ශ්‍රී ලංකාවට එරෙහි එක්දින තරගාවලිය දකුණු අප්‍රිකානුවෝ 5-0කින් දිනති | දිනමිණ

ශ්‍රී ලංකාවට එරෙහි එක්දින තරගාවලිය දකුණු අප්‍රිකානුවෝ 5-0කින් දිනති

ඒඩ්න් මාක්‍රම්ගේ නොදැවුණු අර්ධ ශතකයක්, අභියෝගාත්මක පන්දු යැවීමත් නිසා කේප් ටවුන් නුවර පෙරේදා පැවැති දිවා රාත්‍රී පස්වැනි සහ අවසන් එක්දින තරගයෙන් ද පරාජයට පත්වීමට ශ්‍රී ලංකා පිලට සිදුවිය.

දකුණු අප්‍රිකානුවෝ ලකුණු 226ක ඉලක්කයක් හඹා යමින් සිටියදී ක්‍රීඩාංගණයේ එක් විදුලි ආලෝක කුලුණක විදුලිය විසන්ධි වීමෙන් තරගය නැවැත්වීමට සිදුවිය. ඒ වනවිට දකුණු අප්‍රිකානු පිල ඕවර 28කදී කඩුලු 2ක් දැවී ලකුණු 135ක් ලබා සිටියේය. පසුව විදුලි ආලෝකය නැවත පිළිසකර කිරීමට කාර්මික නිලධාරීන් පැයකට අධික කාලයක් තුල දැරූ උත්සාහය වඅසාර්ථකවීමෙන් තරගය අත්හිටුවා ඩක්වර්ත් ලුවිස් ක්‍රමවේදයට අනුව ප්‍රතිඵල නිකුත් කිරීමට විනිසුරුවරුන්ට සිදුවිය.

ඒ වනවිට ලකුණු 41ක් ඉදිරියෙන් පසුවූ දකුණු අප්‍රිකානු පිලට තරගයේ ජය හිමිවිය. ඒ අනුව තරගාවලිය 5-0කින් ජයගැනීමට දකුණු අප්‍රිකානුවෝ සමත්වූහ.

පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිලට ඕවර 49.3කදී රැස් කිරීමට හැකිවූයේ ලකුණු 225ක් පමණි. කගීසෝ රබාඩා කඩුලු3ක් දවාගත් අතර දකුණු අප්‍රිකාවේදි සිය අවසන් එක්දින තරගයට ක්‍රීඩා කළ ඉම්රාන් තාහීර් කඩුලු 2ක් දවාලීය.

ලුන්ගි එන්ගිඩි සහ රබාඩාගේ පන්දු හමුවේ ශ්‍රී ලංකා පිලේ පළමු කඩුලු2ම ලකුණු 2ක් ඇතුළත බිඳ වැටුණු අතර ඕෂද ප්‍රනාන්දු සහ කුසල් මෙන්ඩිස් එක්ව තුන්වැනි කඩුල්ල සඳහා ලකුණු 61ක සම්බන්ධතාවක් ගොඩනැගූහ. අනතුරුව මැදපෙළ පිතිකරුවන් වන ඇන්ජෙලෝ පෙරේරා සහ පියමල් පෙරේරා සහ ඉසුරු උදාන ශ්‍රී ලංකා ඉනිම ලකුණු 200 සීමාවෙන් ඔබ්බට රැගෙන යාමට සමත්වූවත් සටනක් ලබාදීමට තරම් ප්‍රමාණවත් ලකුණු සංඛ්‍යාවක් කරායාමට ශ්‍රී ලංකා පිලට නොහැකි විය.


නව අදහස දක්වන්න