සුජීගේ ප්‍රධාන වෙඩික්කරු බුම්මාගේ කුලී නිවෙස වටලයි | දිනමිණ

සුජීගේ ප්‍රධාන වෙඩික්කරු බුම්මාගේ කුලී නිවෙස වටලයි

ගයාන් කුමාර වීරසිංහ

මේ වන විට ඩුබායි හි සැගවී සිටින දකුණේ පාතාල කල්ලි නායකයෙක් වන කොස්ගොඩ සුජී නැමැත්තාගේ ප්‍රධාන වෙඩික්කරු බව සඳහන් හිටපු එල්. ටී. ටී. ඊ. සාමාජික කෙනඩි නොහොත් බුම්මාගේ ජා- ඇළ වැලිගම්පිටියේ පිහිටි ආරක්ෂක නිවස්නයක් වැටලූ පොලිස් විශේෂ කාර්ය බළකාය එහි තිබී මත්ද්‍රව්‍ය ‍තොගයක් සමඟ ගිනි අවි රැසක් ද සොයාගෙන තිබේ.

එම මත්ද්‍රව්‍ය අතර හෙරොයින් කිලෝ 16ක්, කොකේන් කිලෝ 01ක්, අයිස් කිලෝ 1.5ක්, හෑෂ් කිලෝ 5ක් තිබී ඇත. එම මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් කෝටි 20 කට අධික බව සඳහන්ය.

මයික්‍රෝ වර්ගයේ අවි ඇතුළු ගිනි අවි 04ක් ද එම නිවෙසේ තිබී සොයාගත් බව විශේෂ කාර්ය බළකායේ සේනා විධායක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් මහතා සඳහන් කළේය.

මේ වැටලීම සිදුවන විට බුම්මා නමැත්තා එහි සිට නැත. ඔහුගේ ගෝලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි. ඔවුන්ගෙන් එක් අයෙක් කොටහේනේ පදිංචිකරුවකු වන අතර, අනෙක් තැනැත්තා දිග්වැල්ලේ පදිංචිකරුවකු බව හඳුනාගෙන තිබේ.

කොළඹ මහ නගර සභාවේ ස්වාධීන මන්ත්‍රීවරයකුව සිටි ක්‍රිෂ්ණපිල්ලේ ගිරුබානන්දන් මහතාව ඉකුත් 2018 වසරේ ජුලි 09 වැනිදා හෙට්ටිවීදියේ දී වෙඩි තබා ඝාතනය කරනුයේ බුම්මා නමැති වෙඩික්කරුවාය. එදා ඔහු යතුරුපැදියකින් පැමිණ එම ඝාතනය කර ඇති අතර, එම යතුරුපැදියේ ආරක්ෂක හිස් වැසුම ද ජාඇළ නිවෙසේ තිබී හමුවී තිබේ.

වත්තල දී ඉකුත් ජනවාරි 13 වැනිදා මෝටර් රථයක් තුළ තරුණයන් දෙදෙනකු වෙඩි තබා ඝාතනය කිරීමට ද බුම්මාගේ නම කියැවී තිබුණේය. රෝස පැහැති මෝටර් රථයකින් පැමිණ එම ප්‍රහාරය එල්ල කර තිබුණු අතර, එහි දී ඝාතනය වන්නේ ජම්පටා වීදියේ ප්‍රසිද්ධ මත්කුඩු ජාවාරම්කාරියක් වූ කුඩු සෙල්වි නැමැත්තාගේ ඥාති තරුණයන් දෙදෙනෙකි. එදා ඔවුන්ට වෙඩි තැබීමට බුම්මා ඇතුළු පිරිස පැමිණි මෝටර් රථය ද වර්ණය වෙනස් කොට සුදු වර්ණ ගන්වා තිබිය දී ජා ඇළ නිවෙසේම තිබී සොයාගෙන ඇත.

බුම්මාගේ එම ආරක්ෂක නිවස්නය ඔවුන් කුලියට ගත් එකක් බව පොලිසිය සඳහන් කරයි. මෙයට මාස දෙකකට පෙර එම නිවෙස කුලියට ගෙන ඇත්තේ රුපියල් 30000ක මාසික කුලියකටය.

ස්ටැන්ලි කෙනඩි ප්‍රනාන්දු නොහොත් බුම්මා එල්. ටී. ටී. ඊයේ චාල්ස් ඇන්තනී බළකායේ සිටි වෙඩික්කරුවෙකි. යුද්ධය නිමාවීමෙන් පසු හමුදාවට භාරවී වසර තුනක් පුනරුත්ථාපනය වී ඇති ඔහු එහි දී කොස්ගොඩ සුජී නමැති පාතාල කල්ලි නායකයා සමඟ සම්බන්ධකම් ගොඩනඟා ගනිමින් දකුණේ ඝාතන රැසකට සම්බන්ධ විය.

කොළඹ ජම්පටා පදිංචිකරුවකු වන ඔහු එල්. ටී. ටී. ඊයට එක්ව ඇත්තේ සිය ඥාතියෙක් සමඟ උතුරේ වෙළෙඳාමට ගොස්ය. ඔහුට එරෙහිව ඝාතන 10කට වැඩි ප්‍රමාණයක් ඇතැයි පොලිසිය සඳහන් කරයි. ඒ අතර ජම්පටාහි දී සිදුවුණු කුඩු සෙල්විගේ ඝාතනයත්, බලපිටිය අධිකරණය ඉදිරිපිට දී 2016 වසරේ අප්‍රේල් 11 වැනිදා සිදු වුණු දිවිත්ව ඝාතනයත් ඇතැයි පොලිසිය සඳහන් කරයි.

පොලිස් විශේෂ කාර්ය බළකායේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් මහතාගේ උපදෙසින් ප්‍රධාන පොලිස් පරීක්ෂක නදීක සිල්වා ඇතුළු කණ්ඩායමක් මේ වැටලීම කර තිබේ.


නව අදහස දක්වන්න