ශ්‍රී ලංකාව සමුද්‍රීය කේන්ද්‍රස්ථානය කිරීමට තරගකාරී වෙළෙඳපොළට යා යුතුයි | දිනමිණ

ශ්‍රී ලංකාව සමුද්‍රීය කේන්ද්‍රස්ථානය කිරීමට තරගකාරී වෙළෙඳපොළට යා යුතුයි

අසේල ලියනගේ සහ බුද්ධි කරුණාරත්න

වසර 2050 වන විට ශ්‍රී ලංකාව සමුද්‍රීය කේන්ද්‍රස්ථානය බවට පත්කිරීම සඳහා ජාත්‍යන්තර තරගකාරී වෙළඳපොළට ඇතුළත්විය යුතු බවත් මේ සඳහා පක්ෂ බේදයකින් තොරව එකට පෙලගැසිය යුතු බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ පසුගියදා (13) මරදාන Trace expert City පරිශ්‍රයේ පැවැති අන්තර්ජාතික කම්කරු සංවිධානයේ 100 වැනි සංවත්සර උත්සවයට එක්වෙමිනි.

එහිදී ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින නියෝජනය කරන කාර්යාලය මගින් ශ්‍රී ලංකාවේ ශ්‍රම අනාගතය - දිදුලන අනාගතයක් උදෙසා තාක්ෂණික සංක්‍රමණ වාර්තාව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට බාරදෙන ලදි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා,

අපි මේ සමරන්නේ අන්තර්ජාතික කම්කරු සංවිධානයේ 100 වැනි සංවත්සරයයි. අද අප මුහුණ දී සිටින්නේ වැටුප් නොගෙවන සේවකයන්ට වඩා වැටුප් ලබන සේවකයන් ඉතා බහුලව සිටීමේ තත්ත්වයටයි. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සාර්ථකත්වයට හේතු වූ කරුණු අන්තර්ජාතික කම්කරු සංවිධානය ආරම්භ කිරීමටත් බොහෝ කාලයකට පෙර එනම් මීට දශක කිහිපයකට පෙර මේ රටේ තත්ත්වය ගැන විසිවැනි සියවසේ ලියැවුණු The Twentieth Century Impressions of Ceylon නම්පොතක් ඇසුරින් කියැවීමට මට හැකි වුණා.

අපි කතා කරනවා පශ්චාත් කාර්මික විප්ලවය ගැන. අපි කතා කරනවා සිවුවැනි කාර්මික විප්ලවය ගැන. තාක්ෂණය වෙනස් වෙනවා. අන්තර්ජාතික කම්කරු සංවිධානය ආරම්භ කළ සමයේ ප්‍රධාන වශයෙන් ලෝකයේ ආධිපත්‍ය දැරුවේ යුරෝපීය අධිරාජ්‍යවාදීන්. අද දවසේ මේ සඳහා බොහෝදෙනා සිටින බව අපට පෙනෙනවා. ඒ කාලයේ 1 වැනි ලෝක යුද්ධයට පසු ලෝකය විශාල පරිවර්තනයකට මුහුණ දෙමින් සිටියා. මාක්ස්වාදීන්ගේ සුවිශාල නැඟිටීම මේ කාලයේ සිදුවුණා. පසුව අධිරාජ්‍යවාදය සහ මාක්ස්වාදය යන දෙකම අතුරුදන් වුණා. ඒත් පසුව ආ අමෙරිකානු මැදිහත් වීම තවමත් පවතිනවා. ඊළඟට පෙරදිග ආසියාවේ නැඟිටීම අපට දකින්න පුළුවනි.

දැන් ඉන්දියන් කලාපය ඉදිරියට යනවා. සියල්ලම වෙනස් වෙනවා. කල්පනා කරලා බලන්න වෙළෙඳපොළේ අද චීනය ඉන්න තැන. අද ඉන්දියාවේ ඉතා විශාල වශයෙන් තොරතුරු තාක්ෂණය තිබෙනවා. ඔබට පෙනෙනවා ලෝකය කෙතරම් වේගයෙන් වෙනස් වෙනවාද කියලා. ශ්‍රී ලංකාවේ ඉන්නා අපි සූදානමින් සිටිය යුතුයි. අපට පෙනෙන්නේ අයිස් පරයේ මුදුන විතරයි. බලයට පැමිණි විගස ආණ්ඩුව පියවර කිහිපයක් ගනු ලැබුවා. මුලින්ම කිවයුත්තේ ආර්ථිකය මියයමින් සිටින විට කිසිම දෙයක් කළ නොහැකි බවයි. විශාල ණය බරක් ගෙවීමට අපට තිබුණා. අස්ථාවර ආර්ථිකයක් තිබියදී අපට ඉදිරියට යා නොහැකියි. මීට වසර කිහිපයකට පෙර ආර්ථිකය ශක්තිමත් කිරීමට අප පියවර කිහිපයක් ගත්තා. තවමත් අපට විශාල විදෙස් ණය ප්‍රමාණයක් ගෙවීමට තිබෙනවා. එය අප ගෙවිය යුත්තේ උපයා ගැනීමෙන් අනතුරුවයි. මුලින්ම අප කළේ විශාල දුෂ්කරතා විඳගෙන ජනප්‍රිය නොවන ක්‍රියාමාර්ග රැසක් ක්‍රියාත්මක කර ප්‍රාථමික ගිණුමේ සහ ජංගම ගිණුම්වල පවතින ශේෂය ඉහළ දැමීමට කටයුතු කිරීමයි. එහෙත් දැන් අපට ණය ගෙවීම ඇරඹීමට හැකි වී තිබෙනවා.

