නවසීලන්තයට ත්‍රස්ත ප්‍රහාරයක් - මිය ගිය සංඛ්‍යාව 49 දක්වා ඉහළට | දිනමිණ

නවසීලන්තයට ත්‍රස්ත ප්‍රහාරයක් - මිය ගිය සංඛ්‍යාව 49 දක්වා ඉහළට

ක්‍රිසන්ති විතාරණ

සංක්‍රමණ විරෝධී දක්ෂිණාංශික (Anti-immigrant extreme right wing ) අන්තවාදීන් විසින් නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් හි මුස්ලිම් දේවස්ථාන දෙකකට හා ජනාකීර්ණ වීදියකට එල්ල කරන ලද ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගිය සංඛ්‍යාව 49 දක්වා ඉහළ ගොස් ඇති අතර, 40 දෙනකුට අධික පිරිසක් දරුණු ලෙස තුවාල ලබා තිබේ. පූජනීය ස්ථානයක් වෙත එල්ල වූ මේ ම්ලේච්ඡ ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකින එරට අගමැතිනි ජසින්ඩා ආර්ඩ්න් මෙය ත්‍රස්ත ක්‍රියාවක් ලෙසත් රටේ අඳුරුතම දිනයක් ලෙසත් සඳහන් කර තිබේ.

මේ අතර මේ සිදුවීම සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු පුද්ගලයන් සිවු දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් කොමසාරිස් මයික් බුෂ් ප්‍රකාශ කරයි. ඉන් එක් පුද්ගලයකු ඕස්ට්‍රේලියානු පුරවැසියකු බව ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මැරිසන් සඳහන් කර තිබේ.

වාර්තා වන අන්දමට සිකුරාදා යාඥාව සඳහා ඉස්ලාම් දේවස්ථාන වෙත රැස්වූ බැතිමතුන් ඉලක්ක කර මේ ප්‍රහාරය එල්ල වී ඇති අතර, එරට තරග සංචාරයක නිරතව සිටින බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ද ඉන් එක් දේවස්ථානයක යාඥාවේ නිරතව සිට ඇත. කළු ඇඳුමින් සැරසුන කණ්ඩායමක් විසින් මේ ප්‍රහාර මාලාව සිදු කර තිබේ. යාඥාවේ නිරත වෙමින් සිටි පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් වෙඩි තැබීම් සිදුකරන ආකාරය සජීවීව සමාජ ජාලා වෙත නිකුත් කර ඇති බව ද වාර්තා වේ.

මෙසේ ප්‍රහාරයට ලක් වී තිබෙන්නේ ඩීන් මාවතේ පිහිටි අල් නූර් දේවස්ථානයටත්, ලින්වුඩ් මාවතේ පිහිටි ලින්වුඩ් දේවස්ථාන වන අතර, පුපුරන ද්‍රව්‍ය පුරවන ලද මෝටර් රථයක් හැප්පීමේ උත්සාහයක් ගෙන ඇත්තේ ස්ට්‍රික්ලන්ඩ් මාවතෙහි ගොඩනැඟිල්ලකටය.

නව අදහස දක්වන්න