‘සැමට සෙවණ’ සිවු වසරක සමාජ මෙහෙවර | දිනමිණ

‘සැමට සෙවණ’ සිවු වසරක සමාජ මෙහෙවර

වත්මන් රජය බලයට පත්වීමත් සමඟින් මෙරට ක්‍රියාත්මක වූ විවිධ සංවර්ධන වැඩසටහන්වලට සමගාමීව ශ්‍රී ලාංකික ජන සමාජයේ සෑම පවුලකටම තමන්ගේම නිවහනක අපේක්ෂාවන් ඉටු කිරීමේ බලාපොරොත්තුවෙන් ක්‍රියාවට නැංවුණු සැමට සෙවණ ජාතික නිවාස වැඩසටහන, ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයාගේ මඟ පෙන්වීමෙන් නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු ඇමැති සජිත් ප්‍රේමදාස මහතාගේ මෙහෙයවීමෙන් ගත වූ සිවු වසරකට අධික කාලපරිච්ඡේදයක් තුළ දී දිවයින පුරා ක්‍රියාත්මක විය.

ඉතා පුළුල් ජනසහභාගීත්ව සංවර්ධන වැඩපිළිවෙළක් ලෙසින් ක්‍රියාවට නැංවුණු මේ සංවර්ධන වැඩපිළිවෙළ ශ්‍රී ලාංකික ජන සමාජයේ සියලු කොටස්හි නිවාස හා ජනාවාස අවශ්‍යතාවන් සපුරාලීම අරමුණුකොට සමාජ සාධාරණත්වය පෙරටුකොට ක්‍රියාත්මකවීම මේ වැඩපිළිවෙළේ දැකගත හැකි විශේෂිත ලක්ෂණයකි. ශ්‍රී ලාංකික ජන සමාජයේ බහුතර ජනතාව ජීවත්වන ග්‍රාමීය ප්‍රදේශ තුළත්, වඩාත් සංකීර්ණ නිවාස ගැටලු පවත්නා නාගරික ප්‍රදේශ ආශ්‍රිතවත්, මෙරට ආර්ථිකය ශක්තිමත් කරන වතුකරය තුළත්, දශක හතරකට ආසන්න කාලයක යුද ගැටුම් පැවැති උතුරු ප්‍රදේශය තුළත්, විවිධ වූ නිවාස අවශ්‍යතාවන් පවත්නා ජන කණ්ඩායම් සඳහා වඩාත් ඵලදායී විසඳුම් ලබාදීම සැමට සෙවණ ජාතික නිවාස වැඩපිළිවෙළ සමත්ව තිබේ.

ප්‍රතිලාභීන් ලක්ෂ 03කට සහන

මේ හේතුවෙන්ම රජය වඩාත් ප්‍රමුඛතාවකින් මේ සංවර්ධන කාර්යය සඳහා සිය දායකත්වය ලබාදෙනු ලැබීය. පසුගිය සිවු වසරක කාලපරිච්ඡේදය තුළ රුපියල් මිලියන 30,000කට අධික මූල්‍ය ආයෝජනයක් සැමට සෙවණ ජාතික නිවාස වැඩපිළිවෙළ සඳහා රාජ්‍ය භාණ්ඩාගාරය විසින් ආයෝජනය කිරීම තුළින්ම මේ ජනාවාස සංවර්ධන වැඩසටහනට රජය ලබා දී ඇති ප්‍රමුඛත්වය පෙනීයයි. එවන් රාජ්‍ය මූල්‍ය ආයෝජනයක් තුළින් උපරිම ප්‍රයෝජන ලබාගත් සැමට සෙවණ ජාතික නිවාස වැඩපිළිවෙළ තුළින් 356,000කට අධික වාර්තාගත ප්‍රතිලාභීන් ප්‍රමාණයකට නිවාස පහසුකම් සැපයීමට හැකිවී තිබේ.