අපි සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශාල ආයෝජන ප්‍රමාණයක් සිදුකර තිබෙනවා, මන්ද නිරෝගීමත් ශ්‍රම බළකායක් අපට අවශ්‍ය නිසයි ඒ. රටපුරාම ඒ පහසුකම් අපි ව්‍යාප්ත කරලා තියෙනවා. අධ්‍යාපනයටත් වඩා සෞඛ්‍ය ක්ෂේත්‍රයට අප වැය කරලා තියෙනවා. දෙවනුව අපට අධ්‍යාපන පද්ධතිය ගැන සොයා බැලීමට සිදුවෙනවා. ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ පාසල්වලට මූලික වශයෙන් අවශ්‍ය වන පාසල් ගොඩනැඟිලි සහ ජංගම විද්‍යාගාර ආදිය ලබාදීමට අප කටයුතු කරනවා. එපමණක් නොවේ ඉදිරි වසර තුන හතර ඇතුළත අංග සම්පූර්ණ පුහුණුවකින් යුක්ත ගුරුවරු පිරිසක් ඇති කිරීමට අප කටයුතු යොදා තිබෙනවා. මේ යටතේ උපාධි සහ ඩිප්ලෝමා ඇති අය 10,000ක් දැනටමත් ගුරුවරු ලෙස පුහුණු කිරීමට අප පියවර ගෙන තිබෙනවා. මේ ආකාරයෙන් ඉදිරියේදී ගුරුවරුන් 25,000ක් දක්වා බඳවා ගැනීමට අප සූදානමින් සිටින අතර ඉන් ඉදිරියට මේ වෘත්තියට බඳවා ගනු ලබන්නේ නිසි අධ්‍යාපන සුදුසුකම් ඇති අය පමණයි. මේ සියල්ලටම වඩා ඉතාම වැදගත් පියවර දෙකක් අපි අරගෙන තියෙනවා, එකක් තමයි වසර 13ක අනිවාර්ය අධ්‍යාපනයයි. අපි එය මේ වන විටත් ආරම්භ කර අවසානයි. අනිත් කාරණේ තමයි මොනවද අපි ඉගෙන ගන්නේ, මොනවද අපි අධ්‍යයනය කරන්නේ කියන එක, ඒවගේම අපි ගුරුවරුන් පුහුණු කරන්නේ කොහොමද කියන කාරණය වැදගත් වෙනවා. සමහර විෂයන් දැනටමත් නියමු වැඩසටහන යටතේ වෙනස් කිරීම්වලට ලක්කර තිබෙනවා. ඉදිරි පස් වසර ඇතුළත ස්මාර්ට් පංති කාමර ආරම්භ කිරීමට අප කටයුතු කරනවා. උසස් පෙළ පංතිවල දරුවන්ට ටැබ් ලබාදීමේ කටයුතු ඉක්මනින්ම සිදු කරනවා. මගේ මිත්‍ර කබීර් හෂිම් ඇමැතිතුමාගේ කැබිනට් උප කමිටුව මේ ගැන වැඩිදුර කටයුතු කරන ආකාරය තීරණය කරනු ඇති. පාසල්වලට තොරතුරු තාක්ෂණය ගෙන ඒමට අවශ්‍ය කරන පළමු පියවර මේ ආකාරයෙන් ගෙන තිබෙනවා.

