කෑගල්ලේ පාසල් වෑන්වලට පොලිසියෙන් රතු නිවේදන | දිනමිණ

කෑගල්ලේ පාසල් වෑන්වලට පොලිසියෙන් රතු නිවේදන

සබරගමුව සමුහ- ගාමිණි රම්‍යපාල

කෑගල්ල නගරයේ පසුගිය එක් දිනකදී පරික්ෂා කළ පාසල් ළමයි ප්‍රවාහන බස් හා වෑන් තිස් අටකින් විසි හතක්ම අඩුපාඩු සහිත වාහන බව කෑගල්ල සහකාර මොටර් රථ කොමසාරිස්වරු කියති. ඒවා දින 14ක් ඇතුළත අලුත් වැඩියාකර මොටර් රථ කොමසාරිස් කාර්යාලයට පෙන්වා අවසරය ලබාගන්නා ලෙසත් එසේ නොකරණ සියලුම වාහනවලට නඩු පවරණ බවද පොලිසිය කියයි.

කෑගල්ල පොලිසිය සංවිධාන කර තිබු පාසල් දරුවන් පවාහන බස් වැන්වල තත්ත්වය පරික්ෂා කිරීම පසුගිය 13වැනි දා , දහවල් කෑගල්ල නිදහස් මාවතේ දි කෑගල්ල මෝටර් රථ සහකාර කොමසාරිස්වරුන් වන එස් .එම්. සේනාරත්න, එම්. බී. එස් .හේරත් , කෑගල්ල පොලිසිය රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක සමන්ත දිසානායක යන මහත්වරුන්ගේ මුලිකත්වයෙන් සිදු කෙරුණි. එහිදී බස් හා වැන් රථ 38ක් පරික්ෂා කිරීම සිදු කළ අතර එම වාහනවල තිරිංග, ආසන, සංඥා , ලාම්පු, දොරවල්, ඇතුළු ගැටලු රාශියක් සොයා ගැනීමට හැකි විය.

ඉන් වාහන 27ක අඩුපාඩු තිබූ බැවින් එම අඩුපාඩු හදා අලුත් වැඩියාකර මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් වරයා වෙත ඉදිරිපත් කර සහතික කරගන්නා ලෙස එම රියැදුරන්ට අවවාද කළේය. කෑගල්ල දිස්ත්‍රික්කය තුළ පාසල් සේවයේ නිරත බස්, වැන්, ත්‍රිරෝද රථ 200කට අධික ප්‍රමාණයක් ඇති බවත් ඒවා යේ ප්‍රමීතිය පිළිබද සොයා බැලිමට පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් දෙන බවත් මෝටර් රථ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීහු පැවසුහ.


නව අදහස දක්වන්න