ශ්‍රී ලාංකික ජන සමාජයේ නිවාස ආශ්‍රිත ගැටලුවේ ප්‍රමුඛතම සාධකය වනුයේ නව නිවාස සංවර්ධනයි. ප්‍රතිලාභීන්ට පවත්නා ආර්ථික ගැටලු, ඉඩම් ප්‍රශ්න සහ නිවාසකරණය පිළිබඳ පවත්නා සීමිත දැනුම හා අවබෝධය නිවාස අවශ්‍යතාව පවත්නා බහුතර ජනතාවට මේ නිවාස සම්පත් හිමි කර ගැනීමට නොහැකිවී තිබේ. සැමට සෙවණ ජාතික නිවාස වැඩසටහන සිය ජාතික සංවර්ධන වැඩපිළිවෙළ තුළ කටයුතු කරලීමේ දී ඒ තුළින් ක්‍රියාත්මක වූ සෑම සංවර්ධන කාර්යයක්ම මේ මූලික ගැටලු සඳහා විසඳුම් සොයමින් ක්‍රියාවට නැංවිනි. ඒ අනුව ඉඩමක් නොමැති ජනකොටසට නව ඉඩම් සම්පාදනය තුළින් නිවාස අවශ්‍යතාව පවත්නා ජනකණ්ඩායම් සඳහා අවශ්‍ය මූල්‍යාධාර සපයමින් හා නිවාසකරණය පිළිබඳ දැනුමක් හා අවබෝධය නොමැතිවීම සඳහා අවශ්‍ය දැනුම ලබාදෙමින් එම කාර්යයභාරය ඉෂ්ඨ කරනු ලැබීය.

උදාගම් ව්‍යාපාරයේ ආභාෂය

සැමට සෙවණ ජාතික නිවාස වැඩපිළිවෙළ වඩාත් නිවැරැදිව ජනතාවගේ නිවාස ප්‍රශ්නය හඳුනා ගනිමින් කටයුතු කරලීමේ දී ඔවුන් ඒ සඳහා පාදක කරගනු ලැබුවේ අසූව දශකයේ ශ්‍රී ලංකාවේ ක්‍රියාවට නැංවුණු සහභාගීත්ව සංවර්ධනය මූලධර්ම කොටගත් උදාගම් ව්‍යාපාරයයි. දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා අසූව දශකයේ උදාගම් ව්‍යාපාරය ක්‍රියාත්මක කිරීම තුළින් ජනගත කරනු ලැබූ සහභාගීත්ව නිවාස සංවර්ධන ක්‍රියාදාමය වත්මන් නිවාස ඉදි කිරීම් හා සංස්කෘතික කටයුතු ඇමැති සජිත් ප්‍රේමදාස මහතා වර්තමාන සමාජයට අනුගත වන අයුරින් ක්‍රියාවට නැංවීම සැමට සෙවණ ජාතික නිවාස වැඩසටහන තුළින් දැක ගත හැකි විශේෂිත ලක්ෂණයි.