අපි අනාගත අභියෝගවලට මුහුණදිය හැකි ආකාරයට අපගේ අනාගත ශ්‍රම බලකාය පාසල් මට්ටමෙන් පුහුණු කරන්නේ කොහොමද කියලා කල්පනා කරන්න ඕනෙ, දෙවැන්න තාක්ෂණික අධ්‍යාපනය හා තෘතීය අධ්‍යාපනයයි. කුසලතා වර්ධනය කිරීම සඳහා ඇමැතිවරයකු පත්කර තිබෙන බැවින් වෘත්තීය පුහුණුව සඳහා ඇති NAITA, වෘත්තීය පුහුණු අධිකාරිය, තාක්ෂණික අධ්‍යාපන දෙපාර්තමේන්තුව සහ තාක්ෂණ විශ්වවිද්‍යාලය යනාදී විවිධ ආයතනවලට පොදු සැලැස්මක් ඉදිරිපත් කරන ලෙස මා ඉල්ලීමක් කරනවා. මේ මඟින් වැඩ පරිසරයට ගැළපෙන විද්‍යාර්ථීන් පිරිසක් අපට බිහිකරගත හැකි වනු ඇති. විශේෂයෙන්ම පෞද්ගලික ක්ෂේත්‍රයේ පුළුල් වන රැකියා අවස්ථා සඳහා ඒ අය සූදානම් කළ යුතු වෙනවා. එහි පළමු අදියර ක්‍රියාත්මකයි, දෙවැනි අදියර ඉදිරියේදී පැමිණීමට නියමිතයි.

විශ්වවිද්‍යාල නොවන තෘතීය අධ්‍යාපන ආයතනවලට මුදල් යෙදවීම පමණක් ප්‍රමාණවත් නැහැ. මම හිතන්නේ බොහෝ දෙනෙක් මෙහි නියම අවශ්‍යතාව හඳුනාගෙන නැහැ. යෙදූ මුදල නිසි පරිදි උපයෝජනය කළ යුතුව ඇති අතර ඉන්පසු තවත් මුදල් යෙදවීම ගැන කල්පනා කළ හැකියි. ඇත්තෙන්ම දින කිහිපයකට පෙර දත්ත සුරක්ෂණය ගැන කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡා කළා. මෙහිදී නව නීති ගෙන ඒමට, ඩිජිටල් ආර්ථික සහ යටිතල පහසුකම් පිළිබඳ නව ඇමැතිවරයකු පත් කිරීමට මා සමඟ සාකච්ඡා කර තිබෙනවා. විවිධ රාජ්‍ය ආයතනවල ඩිජිටල්කරණය, පරිගණකගතකරණය කාලානුරූපව සිදුකරන බව සහතික කරන නීති රාමුවක් ඇති කරනු ඇති. මේ එහි සැබෑ ආරම්භයයි. එයින් අනතුරුව අප යන්නේ කොතැනටදැයි විමසිය යුතුයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස අනාගත ශ්‍රී ලංකාවේ දී වැඩකටයුතු කිරීම ඉතා පහසු කටයුත්තක් වනු ඇති. වසර විස්සක් තිහක් ඉදිරියේ අය ගැනයි අප මෙසේ කල්පනා කරන්නේ. ඔවුන් අප ගැන බැලිය යුතු නැහැ. ඔවුන්ට ලෝකය ගැන බැලීමට අවස්ථා තිබිය යුතුයි. අපගේ උපමහාද්වීපය අනාගතයේ තිබෙන්නේ කොතැනදැයි තේරුම්ගෙන ක්‍රියා කිරීමයි වැදගත් වෙන්නේ.

ශ්‍රී ලංකාව සමුද්‍රීය කේන්ද්‍රස්ථානයක් කිරීමට අප කටයුතු කළ යුතුයි. මේ සඳහා ලොව පුරා අවධානයට ලක් වී ඇති අපගේ වරාය පද්ධතිය වැඩිදියුණු කිරීම ඉතාම වැදගත් කාරණයක් වෙනවා. වරායන් තුන 2050 දක්වා සාර්ථක ගමනකට පෙළ ගැස්විය හැකි බව මගේ මතයයි. හම්බන්තොට පටන්ගත්තා පමණයි. තව වසර පහක් දහයක් යන විට එහි සාර්ථකත්වය ඇති වන බව පෙනී යන කරුණක්. හම්බන්තොට වරායට තවත් පුළුල් කිරීමට ඉඩ තිබෙනවා. කොළඹ වරායේ පෙරදිග සහ බටහිර පර්යන්ත උපයෝජනය කිරීම ගැන අවසාන සැලැසුම් සකස් කරමින් සිටිනවා. අනිත් එක දකුණේ වරාය පුළුල් කිරීමයි. මේ සැලැස්මට ත්‍රිකුණාමලයේ වරාය අයත් නොවුණත් පෙරදිග බටහිර අධිවේගී මාර්ගය යටතේ ඒ ගැනත් අවධානය යොමු කරනු ඇති.

