වනසත්ව හා වෘක්ෂලතා සංරක්ෂණ සමුළුවට ශ්‍රී ලංකාවෙන් යෝජනා 6ක් | දිනමිණ

වනසත්ව හා වෘක්ෂලතා සංරක්ෂණ සමුළුවට ශ්‍රී ලංකාවෙන් යෝජනා 6ක්

සිතාරා සේනානි,

වඳ වී යාමේ තර්ජනයට ලක්‌ව ඇති වන සතුන් සහ පැළෑටිවල ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ 18 වැනි සමුළුව 'CITES CoP 18' ලබන මැයි මස 22 වැනිදා සිට ජූනි 03 වැනිදා දක්වා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.

පළමුවෙනි වතාවට පොලිතීන් හා ප්ලාස්ටික් භාවිතය ඉතා අවම කොට මෙවර සමුළුව පැවත්වමින් මෙහිදී ලෝකයට ආදර්ශයක් ලබා දීමට ශ්‍රී ලංකාව කටයුතු යොදා තිබීම විශේෂත්වයකි.

මෙම සමුළුවට සාමාජික රටවල් 183 ක පාර්ශ්වකරුවන් 3500ක් පමණ සහභාගි වීමට නියමිත ය.

මේ සම්බන්ධයෙන් ‍රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඉකුත්දා (12) පැවති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ජනමාධ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා පැවසුවේ රටේ ඉදිරි ගමන වෙනුවෙන් සොබාදහම ආරක්ෂා කර ගැනීම අත්‍යවශ්‍ය කරුණක් බැවින් 'CITES CoP 18' සමුළුව මෙරට පැවැත්වීමට ඉතා වැදගත් වන බවයි. එමෙන්ම රටවල් 183කට අයත් නියෝජිතයන් 3500කට අධික සංඛ්‍යාවක් මෙම සමුළුවට පැමිණෙන බැවින් මෙරට සංචාරක කර්මාන්තය නැංවීම සඳහා එය මහඟු අවස්ථාවක් වනු ඇතැයි ද පැවසූ ඇමැතිවරයා, එම සමුළුව සඳහා පූර්ණ සහයෝගය ලබා දෙන ලෙස මෙරට සියලු ජනමාධ්‍ය ආයතනවලින් ඉල්ලා සිටින බවද පැවසීය.

එහිදී අදහස් දැක්වූ CITES ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ සම්බන්ධීකාරිකා ආචාර්ය සෙව්වන්දි ජයකොඩි මහත්මිය - 'CITES Cop 18' කියන්නේ අන්තර්ජාතික වෙළෙඳාම නිසා තර්ජනයට පත් වන සත්ව හා වෘක්ෂලතා සම්බන්ධයෙන් පැවැත්වෙන සමුළුවක්. එම සමුළුව අවුරුදු 3කට වරක් එහි පාර්ශ්වකරුවන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙනවා. 2016 වර්ෂයේ දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නගරයේ පැවති 17 වැනි සමුළුවේදී එහි 18 වෙනි සැසිවාරය පැවැත්වීමේ කාර්යය ශ්‍රී ලංකාව වෙත ලබා දීමට තීරණය වුණා. ඒ අනුව එම සමුළුව ලබන මැයි 22 දින සිට ජූනි 03 දින දක්වා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී දින 12ක් පුරා පැවැත්වීමට නියමිතය. සාමාජික රටවල් 183 නියෝජනය කරමින් පාර්ශ්වකරුවන් 3500කට අධික සංඛ්‍යාවක් මේ සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. ශ්‍රී ලංකාව එහි ජෛව විවිධත්වය ‍සංරක්ෂණය වෙනුවෙන් කැපවී සිටින අකාරය පිළිබඳ ලෝකය දැනුවත් කිරීමටත්, ශ්‍රී ලාංකිකයන් දැනුවත් කිරීමටත් මෙය අවස්ථාව කර ගන්න පුළුවන්. ඒ වගේම ශ්‍රී ලංකාවේ සොභා සෞන්දර්යය, ස්වාභාවික පරිසරය පිළිබඳ මුළු ලෝකයට ම ප්‍රචාරය කරන්නත් මෙය අවස්ථාවක් බවට පත් කර ගන්න පුළුවන්.

අප රටට ඉතා වැදගත් වන සතුන් හා ශාක සංරක්ෂණය කිරීම සඳහා අප සකස් කර තිබෙන යෝජනා 6කට මෙවර සමුළුවේදී ලෝකයේ රටවල සහයෝගය ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා. උදාහරණයක් විදිහට මේ වර්ෂයේ අපි බලාපොරොත්තු වෙනවා අපේ රටට ආවේණික සත්වයකු වන අං කටුස්සා සංරක්ෂණය කිරීමට. අං කටුස්සා කියන සතා මේ මොහොත වනවිට අල්ලා ගෙන බොහෝ විට යුරෝපා රටවලට ගෙන ගොස් විකිණීම සිදුවෙනවා. අපට අවේණික ජෛව විවිධත්වය මේ විදිහට අන්තර්ජාතික වෙළෙඳාමේදී තර්ජනයට පත්වීම වැළැක්වීම සඳහා වැටක‍ඩුළු දමන්නේ කුමන ආකාරයට ද, ඒ සඳහා අප අන්තර්ජාතික ප්‍රජාවගේ සහයෝගය ලබා ගන්නේ කුමන ආකාරයට ද යනාදී කරුණු මෙම සමුළුවේදී සාකච්ඡා කරන්න පුළුවන්.

පාර්ලිමේන්තු මන්ත්‍රී සන්දිත් සමරසිංහ, ‍රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව මහත්වරු ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට සහභාගි වූහ.

ඡායාරූපය- සිරිපාල හල්වල 

නව අදහස දක්වන්න