 7.487කි.

6. නෙදර්ලන්තය

සන්තෝෂයෙන් ජීවත් වන ජාතීන් අතර හය වැනි තැන නෙදර්ලන්ත ජාතිකයන්ට හිමි ව තිබේ. එරට ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 7.441කි. වර්ග කිලෝ මීටර 41,543කින් සමන්විත මේ රාජ්‍යයේ ජනගහනය, මිලියන 17.3ක් පමණ වේ. ලොව ඉහළ ම ශාරීරික ක්‍රියාකාරකම් විඳින ජාතියක් වේ නම් ඒ, නෙදර්ලන්ත ජාතිකයන් ය. ඒ, ඔවුන්ගේ ගමනා ගමනය සඳහා පාපැදිය එකතු වී ඇති බැවිනි. සැතැපුම් 20,000ක් පමණ දිගැති පාපැදි මං තීරු එහි දැකිය හැකි ය. මේ මං තීරු ඉතාමත් ආරක්ෂා සහිත බැව් සඳහන් වේ. එනිසා, පාපැදියෙන් ගමන් කරන්නන්ට හිතකර රටක් හැටියටත්, නෙදර්ලන්තය ප්‍රකට ය. ඒ හැරුණුවිට, අදහස් ප්‍රකාශනයේ නිදහස, ආර්ථික නිදහස එහි වැසියන්ට මැනවින් අත්විඳින්නට පුළුවන. සමලිංගික විවාහ නීතිගත කළ ලොව පළමු රට වන්නේ ද නෙදර්ලන්තයයි.

7. කැනඩාව

සතුටින් ම වෙසෙන මිනිසුන් සිටින රටවල් අතර හත්වැනි රට කැනඩාවයි. එක්සත් ජාතීන්ගේ සංවර්ධන විසැඳුම් ජාලයේ වාර්තාවට අනුව, එරට ලබා ඇති ලකුණු සංඛ්‍යාව 7.328කි. උතුරු අමෙරිකාවෙහි උතුරටම වන්නට පිහිටි කැනඩාව, සංවර්ධිත රටක් හැටියටත් සැලකේ. ලොව 15 වැනි තැනට ඉහළ ඒක පුද්ගල ආදායම ඇත්තේ, කැනඩා ජාතිකයන්ට ය. මානව සවර්ධනය අතින් ලොව දොළොස් වැනි තැන එරටට හිමි වී තිබේ. ලොව දස වැනි තැනට විශාල ආර්ථිකය තිබෙන්න කැනඩාවෙහි ය. ඉහළ සෞඛ්‍ය පහසුකම් සහ අධ්‍යාපන පහසුකම් එහි ස්ථාපිත ය. ආරක්ෂාවත් ඉහළ මට්ටමක ඇත. එසේ ම, එය ලොව අඩු ම පරිසර දූෂණයක් සහිත රටකි. ගුණාත්මක සෞඛ්‍ය පහසුකම් මෙන් ම, හිතකර පරිසරයත් කැනඩා ජාතිකයන්ගේ ආයු අපේක්ෂාව වැඩි කිරීමට හේතුවක් වී තිබේ.

8. නවසීලන්තය

ලොව සතුටින් ම ජීවත් වන ජාතිකයන් අතර නවසීලන්තයට හිමි වන්නේ අට වැනි ස්ථානයයි. එරට ලබා ඇති ලකුණු සංඛ්‍යාව 7.324කි. ඉතා ම නිදහස් සහ සාමකාමී ජීවිතයක් ගත කිරීමට හැකි තැනක් ලෙස නවසීලන්තය ප්‍රකට ය. ආර්ථික නිදහස අතින් ලොව තෙවැනි තැන ඇත්තේ නවසීලන්තයයි. ලොව අලංකාරම රටවල් අතර තෙවැනි තැන හිමි වන්නේත් නවසිලන්තයටයි. හිමෙන් වැසුණු කඳු පංති, ගිනි කඳු සහිත බිම්, මනස්කාන්ත විල්, නෙත් සිත පැහැර ගන්නා මුහුදු තීර නිසා අලංකෘත නවසීලන්තයට, සංචාරකයන් ඇදී එන්නේ නිරායාසයෙනි. එසේ පැමිණෙන සංචාරකයන්ට අවශ්‍ය ආහාර පාන, හෝටල් පහසුකම් මෙන් ම ආරක්ෂාවත් එහි ඇත. ඉහළ ගුණාත්මක බවකින් යුත් ජීවිතයක් ගත කරන්නට අවශ්‍ය පරිදි එරට අධ්‍යාපනය, සෞඛ්‍ය, ආර්ථිකය මෙන් ම සිවිල් ආරක්ෂාව ගොඩ නැඟී ඇති බව වාර්තාවල දැක් වේ.

