දැනුම ලබමින් ප්‍රතිලාභ ලබන කොටස් වෙළෙඳපොළ හඳුනා ගනිමු | දිනමිණ

දැනුම ලබමින් ප්‍රතිලාභ ලබන කොටස් වෙළෙඳපොළ හඳුනා ගනිමු

විකිණීමේ තීරණ සඳහා බලපාන කරුණු

බොහෝ ආයෝජකයන් සඳහා විකිණීමේ තීරණය මිල දී ගැනීමේ තීරණයට වඩා අපහසු තීරණයකි. ඒ සඳහා බොහෝ පෞද්ගලික හා වෙළෙඳ පොළ හේතුවලට අමතරව ඉහත සඳහන් කළ අවදානම් කාණ්ඩ ආකෘති ද බලපායි. මෙසේ බලපාන හේතු කිහිපයක් පහත දැක්වේ.

ඔබගේ ආයෝජන අරමුණු හා අවදානම් දරා ගැනීමේ හැකියාව පවතින කොටස් හා සමඟ තව දුරටත් නොගැළපෙන විට,

මෙය සමහර විට කාලයත් සමඟ ඔබගේ අරමුණු වෙනස් වීම නිසා සිදුවිය හැක. එම නිසා ඔබට ක්‍රමානුකූලව ඔබේ කොටස් විකිණීම ආරම්භ කළ හැක. සමහර විට ආයෝජකයකුට තමන් ආයෝජනය කළ සමාගම තව දුරටත් හොඳ ආයෝජනයක් ලෙස නොපෙනේ. මෙයට හේතු ලෙස සැලකිය හැක්කේ අදාළ සමාගම ව්‍යාපාර සැලසුම් වෙනස් කිරීම නිසා අස්ථාවර භාවයකට පත්වීම හෝ බොහෝ සෙයින් මිල උච්ඡාවචනයට ලක්වීමයි. එයින් අදහස් කරන්නේ ඔබේ ආයෝජන තව දුරටත් ඔබේ අවදානම දරා ගැනීමේ මට්ටම තුළ නොපවතින බවයි.

ඔබේ ආයෝජන කළඹ නැවත සසඳා බැලීමට අවශ්‍ය වූ විට

ඔබ බලාපොරොත්තු වූ වත්කම් විවිධාංගීකරණ අනුපාතය වෙනස් වී ඇත්නම් එම ආයෝජන කළඹෙ යම් වත්කමකට වෙන් කළ ප්‍රතිශතය නැවත නිවැරැදි කිරීම අවශ්‍ය වේ. ආරම්භයේ දී 60% කොටස්වලත්, 30% රාජ්‍ය බැඳුම්කරවලත්, මුදලින් 10% ආයෝජනය කිරීමට තීරණය කළා යැයි සිතමු. ඔබේ ආයෝජන කළඹේ 80%ක කොටස් තිබේ නම් එම ආයෝජන කලඹ කොටස්වලට අධික ලෙස නිරාවරණය වීමක් ලෙස හැඳින්විය හැක. මුළු ආයෝජන කළඹ විවිධාංගීකරණය කිරීම පිළිබඳ නැවත සලකා බැලීම අත්‍යවශ්‍යයි. එය නැවත උචිත ලෙස පෙළගැස්වීමට ඔබට යම් කොටස් ප්‍රමාණයක් විකිණීම කළ යුතුවේ.

ප්‍රතිආයෝජන අවස්ථාවන්

වර්තමානයේ කොටස් හිමිකම් නිසා සමාගමේ කොටස්වලට වඩා හොඳ ප්‍රතිලාභ වෙනත් සමාගමක කොටස් ලබා දෙන විට ඔබට ඒ අවාසිදායක කොටස් විකිණිය හැක. එහි දී වැදගත් වන්නේ ඔබගේ අලුත් මිල දී ගැනීම කොතරම් දුරට ඔබේ ආයෝජන කලඹ හා ඔබගේ ආයෝජන උපක්‍රම හා ගැළපේ ද යන්නයි.

