අධ්‍යාපනයේ පෞද්ගලිකරණයක් නැහැ | දිනමිණ

අධ්‍යාපනයේ පෞද්ගලිකරණයක් නැහැ

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිදහස් අධ්‍යාපනය විනාශ කරමින් අධ්‍යාපනය පුද්ගලිකරණය කිරීමේ උත්සාහයක නිරතව සිටින බවට බන්දුල ගුණවර්ධන මහතාගේ කරුණු දැක්වීම පදනම් විරහිතයි යැයි මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යපන අමාත්‍යංශය සදහන් කරයි.
 
එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේ ද සඳහන් වේ.  
 
"අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිදහස් අධ්‍යාපනය විනාශකරමින් අධ්‍යාපනය පුද්ගලිකකරණය කිරීමේ උත්සාහයක නිරතව සිටින බවටත්, සැලසුම් සහගතව පෞද්ගලික පාසල් සංඛ්‍යාව ඉහළ නැංවීමට කටයුතු කරමින් සිටින බවටත් අසත්‍ය ප්‍රවෘත්තියක් සමාජගත කරමින් ජනතාව නොමඟ යැවීමට පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා විසින් පසුගිය දා මාධ්‍ය සාකච්ඡාවක දී උත්සාහ දරා තිබිණි.
 
පෞද්ගලික පාසලක දරුවකු උසස් පෙළ විභාගයට පෙනී සිට ඉහළ ප්‍රතිඵල ලබාගත් විට ඒ හරහා නිදහස් අධ්‍යාපනය විනාශ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය උත්සාහ දරන බව සඳහන් කරමින් මින් පෙර අවස්ථාවක දී ද පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ජනතාව නොමඟ යැවීමේ නිරර්ථක උත්සාහයක යෙදුණු අතර, හරිහැටි කරුණු පරීක්ෂා කර නොබලා, එහිදී බිඳවැටුණු තර්කය යථාර්ථයක් කරන්නට නැවත වරක් දරන උත්සාහය කණගාටුදායක ය.
 
ශ්‍රී ලංකාවේ පාසල් ව්‍යූහය තුළ ජාතික හා පළාත් පාසල් මෙන් ම රජයේ අනුමත පෞද්ගලික පාසල් ද පවතියි. 2019-01-01 දින වනවිට ලබාගත් සංඛ්‍යාත්මක දත්ත අනුව, මෙම පෞද්ගලික පාසල් අතරින් රජයේ ආධාර ලබන පාසල් 48ක් සහ ආධාර නොලබන පාසල් 32ක් වශයෙන් සම්පූර්ණ පාසල් සංඛ්‍යාව 80ක් පවත්නා බව වාර්තා වෙයි.
 
රජයේ ආධාර ලබන පෞද්ගලික පාසල් මීට වසර විස්සකට පෙර සිට ම ශාඛා පාසල් ආරම්භ කර ඇති නමුත් අධ්‍යාපන අමාත්‍යාංශය දැනුවත් නොකර ශාඛා පාසල් 9ක් මේ දක්වා පවත්වාගෙන ගොස් තිබිණි. බන්ධුල ගුණවර්ධන මහතා අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ ද මෙම අවිධිමත් ශාඛා පාසල් ක්‍රියාත්මකව තිබුනි.
 
මෙම ශාඛා පාසල්වල සිටින ළමයින් සංඛ්‍යාව මව් පාසලේ ළමයි සංඛ්‍යාවට එකතු කර මව් පාසලේ ගුරු සංඛ්‍යාව අනුමත කර ගෙන ඇත. මව් පාසල විසින් අනුමත කරගත් ගුරු සංඛ්‍යාවෙන් කොටසක් ශාඛා පාසල්වල සේවය කරන ලදී. මෙම ශාඛා පාසල්වල සිට වැටුප් ආධාර ලබාගැනීම නිත්‍යානුකූල නොවන ක්‍රියාවක් වන බැවින් මේ සම්බන්ධව විගණන විමසුමක් ද සිදුකරමින් පවතී.
 
මෙම නීත්‍යානුකූල නොවන තත්වය අනාවරණය වූ පසු, ශාඛා පාසල් පවත්වාගෙන යන රජයේ අනුමත පෞද්ගලික පාසල් වෙත නව ගුරුවරුන් අනුමත කිරීම අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නතර කරන ලදී.
 
එහෙත් එම පාසල් අහෝසි කිරීමට කටයුතු කළහොත්, එම පාසල්වල ඉගෙනුම ලබන 12,000කට අධික සිසුන්ට වෙනත් පාසල් ලබාදීමේ ගැටළුවට මුහුණ දීමට අධ්‍යාපන අමාත්‍යාංශයට සිදුවීම, ශාඛා පාසල්වල නව ගුරුපත්වීම් අනුමත කිරීම අත්හිටුවීම නිසා මව්පාසල්වල ගුරුවරුන්ට ද රැකියා සුරක්ෂිතභාවය පිළිබඳ ගැටළු මතුවීම, ශාඛා පාසල්වල දරුවන්ට විභාග කටයුතු ඇතුළු සියලු ප්‍රධාන අධ්‍යයන අවශ්‍යතා සඳහා මවු පාසලට පැමිණීමට සිදුවන නිසා අපහසුතාවන්ට මුහුණ දෙන්නට සිදුවීම වැනි ගැටළු මතුවිය හැකිව තිබිණි. එමෙන් ම අධ්‍යාපනය සඳහා විශාල වැය බරක් දරන පසුබිමක භෞතික සම්පත් සඳහා කිසිදු වියදමක් රජය විසින් නොදරා ක්‍රියාත්මක වන මෙවැනි පාසල් අහෝසි කිරීම නොකළ යුත්තක් බව ද තහවුරු විය.
 
ඒ අනුව, ඉතා ස්ථාවර හා ගුණාත්මක ප්‍රමිතියකින් මවු පාසල පවත්වාගෙන යන්නේ ද යන්න සහ යෝජිත ශාඛා පාසල්වල සැලසුම හා ශක්‍යතාවන් විධිමත් කමිටුවක් මඟින් පරීක්ෂාවට ලක්කිරීමෙන් අනතුරුව, පෞද්ගලික පාසල්වල එක් මවු පාසලකට ශාඛා පාසල් ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.
 
මව් පාසලකට ශාඛා පාසල් ආරම්භ කිරීම සදහා අනුමැතිය ලබාදීමේ දී ඒ හා සම්පූර්ණ කළ යුතු නිර්ණායක අනුව එම පාසල් ක්‍රියාත්මක වීම අවශ්‍ය බව ද එසේ නොවන බවට අනාවරණය වන කවර අවස්ථාවක දී වුව ද ඒ සදහා අනුමැතිය ලබා නොදීමට ද අමාත්‍යාංශයට පියවර ගත හැකියි.
 
ඒ අනුව ශාඛා පාසල් නීතිගත කිරීමේ මෙම ක්‍රියාමාර්ගය හරහා අනාගත ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ ගුණාත්මකභාවය සංවර්ධනය කිරීමට සැබෑ පිටුබලයක් ලැබෙනු මිසක නිදහස් අධ්‍යාපන අයිතීන් කඩාකප්පල්වීමක් ඒ හරහා සිදුනොවන බව වගකීමෙන් ප්‍රකාශ කර සිටිමු.
 

නව අදහස දක්වන්න