නව ආදර්ශ ගම්මාන 1900ක්

මේ කාර්යයදාමය තුළ එදා උදාගම් ජනාවාස වෙනුවට අද ක්‍රියාවට නංවනු ලබන්නේ සැමට සෙවණ ආදර්ශ ගම්මාන වැඩපිළිවෙළයි. ආදර්ශ ගම්මාන සංකල්පය ශ්‍රී ලාංකික ජන සමාජයේ නව අත්දැකීමක් වුවද, එය වත්මන් සමාජයට ගැළපෙන අයුරින් ඵලදායී ලෙසින් ඉලක්ක ගත සංවර්ධන වැඩපිළිවෙළකට අනුගතවී ක්‍රියාත්මකවීම එහි සාර්ථකත්වයට හේතුවී තිබේ. ඒ හේතුවෙන්ම සැමට සෙවණ ජාතික නිවාස වැඩපිළිවෙළේ වර්තමාන ආදර්ශ ගම්මාන වැඩපිළිවෙළ වඩාත් සාර්ථක ඵලදායී සංවර්ධන වැඩසටහනක්වී ඇත. 2015 වසර ආරම්භයේ දී ඇරැඹි මේ ආදර්ශ ගම්මාන වැඩපිළිවෙළ තුළින් පසුගිය මාර්තු මස 15 දින වන විට නව ආදර්ශ ගම්මාන 1925ක ඉදි කිරීම් කටයුතු ඇරැඹීමට මේ වැඩපිළිවෙළ සමත්වී තිබේ. එම ආදර්ශ ගම්මාන තුළ පමණක් පවුල් 50,000කට අධික ප්‍රමාණයකට නිවාස පහසුකම් සපයා දී ඇති අතර, එහි දී රාජ්‍ය මූල්‍ය ආයෝජනය රුපියල් මිලියන 9,000 කට ආසන්න වේ. මේ සංවර්ධන ක්‍රියාවලියේ ආසන්නතම ඉලක්කය වනුයේ 2019 වසර අවසන් වන විට නව ආදර්ශ ගම්මාන 2500ක උදාවයි. මේ ජනාවාස සංවර්ධන ක්‍රියාවලිය තුළ ඉදි වන ආදර්ශ ගම්මාන හුදෙක් නිවාසයනට පමණක් සීමාවන්නක් නොවේ.

නිවහන මුල්කොටගත් පරිසර හිතකාමී නිවාසලාභී පවුලේ ආර්ථිකය ශක්තිමත් වන ආකාරයෙන් නිර්මාණය වන නිවාස සමූහයකින් මේ ජනාවාසය සමන්විත වන අතර, නිවාසලාභීන්ට සිය නිවාසයන්හි ජීවත්වීමට අවශ්‍ය කරන්නා වූ ජලය, විදුලිය, හා මාර්ග වැනි සෙසු යටිතල පහසුකම් සියල්ල මේ ආදර්ශ ගම්මාන සඳහා එක්වී තිබේ. ඒ සියලු කරුණු එක්වීම තුළින් මේ නව ආදර්ශ ගම්මාන නිර්මාණයවීම සිදුකෙරේ.

ඉදි වූ මේ ගම්මාන අංගසම්පූර්ණ ජනාවාස ලෙසින් සකස්වීමෙන් අනතුරුව නිවාසලාභීන්ගේ අයිතියට පත් කිරීම සිදුකෙරෙන අතර, එම ක්‍රියාදාමයේ ප්‍රථම ආදර්ශ ගම්මානය ජන අයිතියට පත්කරලීම 2016 අප්‍රේල් මස 11 දින මුලතිවු දිස්ත්‍රික්කයේ වැලිඔය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, ඉසුරුපුර, ආදර්ශ ගම්මානය ජනතා අයිතියට පත්වීමත් සමගින් සිදුවිය. එදා අද කාලපරිච්ඡේදය තුළ දී නව ආදර්ශ ගම්මාන 180ක හිමිකම ජනගතකොට ඇති අතර, එහි 180 වැනි ආදර්ශ ගම්මානය හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉදි වූ සියත්ලංකාගම, ආදර්ශ ගම්මානය 2018 වසරේ පසුගිය මාර්තු 11 දින ජනතා අයිතියට පත්විය.