මිල වෙනස් වීම

කොටස් මිල බලාපොරොත්තු නොවිය හැකි අනුපාතයකින් පහළ ගිය හොත් සමහර ආයෝජකයෝ මේ අවස්ථාව කොටස් විකිණීමට උචිත බව තීරණය කරති. ඊට හේතුව වන්නේ තවත් ඇති විය හැකි අලාභ මඟ හරවා ගැනීමයි. මතකයේ තබා ගත යුතු කරුණ නම් ඔබට මිල වෙනස් වීම ගැන යම් අදහසක් තිබිය යුතුය යන්නයි. සිහියේ තබා ගත යුතු අනෙක් කරුණ වන්නේ මිල පහත වැටීම නැවත යථා තත්ත්වයට පත්විය හැකි බවයි. ඔබ කොටස් වෙළෙඳ පොළේ ටික කාලයක් ගත කරමින් ගනුදෙනු වන ආකාරය අධ්‍යයනය කිරීමෙන් මේ බව වැටහෙනු ඇත.

අධි තක්සේරු කරන ලද කොටස් (Overvalued Shares)

කොටස් එහි සත්‍ය අගයට වඩා ඉහළට තල්ලු වූ විටෙක ඔබ ඒවා විකිණීම ගැන සැලකිය යුතුය. යම් කොටසක් අධි තක්සේරු වූ කොටසක් ලෙස සලකන්නේ සමාගමේ ඉපැයුම් හැකියාව හා කොටසක මිල අතර ගැළපීමක් නොමැති විටය. කොටස්වල අගය අධිතක්සේරුවීම හැඟීම් මත මිල දී ගැනීම නිසා සිදුවිය හැකිය. එමගින් සමාගමේ වත්කම්වල මිල අධිකව ඉහළ යෑමක් හෝ පවත්නා මිලට සාපේක්ෂව සමාගමේ මූල්‍ය තත්ත්වය දුර්වලතාවක් නිසාද කොටස් අධිතක්සේරු විය හැකිය.

මේ තත්ත්වයේ දී අධිතක්සේරු වූ විට විකිණීම හා වෙළෙඳ පොළ මිල නිවැරැදි අගයට තල්ලු වූ පසු මිල දී ගැනීම සිදුවිය හැක. මෙහි දී මිල නිවැරැදිව ඉහළ යන තත්ත්වයක් දැකිය හැක. මෙහි දී ඔබ විකිණීම පිළිබඳ දෙගිඩියාවට පත් විය හැකි නමුත් වැදගත්ම දේ එය අනෙක් අතටත් සිදුවීමේ හැකියාවක් තිබෙන බව අවබෝධයක් දැන සිටීමයි.

කොටස් වෙළෙඳ පොළ පිළිබඳ තොරතුරු ලබාගත හැකි ක්‍රම

Data Library –සියලු ලැයිස්තුගත සමාගම්වල කොටස් ගනුදෙනු සම්බන්ධ තොරතුරු අන්තර්ගත වේ. (කොළඹ සහ අනිකුත් ශාඛාවලින් ලබා ගත හැක)

Stock Market Daily, Weekly, Monthly, Quarterly ප්‍රකාශන මගින් (www.cse.lk)

කොළඹ කොටස් හුවමාරුව විසින් පවත්වනු ලබන සම්මන්ත්‍රණ සහ අනිකුත් ප්‍රකාශන මගින් (www.cse.lk, www.cse.edu.lk වෙබ්අඩවි හරහා සහ කොළඹ සහ අනිකුත් ශාඛාවලින් තොරතුරු ලබා ගත හැක).

කොළඹ කොටස් හුවමාරුවෙහි නිල Android සහ iOS Mobile App මඟින්

කොළඹ කොටස් හුවමාරුවෙහි නිල Twitter, Facebook, Linkedln සහ Youtube ගිණුම් හරහා මාතර, මහනුවර, කුරුණෑගල, මීගමුව, යාපනය, අනුරාධපුරය, අම්බලන්තොට සහ රත්නපුරහි පිහිටි ශාඛා ජාලය හරහා

වෙබ්අඩවිය : www.cse.lk, දුරකථන අංක + 94 11 2356456, ඊ මේල් : [email protected]


නව අදහස දක්වන්න