9. ස්වීඩනය

ලොව සතුටින් ම පසුවන ජාතීන් අතර නව වැනි ස්ථානයේ පසු වන්නේ ස්වීඩනයයි. එරට ලබා ඇති ලකුණු සංඛ්‍යාව 7.314කි. උතුරු යුරෝපයේ ස්කැන්ඩිනේවියානු රාජ්‍යයක් වන ස්වීඩනය, වර්ග කිලෝ මීටර හාර ලක්ෂ පනස් දහසකට වැඩි භූමි ප්‍රමාණයක් සහිත රාජ්‍යයකි. එහි ජනගහනය මිලියන 10.2ක් තරම් වේ. එයින් මිලියන 2.4ක්‌ම විදේශීය පසුබිමක් සහිත අය වෙති. ලොව හය වැනි තැනට ධනවත් රාජ්‍යයක් හැටියට සැලකෙන්නේ ස්වීඩනයයි. මේ නිසා, එරට ජනතාවට ඉතා ඉහළ ගුණාත්මක බවින් යුත් ජීවිතයක් ගත කරන්නට හැකියාව ලැබී ඇත. ළමා මරණ අනුපාතිකය අඩු ම රටක් හැටියටත්, ඉහළ ම ආයු අපේක්ෂාවක් ඇති රටක් හැටියටත් ස්වීඩනය ප්‍රකට ය.

10. ඔස්ට්‍රේලියාව

ලොව සතුටින් ම ජීවත් වන මිනිසුන් සිටින රටවල් අතර දස වැනි ස්ථානය හිමි වන්නේ ඔස්ට්‍රේලියාවටයි. එරට ලබා ඇති ලකුණු සංඛ්‍යාව 7.272කි. භූමි ප්‍රමාණය අතින් ලොව හය වැනි ස්ථානයට විශාල ඔස්ට්‍රේලියාවෙහි ජනගහනය සාපේක්ෂව අඩු ය. එහි ජනගහනය මිලියන 25කට මඳක් වැඩි බැව් දැක් වේ. මේ ජනතාවට විඳින්නට ලැබී තිබෙන්නේ ඉහළ ම නාගරීකරණයක් සහිත සමාජ, ආර්ථික සහ සංස්කෘතික වටපිටවකි. දරිද්‍රතාව සාපේක්ෂව බෙහෙවින් ම අඩු රටක් හැටියටත් ඔස්ට්‍රේලියාව ප්‍රසිද්ධ ය. එරට ජනයාගේ අපේක්ෂිත ආයු කාලය ඉහළ ය. එහි ජීවත් වන පිරිමියකු වසර 79.5කුත්, ගැහැනියක වසර 84කුත් ජීවත් වන බව සඳහන් වේ. අධ්‍යාපන, සෞඛ්‍ය, ආරක්ෂක මෙන් ම, විනෝදාස්වාද පහසුකම් ද ඔස්ට්‍රේලියා ජාතිකයෝ හොඳින් ම භුක්ති විඳිති. මේ නිසා, 84%කට අධික ඔස්ට්‍රේලියා ජාතිකයන් පිරිසක් ධනාත්මක අත්දැකීම්වලට මුහුණ දෙමින් ජීවත් වන බව, සමීක්ෂණයකින් හෙළිව තිබේ.

අන්ත­ර්ජා­ලය ඇසු­රිනි
මංජුලා විජ­ය­රත්න

නව අදහස දක්වන්න