සැමට සෙවණ ජාතික නිවාස වැඩපිළිවෙළේ විශේෂිත සංවර්ධන ක්‍රියාදාමය ලෙස මේ ආදර්ශ ගම්මාන වැඩසටහන හඳුන්වාදිය හැකි වන අතර, වර්තමාන සමාජයේ දැඩි නිවාස අවශ්‍යතාවක් පවත්නා විවාහක තරුණ පිරිස් මෙහි බහුතර ප්‍රතිලාභීන් වේ. එමෙන්ම මේ නිවාස සංවර්ධන වැඩපිළිවෙළ ආදර්ශ ගම්මාන ක්‍රියාවලිය තුළින් ශ්‍රී ලාංකික ජන සමාජයේ විවිධ ජනකොටස්හි නිවාස අවශ්‍යතාව වඩාත් නිවැරැදිව හඳුනා ගනිමින් ඒ සඳහා විසඳුම් ලබාදෙමින් ක්‍රියාත්මකවීම මෙහිලා දැකගත හැකි තවත් විශේෂිත ලක්ෂණයකි.

දශක හතරකට ආසන්න කාලපරිච්ඡේදයක් උතුරුකරයේ පැවැති යුදමය තත්ත්වය ඉතිරි ප්‍රදේශයන්හි ජන ජීවිතයට දැඩි බලපෑමක් ඇති කළ අතර, ඔවුන් ජීවත් වූ නිවාස හා ජනාවාස විනාශයට පත්විය. පසුකාලීනව උතුරු නැ‍ඟෙනහිර ප්‍රදේශ තුළ නව ජනාවාස සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ දී එහි කිසියම් පසුගාමීත්වයක් පෙන්නුම් කළ අතර, එයට ප්‍රමුඛතම හේතුව වූයේ එකී ප්‍රදේශයන්හි ජීවත්වන ජනතාවගේ සැබෑ ජනාවාස සංස්කෘතිය පිළිබඳ නිසි අවබෝධයකින් ප්‍රතිලාභී දායකත්වයෙන් මේ සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක නොවීමයි.

උතුරට ගම්මාන 500ක්

එනමුත් මෙය වඩාත් නිවැරැදිව තේරුම්ගත් සැමට සෙවණ ජාතික නිවාස වැඩපිළිවෙළ ගත වූ සිවු වසරක කාලපරිච්ඡේදයක් තුළ දී දිවයිනේ සෙසු ප්‍රදේශවල මෙන් උතුරු සහ නැ‍ඟෙනහිර ප්‍රදේශවල මේ ආදර්ශ ගම්මාන වැඩසටහන එකී ප්‍රදේශයන්හි නිවාස අවශ්‍යතාව පවත්නා ජනතාවගේ සහභාගීත්වයෙන් ක්‍රියාවට නංවනු ලැබීය. එහි ප්‍රතිඵලයක් ලෙස ගත වූ මේ සිවු වසරක කාලය තුළ දී උතුරු පළාතේ සියලු දිස්ත්‍රික්ක ආවරණය වන ආකාරයෙන් ආදර්ශ ගම්මාන 500කට ආසන්න ප්‍රමාණයක ඉදිකිරීම් කටයුතු සිදුකෙරෙන අතර, ඒ තුළින් ප්‍රතිලාභ ලැබූ මුළු පවුල් ප්‍රමාණය පවුල් 15,000කට ආසන්න වේ. මෙයට අමතරව නැ‍ඟෙනහිර ප්‍රදේශයේ මඩකළපුව දිස්ත්‍රික්කය තුළ තවත් නව ආදර්ශ ගම්මාන 265ක ඉදිකිරීම් කටයුතු දැනටමත් ආරම්භ කර ඇති අතර, ඒ තුළින් ප්‍රතිලාභ හිමිවන පවුල් ප්‍රමාණය 5,000කට අධික වේ.