අප විශ්වාස කරනවා හැකි උපරිම වේගයෙන් කලාපයේ සහ උපමහාද්වීපයේ සංවර්ධනයක් අත්පත් කරගැනීමට මේ පියවර මඟින් හැකි වනු ඇතැයි කියා. හම්බන්තොටත් වර්තමාන සැලැස්ම 2040 දක්වා ක්‍රියාත්මක වන අතර ඉන් අනතුරුව තවත් පුළුල් කිරීමේ කටයුතු සිදුකරනු ඇති. භාණ්ඩ ප්‍රවාහන උපකරණ පද්ධතිවල නවීකරණ දැන් දක්නට ලැබෙනු ඇති. ගුවන් තොටුපළවලට අමතර දෙවැනි ගුවන් ධාවන පථයක් එකතු කිරීමට නියමිතයි. මේ සම්බන්ධයෙන් ඉන්දීය ගුවන්තොටුපළ අධිකාරිය සමඟ මේ ගැන මහජන- පුද්ගලික සහයෝගිතා වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අප බලාපොරොත්තු වෙනවා. ඉතාම ඉක්මනින් වැඩිදියුණු කළ පලාලිහි ගුවන්තොටුපළ විවෘත කිරීමට නියමිතයි. මම හිතන්නේ ගුවන් ගමන්වල දියුණුව වඩාත් අර්ථවත් වෙන්නේ වරායවල දියුණුවද ඊට සමගාමීව සිදුවන නිසායි. අපි ඉස්සරහට යන්නේ කොහොමද කියන කාරණයේදී මේ කියපු අභියෝග ජයගන්නේ කොහොමද කියන කාරණය වැදගත් වෙනවා. අපට ශ්‍රම වෙළෙඳපළේ ඉහළට යා හැකිනම් මේ ඉලක්ක යථාර්ථවත් කරගත හැකියි. තරගකාරී සමාජ වෙළෙඳපොළ ආර්ථිකයකට අප යායුතුයි. මේ නිසා ශ්‍රී ලංකාවට ලෝකයේ විවිධ විශේෂ වෙළෙඳපළවලට යාහැකි වන බව අපට තහවුරු කළ හැකි වෙනවා. අපේ තේ ලෝක වෙළෙඳපො‍ළේ තරග කරන්නේ කොහොමද, අපේ ඇඟලුම් ලෝක වෙළෙඳපළේ තරග කරන්නේ කොහොමද, අලුත් ක්ෂේත්‍ර මොනවාද, අධ්‍යයනය කළයුතු නව තාක්ෂණය කුමක්ද වැනි කාරණා සලකා බැලිය යුතුයි. මේ සන්දර්භයේ දී අපගේ ජන විකාශනය තවදුරටත් පුළුල් නොකර ස්ථාවරව පවත්වාගෙන යාම වැදගත් වෙනවා.

වැඩ කළ හැකි වයස් සීමාව කුමක්ද, විශ්‍රාම ගත යුතු වයස් සීමාව කුමක්ද වැනි කාරණා, ගනුදෙනු කළයුතු නොයෙකුත් නව සංකල්ප මොනවාද යන්න අපගේ අවධානයට ලක්විය යුතුයි. තවද ඔබට ප්‍රමාණවත් අවම ආදායමක් තිබෙනවාද, මූලික ආදායමක් තිබෙනවාද, ඔබට මුදල් ලැබෙන්නේ කොහොමද, මේවා නැවත බෙදාහරින්නේ කොහොමද වැනි කාරණා ගැන කල්පනා කළ යුතුයි. මේ පරිවර්තනයන් අප සිදුකළ යුතුයි එය මඟ හැරිය නොහැකියි. අප කරන්නේ ශ්‍රී ලංකාවේ අනාගතය වෙනුවෙන් මේ කර්තව්‍යයේ නිරත වීමයි. අප සටන් පාඨ කියමින් යන ආණ්ඩුවක් නොවෙයි. අප ප්‍රතිඵල පෙන්විය යුතුයි. මෙයින් ඇත්තෙන්ම තීරණය වන්නේ ශ්‍රී ලංකාවට ලෝකයේ හිමි වන ස්ථානය කුමක්ද යන්නයි. ඉස්සරහට යනවාද පස්සට යනවාදැයි අප තීරණය කළ යුතු වෙනවා.

මෙම අවස්ථාව සදහා කම්කරු හා වෘත්තිය සමිති සබඳතා ඇමැති රවීන්ද්‍ර සමරවීර මහතා, මහාමාර්ග හා ඛනිජ තෙල් සම්පත් ඇමැති කබීර් හෂීම් මහතා, රාජ්‍ය ඇමැති වඩිවෙල් සුරේෂ් මහතා, ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ නිලධාරින් ඇතුළු මැති ඇමැතිවරු පිරිසක් සහභාගී වූහ.

ජායාරූප - හිරන්ත ගුණතිලක 


නව අදහස දක්වන්න