කෙන්යා-ශ්‍රී ලංකා සබඳතා සවිමත් කර ගැනීමට එකඟතාවක | දිනමිණ

කෙන්යා-ශ්‍රී ලංකා සබඳතා සවිමත් කර ගැනීමට එකඟතාවක

කෙන්යාව සහ ශ්‍රී ලංකාව අතර ද්වීපාර්ශ්වික සබඳතා නව ක්ෂේත්‍ර ඔස්සේ ශක්තිමත් කර ගැනීමට දෙරටේ නායකයෝ එකඟ වෙති.

කෙන්යාවේ නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ කෙන්යා ජනාධිපති උහුරු කෙන්යාටා මහතා අතර නිල හමුව ඊයේ (15) දහවල් සිදු වූ අතර, එහි දී නායකයෝ මේ පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කළහ. කෙන්යා ජනාධිපති මන්දිරය වෙත ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කෙන්යා ජනාධිපති උහුරු කෙන්යාටා මහතා විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

සුහද කතා බහකින් අනතුරුව රාජ්‍ය නායක දෙපළ ද්විපාර්ශ්වික සාකච්ඡාවලට එක් වූහ.

අතිශය සමාන පරිසරයක් සහ අත්දැකීම් සහිත මෙන්ම වර්තමානයේ එක හා සමාන අභියෝගයන්ට මුහුණ දී ඇති රටවල් වන කෙන්යාව සහ ශ්‍රී ලංකාව අතර සබඳතා ශක්තිමත් කර ගැනීමට ඉඩ ප්‍රස්ථාවන් රැසක් පවතින අතර, දෙරටේම ජනතාවට පුළුල් ප්‍රතිලාභ ලැබෙන අයුරින් එම සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳ මෙහි දී නායකයන්ගේ අවධානය යොමු කෙරිණි.

විශේෂයෙන් කෘෂිකර්ම ක්ෂේත්‍රයේ කටයුතුවල දී සහයෝගයෙන් කටයුතු කිරීමට නායකයන් එකඟ වූ අතර, කෙන්යාවේ පොල් වගාව ව්‍යාප්ත කිරීම වෙනුවෙන් අවශ්‍ය සහාය සහ තාක්ෂණික දැනුම ලබාදෙන ලෙසට කෙන්යා ජනාධිපතිවරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් කරන ලද ඉල්ලීමට ජනාධිපතිවරයාගේ එකඟතාව පළ කෙරිණි.

1970 වසරේ දී නිල රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවාගත් ශ්‍රී ලංකාව සහ කෙන්යාව අතර පවතින්නේ මිත්‍රශීලී සබඳතාවකි. දෙරටම පොදුරාජ්‍ය මණ්ඩලයේ හා ඉන්දියානු සාගර රටවල සංගමයේ (IORA) සාමාජික රටවල් වෙති.

රටවල් දෙක අතර මෙන්ම ජත්‍යන්තර තලයේ දී ද සහයෝගයෙන් කටයුතු කිරීමට මෙහි දී නායකයෝ එකඟ වූහ.

කෙන්යාව ශ්‍රී ලංකාවෙහි විශේෂිත වෙළෙඳ සහකරුවකු නොවන නමුත් අන්‍යෝන්‍ය ප්‍රතිලාභය උදෙසා, භාවිත නොකළ ආර්ථික විභවයන් ගවේෂණය කිරීම පිළිබඳ දෙරටම උනන්දුවක් දක්වමින් සිටී.

මේ වන විට ශ්‍රී ලාංකිකයෝ කෙන්යාවේ ප්‍රධාන වශයෙන්, ඇඟලුම්, උද්‍යාන විද්‍යාව, ජල විදුලිය හා මෝටර් රථ පිළිබඳ ක්ෂේත්‍රවල පුහුණු රැකියාවල නිරත වෙති. ඔවුන්ගේ පහසුකම් තව දුරටත් පුළුල් කිරීම පිළිබඳ ද මෙහි දී ජනාධිපතිවරයා කෙන්යා ජනාධිපතිවරයාගේ අවධානය යොමු කළේය.

නව අදහස දක්වන්න