ඔව්හු මත් රකුසා පරාජය කළහ | දිනමිණ

ඔව්හු මත් රකුසා පරාජය කළහ

දේශනයකට සවන් දෙමින්

“බලහත්කාරයෙන් ප්‍රතිකාර කළාට ඒකෙ ප්‍රතිඵලයක් නැහැ. ගොඩක් බාහිර ප්‍රතිකාර වැඩසටහන් ප්‍රතිකාර කරන කාලයට පමණක් සීමා වෙන්නේ ඒ නිසයි..ඒ ප්‍රතිකාරවලින් සුවපත්වන බොහෝ අය ප්‍රතිකාරයෙන් පසු නැවත වැරැදි චර්යා වෙත යොමු වෙනවා. ඒත් අපෙන් ප්‍රතිකාර ලබන බොහෝ දෙනෙක් ස්ථිර සුවය ලබනවා. මම මතට ඇබ්බැහිවෙලා හිටිය කෙනෙක්. ඒත් අද වෙද්දි මට දුම්වැටියක්වත් බොන්න හිතෙන්නෙ නැහැ.ඒ තරමටම මගේ හිත පාලනය වෙලා.

මතට සිත ඇදී ගිය යෞවනයේ අවසානය ඛේදාන්තයකි. එහෙත් මතට ලොල් වූ පසු මත තාරුණ්‍යට මහා සැපතකි. මත් ද්‍රව්‍ය මත් බීම විවිධ නම්වලින් තිබුණද හෙරෝයින් හෙවත් මත්කුඩු අදවන විට සමාජය පුරා ඔඩුදුවමින් තිබෙන්නේ පිළිකාවක් ලෙසිනි. බොදු වටපිටාවක නිර්මාණය වූ සමාජයක් වුවද අද මේ මත් කුඩු සමාජයට සිදු කර තිබෙන විනාශය මුදලින් ගණනය කළ නොහැකිය. රටක් ඉදිරියට ගෙනයා හැකි සවිමත් තරුණ පෙළ මත්ව සුරලොව සොයා යාම යනු රටක අනාගය සහමුලින්ම විනාශය වෙත ගෙනයාමකි. අසූව දශකයේ ඇරැඹි මේ මත් උවදුර නිසා විනාශ වු තරුණයන් දහස් ගණනකි තම පුතුන් නිසා කඳුළු බොන අම්මලා තාත්තලා තවමත් සිටිති. රටක ඉදිරි ගමනට මෙය ලොකුම බාධාව යැයි සඳහන් කිරීම අතිශයෝක්තියක් නොවේ.

වර්තමානය වන විට මත් උවදුර නගරයෙන් ඈත ගම්බිම් වෙතද වේගයෙන් පැතිර යමින් තිබේ.ඒ තත්ත්වය තුළ කුඩු රකුසාට ගොදුරුවන තරුණ ජීවිත ප්‍රමාණයද ප්‍රමාණාත්මකව ඉහළ අගයක පවතී. මෙයව ලබා දිය හැකි විසඳුම් කිහිපයකි. බොහෝ විට සිදුවන්නේ පොලිස් අත්අඩංගුවට පත්ව නඩු විභාගයකින් පසු මාස හයකට හෝ අවුරුද්දකට මත් ලෝලියා බන්ධනාගාර ගත වීමය.එය සාමාන්‍ය සාර්ථක ක්‍රමයක් ලෙස පෙනුනද එමගින් තිරසාර විසඳුමක් නොවන බව පැහැදිලිය. ඒ සඳහා හොඳම විසඳුම ලෙස ලෝක පිළිගැනීමට ලක්ව ඇත්තේ විද්‍යාත්මක ක්‍රමයට මත් ලෝලීන් පුනරුථාපනය කිරීමය. එවැනි විද්‍යාත්මක පුනරුත්ථාපනයක් මගින් මත් ලෝලියා සිය ඇබ්බැහි වීමෙන් ඉවත් වීමට විශාල ඉඩක් ඇති වේ. නිසි පුනරුත්ථාපනයක් නිසා මත් ලෝලීන්ගෙන් සියයට හැටක් පමණ එම වැරැදි පුරුද්දෙන් අත්මිදිය හැකි බව තහවුරු කර ගැනීමට හැකියාව ලැබී තිබේ.

මෙවැනි මත්ලෝලී තරුණයන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් ගම්පහ කිණිගම ප්‍රදේශයේ පිහිටා තිබෙන අතර එය නිසංසල විශෝධන මධ්‍යස්ථානයයි. මෙම මධ්‍යස්ථානය පවත්වාගෙන යනු ලබන්නේ කුප්පියාවත්තේ බෝධානන්ද හිමි විසිනි. ස්ථානය භාර කළමනාකරු ලෙස කටයුතු කරන්නේ ඊබට් විපේසුරිය මහතායි.

