ප්‍රමිතියෙන් තොර බස් ගෙන්වීම තහනම් | දිනමිණ

ප්‍රමිතියෙන් තොර බස් ගෙන්වීම තහනම්

ඉන්දික පොල්කොටුව

ප්‍රමිතියෙන් තොර මගී ප්‍රවාහන බස් රථ මෙරටට ගෙන ඒම ඉදිරියේ දී තහනම් කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති අර්ජුන රණතුංග මහතා පවසයි.

ඉදිරියේ දී මෙරටට ගෙන එනු ලබන සෑම බස් රථයක්ම ප්‍රමිතියෙන් යුතු බස් රථ වන බවත් මේ සම්බන්ධයෙන් සති දෙකක් තුළ අමාත්‍යාංශයෙන් වාර්තාවක් ඉල්ලා ඇතැයිද ඇමැතිවරයා කීය.

අස්ගිරි පාර්ශ්වයේ මහා නායක වරකාගොඩ ශ්‍රී ඥනරතන හිමියන් බැහැ දුටු අවස්ථාවේ දී හෙතෙම මේ බැව් කීය.

කුරුණෑගල හබරණ දුම්රිය මාර්ගය සඳහා ඉඩම් අත්පත් කර ගනීමේ දී අස්ගිරි මහා විහාරයට අයත් ඉඩම් බොහොමයක් පවතින බැවින් ඒ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ඇමැතිවරයා අස්ගිරි මහා නාහිමියන් හමුවීම සඳහා ඊයේ (15) එම විහාරයට පැමිණියේය.

මගීන්ට සුව පහසු බස් රථ වෙනුවට ලොරි චැසි ගෙනවිත් ඉන් බස් රථ සකස් කිරීම පසුගිය කාලයේ සිදුව ඇතැයි ඇමැතිවරයා මෙහි දී කීය.

පෞද්ගලික අංශයට වඩා ලංගම බස් රථයන්හි ප්‍රමිතිය පිළිබද දැඩි ගැටලු පවතින බව ද එම අංශ දෙකෙහිම බස් රථ ගෙන්වීම පිළිබඳ පොදු වැඩපිළිවෙළක් සකසන බව ද ඒ මහතා පැවැසීය.

ලංකා ගමනා ගමන මණ්ඩලයට වර්ෂයකට බස් රථ පන්සියයක් පමණ අවශ්‍ය බවත් එම අවශ්‍යතාව මේ වන විට සම්පූර්ණ නොවන බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

එහි පළමු අදියර යටතේ ප්‍රමිතිගත බස් රථ දෙදහසක් මෙරටට ගෙන්වන බව ද ඒ මහතා කීය.

මෙරට සැහැල්ලු දුම්රිය සේවාවක් ඇරැඹීමට මේ වන විට සැලසුම් කර ඇති බවත් කොළඹ නගරයේ වාහන තදබදය අවම කිරීම සඳහා එය මූලිකව මාලඹේ සිට කොළඹ දක්වා ක්‍රියාත්මක කෙරෙන බවත් ඇමැතිවරයා පැවැසීය.

පලාලි ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතියක් මේ වන විට සැලසුම් කර ඇතැයි ද එමගින් එම ගුවන් තොටුපොළ ඉන්දියාවට පවරා දීමක් සිදු නොකරන බවත් රණතුංග මහතා කීය.

එම ගුවන් තොටුපොළ මගින් දකුණු ඉන්දියාවට හා මාලදිවයිනට පහසුවෙන් ගමන් කළ හැකි යැයිද ඒ මහතා පැවැසීය.

එහෙත් සංවර්ධන කටයුතු සඳහා විහාල මුදලක් වැය වන බැවින් ඉන්දියානු සිවිල් ගුවන් සේවා අධිකාරිය හා ශ්‍රී ලංකාව සාකච්ඡා කර වැඩපිළිවෙළක් සකසන බව ද ඇමැතිවරයා කීය.

ප්‍රවාහන රාජ්‍ය ඇමැති අශෝක් අබේසිංහ මහතා ද මේ සඳහා එක්ව සිටිය‍ේය.

නව අදහස දක්වන්න