රෝගීනට නිවෙසක හිමිකම

සැමට සෙවණ ජාතික නිවාස වැඩපිළිවෙළ මේ ආදර්ශ ගම්මාන ක්‍රියාවලියට පමණක් සීමානොවන අතර, එය නිරන්තරයෙන්ම සමාජයේ විවිධ ජනකොටස් හඳුනා ගනිමින් ඔවුන්ගේ නිවාස අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා සිය දායකත්වය නොමඳව ලබාදෙනු ලැබීය. වකුගඩු රෝගයෙන් පීඩාවට පත්වූවන්ට සිය රෝගයට අවශ්‍ය උවටැන නිවැරැදිව ලබාගැනීමට අවශ්‍ය කරන්නා වූ යටිතල පහසුකම් සහිත නව නිවාස නිර්මාණයකරලීම සැමට සෙවණ ජාතික නිවාස වැඩසටහන තුළින් සිදුකෙරේ. එම කාර්යයදාමය තුළින් වකුගඩු රෝගයෙන් පීඩාවට පත් වූ 4500කට අධික ප්‍රමාණයකට නව නිවාස පහසුකම් සැපයීමට සැමට සෙවණ ජාතික නිවාස වැඩපිළිවෙළ සමත්ව තිබේ.

රණවිරු නිවාස

මෙරට නිදහස හා ස්වෛරීත්වය වෙනුවෙන් විරෝදාර සටනක යෙදුණු රණවිරුවන් සඳහා සිය දායකත්වය ලබාදීම සැමට සෙවණ ජාතික නිවාස වැඩපිළිවෙළේ විශේෂිත ලක්ෂණයකි. 2017 වසරින් ඇරැඹි විරු සුමිතුරු වැඩපිළිවෙළ මෙවන් රණවිරුවන්ගේ නිවාස සංවර්ධනය වෙනුවෙන් සිය දායකත්වය ලබා දී තිබේ.

නිවාසකරණයට සෙවණ පිහිට

නිවාස අහිමිකම සමාජයේ දුප්පත්කම වර්ධනයවීමට මූලික හේතුවකි. දුගී දුප්පතුන් නිරන්තරයෙන් පැල්පත් හෝ තාවකාලික නිවෙසක ජීවත්වීම සමාජීය ගැටලුවක්ව පැවැති සමයක සෙවණ අරමුදල හඳුන්වා දුන් නිවාස ආධාර වැඩපිළිවෙළ අසූව දශකයේ දී මෙරට ජීවත් වූ පැල්පත් හා තාවකාලික නිවාස හිමි දුප්පතුනට තමන්ගේම තිරසර නිවෙසක් ඉදිකරදීමට සමත්ව තිබේ. වර්තමානයේ දී විවිධ පරිත්‍යාගශීලීන්ගෙන් හා සෙවණ ලොතරැයියෙන් මනාව පෝෂණය වන සෙවණ අරමුදල සැමට සෙවණ ජාතික නිවාස වැඩපිළිවෙළට සිය දායකත්වය ලබාදෙමින් නිවෙසක් අහිමි දුගී දුප්පත් ජනතාව සඳහා සිය නිවාස සම්පාදනය වෙනුවෙන් දායකත්වය ලබා දී තිබේ. එවන් වූ පවුල් 3000කට අධික ප්‍රමාණයකට සෙවණ අරමුදල සිය ප්‍රතිලාභ ඉදිකරදී තිබේ.

සැමට සෙවණ ජාතික නිවාස වැඩපිළිවෙළේ සමස්ත ක්‍රියාදාමය තුළ සැලකිය යුතු නිවාස හිමිකමත් නිවාස අහිමි වූ දුගී දුප්පතුන්ටත් තමන්ගේම නිවහනක් ඉදිකර ගැනීමට ආර්ථික ශක්තියක් නොමැති උතුරු නැ‍ඟෙනහිර ප්‍රදේශවල ජනතාව සඳහාත් හිමිකරදී තිබේ. මේ කාර්යයදාමය සඳහා රාජ්‍ය අරමුදල් දායකත්වය නොමඳව හිමිවී ඇත. පසුගිය පාලන කාලපරිච්ඡේදය තුළ දී මෙරට ක්‍රියාත්මක වූ බොහෝ ජාතික සංවර්ධන වැඩපිළිවෙළ නිවාසකරණය සඳහා රාජ්‍ය මූල්‍ය දායකත්වය ලබාදෙනු ලැබුවේ ආයෝජිත මුදල ප්‍රතිලාභීන් වෙතින් නැවත අයකර ගැනීමේ අරමුණිනි.