සැබැව්න්ම පුනරුත්ථාපන සහ විශෝධන මධ්‍යස්ථානයක් ලෙස කියූ විට අපේ සිතේ මැවී තිබුණේ වෙනස් චිත්‍රයකි එහෙත් කිණිගම “නිසංසල“ වෙත අප ගිය විට අපට අත්දකින්නට ලැබුණේ සැබැවින්ම නිසංසල බවකි. එහි සිටින රැඳවියන් අවදිවන්නේ පාන්දර පහයි විස්සටය. එතැන් පටන් රාත්‍රිය 9.40 වනතුරු සියලු කාර්ය කරනු ලබන්නේ කාලසටහනටක අනුවය. නිසංසලහි ගෙවත්ත අක්කර පහකට අධිකය එහි ඇත්තේ මහා ගොවිපොළක ස්භාවයකි. පසෙකින් බණ්ඩක්කා , වම්බටු වගාවන්ය තවත් පසෙකින් සෙසු වගාවන්ය. එමෙන්ම ආගමික පරිසරයද ඉහළ තැනක තිබේ. නිසංසල මධ්‍යස්ථානය තම කාර්ය මනා ලෙස ඉටුකරන්නේ මේ සියල්ල සම්පුර්ණ විම නිසාය.

එහිදී අප සමග මුලින්ම කතාබහට එක් වූයේ නිසංසල ආයතනයේ නිර්මාතෘ කුප්පියාවත්තේ බෝධානන්ද හිමිය.

“ මම දැක්ක දෙයක් තමයි බොහෝ අය මත්ද්‍රව්‍ය නිසා විනාශ වෙනවා හිමිනමක් විදිහට මගේ දායකයන් මගේ සහෝදරයන් මේ විදිහට විනාශ වෙනවා බලාන ඉන්න බැරි නිසා තමයි නිසංසල ආයතන පිහිටුවීමේ සංකල්පය ඇති වෙන්නෙ. මටත් අවශ්‍ය නම් දනක් වළඳා පසෙකට වෙලා ඉන්න තිබුණ. ඒත් ඊට වඩා ලොකු සමාජ වගකීමක් අපට තියෙනවා. ඒ වගකීම තමයි මා අද තවත් පිරිසක් එක්ක එක්ව ඉටුකරනු ලබන්නෙ. නිසංසල ප්‍රතිකාර හා විශෝධන මධ්‍යස්ථානයේ ප්‍රධාන ආයතනය තියෙන්නේ රත්නපුර ප්‍රදේශය මුලික කරගෙනයි. එයට අමතරව ගම්පහ ඇතුළු ප්‍රදේශ කිහිපයක අප ආයතන තියෙනවා. ඇත්තෙන්ම අපේ අරමුණ වෙලා තියෙන්නෙ තරුණ පරපුර යහපත් පිරිසක් ලෙස නැවත සමාජගත කිරීමයි.එදා මගේ කුඩා අදහසක්ව ඇරැඹ නිසංසල සංකල්පය අදවන විට දහස් සංඛ්‍යාත තරුණ පෙළකට සෙත ශාන්තිය ලබා දී තිබෙනවා.

බෝධානන්ද හාමුදුරුවන්ගේ මහා මෙහෙයට සවියක් ලබා දෙන්නේ අවුරුදු හතලිස් එකක් බන්ධනාගාර නිලධාරියකු ලෙස කටයුතු කළ ඊබට් විජේසූරිය මහතාය.

“ මේ සංකල්පය අපි සමාජය වෙත යොමු කර තිබෙනවා ගම්පහ කිණිගම මධ්‍යස්ථානයෙන් ප්‍රතිකාර ගෙන සාර්ථක වූ අය සිය ගණනක් අද වෙද්දි යහපත් පුරවැසියන් විදිහට සමාජයේ ඉන්නවා. මෙතැනදී අපෙන් බලපෑමක් වෙන්නෙ නැහැ මත් ලෝලියාටම අවස්ථාවක් ලැබෙනවා තමන් ගැන ස්වයං විවේචනයක් කරන්න නිවැරැදි වෙන්න. මෙතැන තිබෙන්නේ බන්ධනාගාරයක වගේ සිරගත කර බලහත්කාරයෙන් විසඳුම පැටවීමේ ක්‍රමයක් නොවෙයි.තමන්ට අවබෝධයෙන් තේරුම් ගත හැකි ක්‍රමයකුයි අනුගමනය කරන්නෙ. ආදරය කරුණාව විශ්වායස තමයි මෙහි මූලික ක්‍රමය විය යුත්තෙ.

“මූලිකව මතට ඇබ්බැහි වූ කෙනෙකු පැමිණි විගස පුනරුත්ථාපනය වෙත යොමු කිරීම පහසුද.?

අප විජේසූරිය මහතාගෙන් විමසුවෙමු.

“ඇත්තෙන්ම නොමගට යොමු වූ දරුවකු යළි නිසි මගට ගන්න අපහසුම කාලය තමයි මෙතැනට ප්‍රතිකාර සඳහා යොමුවන මුල් සති දෙක නැතිනම් මාසය මේ කාලයේදී අපි ඇඳ ප්‍රතිකාරයක් ලබා දෙන්නෙ. මේකට ප්‍රතිකාරයක් කිව්වට කිසිදු බෙහෙතක් ලබා දