නයිරෝබි සමුළුව! | දිනමිණ

නයිරෝබි සමුළුව!

ලෝක පරිසර විනාශය තවදුරටත් මේ අයුරින් ම සිදුවන්නේ නම්; දසක දෙකක් ගෙවී යෑමට පෙර මිනිස් වර්ගයාට ජීවත්වීම සඳහා වෙනත් ග්‍රහ ලෝකයක් සොයා ගැනීමට සිදුවනු ඇති බව පරිසර විද්‍යාඥයන් පෙන්වා දී ඇත. අනෙකුත් ජීවීන්ගෙන් සමහරක් වඳවීමට ලක් වී ඇත. වායු ගෝලයේ ‍ඉහළ යන උෂ්ණත්වයට අනුව ග්ලැසියර් දියවීම පටන්ගෙන ඇත. සාගර ජල මට්ටම වසරින් - වසර ඉහළට යයි. දූපත් රාජ්‍යයන් මුහුදට බිලිවනු ඇත. නූතන ලෝකය නිරීක්ෂණය කරන ඇතැම් විද්‍යාඥයන්ගේ මතය වන්නේ අද ප්‍රධාන ලෝක අභියෝගය පරිසර විනාශය බව ය. මේ අනුව මුළුමහත් ලෝකයේ ම අවධානය පරිසරය වෙත යොමු වී තිබේ.

කෙන්යාවේ නයිරෝබි නුවර පැවැත්වෙන හතරවන ලෝක පරිසර සමුළුවට ජනාධිපතිවරයා සහභාගි වී ඇත. එතුමා පැවැත්වූ දේශනය බොහෝ දෙනකුගේ අවධානයට ලක් වී ඇති අතර එම දේශනයේ හරය විමසා බැලීම ඉතා වැදගත් ය. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ පරිසරය සුරැකීම අංක එකට පැමිණිය යුතු අතර නූතන නිෂ්පාදන ක්‍රියාවලියේ දී පරිසර සංරක්ෂණයට අදාළ සාධක කෙරෙහි සම්පූර්ණ අවධානය යොමු විය යුතු බව ය. එය ලෝකයේ සෑම රටක් ම අනුගමනය කළ යුතු ප්‍රතිපත්තියක් විය යුතු බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි.

ලෝකයේ මහා සංවර්ධන ව්‍යාපෘති දෙස බලන විට ජනාධිපතිවරයා පෙන්වා දෙන සාධක හොඳින් වටහාගත හැකිය. මහා පරිමාණ නිෂ්පාදන ක්‍රියාවලියේ ඉලක්කය වන්නේ වැඩි - වැඩියෙන් ආදායම් උපයා ගැනීම ය. නැතහොත් වැඩි - වැඩියෙන් අස්වැන්න නෙළාගැනීම ය. මේ සඳහා ගහකොළ විනාශ කරනු ලැබේ. භූ-විසමතා වෙනස් කරනු ලැබේ. ජෛව විවිධත්වය විනාශ කරනු ලැබේ. එහි ප්‍රතිඵලය වන්නේ පරිසරයේ සමතුලිතතාව බිඳ වැටී කාලගුණය හා දේශගුණය විකෘති වීම ය. ලෝකයේ බොහෝ රටවල් වෙනදාට වඩා ස්වාභාවික විපත්වලට මුහුණ දෙයි. ශ්‍රී ලංකාව ද එබඳු එක් රාජ්‍යයකි. ස්වාභාවික විපත් අවදානම ගැන සලකන විට ලෝකයේ දෙවන තැන හිමිකරගෙන ඇත්තේ අපේ රට ය.

පරිසර සංරක්ෂණයට අදාළව ශ්‍රී ලංකාව ගෙන යන වැඩසටහනේ වැදගත් ලක්ෂණ හතරක් ජනාධිපතිවරයා පෙන්වා දී ඇත. එක; කොරල්පර විනාශය නැවැත්වීමට ගෙන ඇති පියවර ය. දෙක; ප්ලාස්ටික් හා පොලිතීන් උවදුර වැළැක්වීමට ගෙන ඇති පියවර ය. තුන; නැවත වන වගාව සඳහා ගෙන ඇති පියවර ය. හතර; ගංගා, ඇළ-වේලි හා වැව් ආරක්ෂා කිරීමට ගෙන ඇති පියවර ය. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ මේ සාධක හතර කෙරෙහි ලෝක අවධානය යොමු විය යුතු බව ය. සෑම රාජ්‍යයක් ම එම සාධක හතර කෙරෙහි අවධානය යොමු කරන්නේ නම්; පරිසර විනාශය සැලැකිය යුතු මට්ටමකින් අඩුකර ගත හැකි ය.

සාමුද්‍රික විනාශය හා වෙරළ කලාපය විනාශය දූපත් රාජ්‍යයන් විශේෂයෙන් මුහුණ දෙන පාරිසරික ගැටලුවකි. කොරල්පර විනාශ වන්නේ ප්‍රධාන වශයෙන් ම අහිතකර ලෙස සිදුවන ධීවර කටයුතු නිසා ය. ශ්‍රී ලංකාව එබඳු ධීවර කටයුතු නීතියෙන් තහනම් කර ඇත. ප්ලාස්ටික් හා පොලිතීන් භාවිතය ක්‍රමයෙන් අඩු කිරීමට ශ්‍රී ලංකාව පියවරගෙන ඇත. එම වැඩසටහන සාර්ථක බව බොහෝදෙනා පිළිගනිති. නැවත වන වගාවේ ඉලක්කය වන්නේ 2025 වන විට අපේ වන ආවරණය 32% දක්වා ඉහළ දැමීම ය. දැන් එය පවතින්නේ සියයට විසි ගණනක ය. අමතක නො කළ යුතු කාරණය වන්නේ මීට දසක පහකට පෙර අපේ වන ආවරණය 44% ක් වූ බව ය.

ජලය මිනිසාගේ පැවැත්මට අදාළ ප්‍රධාන සාධකයකි. එහෙත් සමාජය ජලයට දක්වන සැලැකිල්ල ඉතා අඩු ය. එක අතෙකින් ස්වාභාවික ජල උල්පත් සිඳී යයි. තව අතෙකින් ගංගා - ඇළ - දොළ විනාශ වෙයි. වැව් පුරන් වෙයි. රටේ ජල සම්පත ගැන නැවත සිතා බලන තත්ත්වයකට අපි පැමිණ සිටිමු. වියළි කලාපයට දීර්ඝ නියං සමයක් ආරම්භ වී ඇත. එම කලාපයේ ගොවිතැනට පමණක් නො ව මිනිසාට පිරිසුදු පානීය ජලය ද නැත. විශේෂයෙන් වියළි කලාපයේ වැව් පද්ධතිය ආරක්ෂා කිරීමට මෙන් ම ඒවා යාවත්කාලීන කිරීමට රජය විශාල මුදලක් වැය කර තිබේ. එම වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක වන්නේ ජනාධිපතිවරයාගේ මඟපෙන්වීම මත ය.

රටේ ප්‍රධාන පුරවැසියා ලෙස ද පාරිසරික කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙස ද මෛත්‍රීපාල සිරිසේන මහතා පරිසර සංරක්ෂණය සඳහා විශාල වැඩ කෙටසක් ඉටුකරමින් සිටින බව ලෝක ආයතන ගණනාවක් පිළිගෙන ඇත. පරිසර සමුළුවේදී ද ඒ බව සනාථ විය. මේ සමුළුවේ දී ජනාධිපතිවරයාට විශේෂ පිළිගැනීමක් තිබුණු අතර සියල්ලන්ගේ ම අවධානය ඔහුගේ දේශනය වෙත යොමු වී තිබිණි. ජනාධිපතිවරයා මෙහිලා පෙන්වා දුන් තවත් වැදගත් කාරණයක් තිබේ. එනම්; පරිසර විනාශය හා දිළිඳුකම අතර බරපතළ සම්බන්ධයක් ඇති බව ය. දිළිඳු රටවල ආදායම් ඉපැයීමේ ක්‍රියාමාර්ගවලදී පරිසරය ගැන සැලැකිල්ල දැක්වීම ඉතා අඩු ය. තව අතෙකින් දිළිඳු ජනයා ආදායම ගැන මිස පරිසරය ගැන සංවේදී වන්නේ නැත.

අමෙරිකාව මෙන් ම කෙන්යාව ද සංක්‍රමණික ගැටලුව මූලිකකොට දේශ සීමා සඳහා විශාල තාප්ප ඉදිකිරීමේ ව්‍යාපෘතියක නිරත වෙති. තවත් රටවල් ගණනාවක් ද මෙලෙස තාප්ප ඉදිකරති. ඒ සඳහා වැයවන මුදල අති විශාල ය. එහෙත් මේ රටවල් පාරිසරික ගැටලු විසැඳීම සඳහා ඒ හැටි උනන්දුවන බවක් පෙනෙන්නට නැත. ගෝලීය උණුසුම ඉහළ යෑමේ ගැටලුවේ වගවීම චීනය, අමෙරිකාව වැනි කාර්මික රටවල් දැරිය යුතු බව ඇතැම් පරිසරවේදීන්ගේ මතය වෙයි. ගෝලීය උණුසුම ඉහළ යෑමට අදාළ කාබන් මුදාහැරීම බහුල ලෙසින් ම සිදුකරන්නේ අමෙරිකාව, චීනය වැනි රටවල්ය. පාරිසරික සමුළුවේ අවධානය ඒ කෙරෙහි ද යොමුවිය යුතුව තිබේ.

මේ සමුළුව ලෝකයේ අවධානය පරිසරය කෙරෙහි යොමුකර තිබේ. එම සංවාදය වැදගත් ය. සංවාදයෙන් මතුවන සත්‍ය කරුණු ලෝක නායකයන්ගේ විශේෂ අවධානයට ලක්විය යුතුය. එසේ නොවුණහොත් වැඩිකල් යෑමට පෙර මිනිස් වාසය සඳහා අලුත් ග්‍රහලෝකයක් සොයාගැනීමට සිදුවනු ඇත.


නව අදහස දක්වන්න