ආධාර නිවාසකරණයට වැඩි අවධානයක්

එසේ වුවද, සජිත් ප්‍රේමදාස ඇමැතිවරයාගේ පුරෝගාමීත්වයෙන් සැමට සෙවණ ජාතික නිවාස වැඩපිළිවෙළ සිය ක්‍රියාකාරීත්වය තුළ විශේෂිත අවධානයක් යොමු කර ඇත්තේ නිවාස අහිමි දුගී දුප්පතුනට හා යුද්ධයෙන් තමන්ගේ නිවාස අහිමි වූ ජන කණ්ඩායම් සඳහා ජාතික මෙහෙවරක් ඉටු කිරීමේ අපේක්ෂාවෙනි. ඔවුන් සඳහා රාජ්‍ය මූල්‍ය දායකත්වය ආධාරයක් ලෙසින් ලබාදීම මේ ක්‍රියාදාමයේ විශේෂත්වයයි. 2015 වසරේ ඇරැඹි සැමට සෙවණ ජාතික නිවාස වැඩසටහන තුළින් මේ දක්වා ප්‍රතිලාභීන් 350,000කට අධික ප්‍රමාණයකට නිවාස හිමිකම ලබා දී ඇති අතර, එයින් 150,000කට අධික ප්‍රමාණයක් මෙලෙස ආධාරලාභීන් ලෙසින් නිවාස ඉදිකරලීම තුළින්ම මේ කාර්යය සඳහා ලබාදී ඇති ප්‍රමුඛතාව පෙනීයයි.

ඉන්දියානු රජයේ ප්‍රසාදය

සැමට සෙවණ ජාතික නිවාස වැඩපිළිවෙළ කවර හෝ භේදයකින් තොරව සියලු පාර්ශ්ව එක්රැස් කරමින් ඒ සියලු කණ්ඩායම්හි අවශ්‍යතාව නිවැරැදිව හඳුනා ගනිමින් ක්‍රියාත්මකවීම නිසාම එය බෙහෙවින් ජනතාවට සමීප සංවර්ධන වැඩපිළිවෙළක් ලෙසින් ක්‍රියාත්මක වේ. ඒ හේතුවෙන්ම මේ වැඩපිළිවෙළ සඳහා ජාත්‍යන්තර කීර්තිය නොමදව හිමිවී ඇති අතර, විදේශීය රටවල අවධානයට යොමුවී ඇත. ඉන්දියානු රජය මේ සංවර්ධන ක්‍රියාදාමය තුළ වඩාත් වැඩි පැහැදීමක් ඇති කර ගනිමින් සැමට සෙවණ ආදර්ශ ගම්මාන වැඩපිළිවෙළ සඳහා සිය දායකත්වය ලබාදීමට ඉදිරිපත් වූ අතර, පසුගිය දෙවසරක කාලපරිච්ඡේදය තුළ ඔවුන් ශ්‍රී ලංකාවේ නව ආදර්ශ ගම්මාන 100ක ඉදිකිරීම් කටයුතු සිදුකිරීම සඳහා රුපියල් මිලියන 300කට අධික මුදලක් වැයකොට ඇති අතර, ඒ තුළින් ප්‍රතිලාභ ලැබූ පවුල් ප්‍රමාණය 600ක් වේ.

සියලු ගම්මාන හරිත ගම්මාන

දිවයින පුරා ඉදිවන මේ සියලු ආදර්ශ ගම්මාන අනාගත පැවැත්ම උදෙසා හරිත ගම්මාන ලෙසින් නිර්මාණය කරලීමේ විශේෂ වැඩසටහනක් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක කෙරෙන අතර, එම ක්‍රියාදාමය තුළින් මේ සියලු ආදර්ශ ගම්මානයන්හි ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය, පරිසර සංරක්ෂණය මත්ද්‍රව්‍ය නිවාරණය, දරුවන් සුරක්ෂිත කිරීම, වකුගඩු රෝග නිවාරණය සහ ආබාධ සහිත පුද්ගලයන් හා වැඩිහිටි පුද්ගලයන් සවිබල ගැන්වීමේ වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ.

කුඩා ගම්මාන 50,000ක්

සැමට සෙවණ ජාතික නිවාස වැඩසටහන ජනතාවගේ අවශ්‍යතාවට අනුකූලව ක්‍රියාත්මක වන සංවර්ධන වැඩසටහනකි. ප්‍රජාවගේ අවශ්‍යතාවට අනුකූලවන ආකාරයෙන් ක්‍රියාත්මක මේ සංවර්ධන වැඩසටහන දිස්ත්‍රික්, ප්‍රාදේශීය හා ග්‍රාමීය වසම් මට්ටමටත් වඩා ඉදිරියට යමින් දිවයින පුරා පවත්නා ඉපැරැණි කුඩා

ගම්මාන මට්ටමටම විමධ්‍යගතව ක්‍රියාත්මකවීම මෙහි සාර්ථකත්වයට මූලික හේතුවයි. දැනටමත් දිවයින පුරා එවන් කුඩා ගම්මාන 50,000කට අධික ප්‍රමාණයක් පවත්නා අතර, ඒ සියලු කුඩා ගම්මාන තුළ සැබෑ ජන නියෝජනයක් ඇති කරලමින් ඔවුන්ගේ අවශ්‍යතාවට අනුකූලව සැමට සෙවණ ජාතික නිවාස වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට කටයුතු කෙරේ. කුඩා ගම්මාන ආශ්‍රිතව පිහිටවනු ලබන ප්‍රජා ජනාවාස කමිටු මේ නිවාස සංවර්ධන වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා සිය දායකත්වය ලබාදෙනු ලබයි. මේ වන විට සමස්ත ගම්මාන ප්‍රමාණයෙන් 50% කට වැඩි ප්‍රමාණයක අදාළ ප්‍රජා ජනාවාස කමිටු ස්ථාපිත කිරීමට හැකියාව ලැබී තිබේ.

මෙවන් ආකාරයට ගත වූ සිවු වසරක කාලපරිච්ඡේදය තුළ දී සැමට සෙවණ ජාතික නිවාස වැඩසටහන වැඩි රාජ්‍ය මූල්‍ය දායකත්වයකින් වැඩි ජන සහභාගීත්වයකින් ජනතාවට බෙහෙවින් සමීප සංවර්ධන වැඩපිළිවෙළක් ලෙසින් ක්‍රියාත්මකවී තිබේ. නිවැරැදි දේශපාලන නායකත්වයත් සෙසු සියලු පාර්ශ්වයන්ගේ සහායත් සෑම ප්‍රතිලාභීන්ගේ සහභාගීත්වයත්, සැමට සෙවණ ජාතික නිවාස වැඩපිළිවෙළේ සාර්ථකත්වයට හේතුවී තිබේ. මේ සංවර්ධන ක්‍රියාදාමයේ මූලික අරමුණ වනුයේ ඉදිරි දශක කිහිපය තුළ දී ශ්‍රී ලාංකික ජන සමාජයේ ජීවත්වන සෑම පුරවැසියකුටම තමන්ගේම කිවහැකි ස්ථිර නිවහනක අයිතිය ලබාදීමයි. එම නොනිමි සමාජ මෙහෙවර ඉටුවන තෙක්, සැමට සෙවණ ජාතික සංවර්ධන ක්‍රියාදාමයේ ක්‍රියාකාරීත්වය සමස්ත සමාජයේ අපේක්ෂාව වේ.

ලක්විජය සාගර පලන්සූරිය 

නව අදහස දක්වන්න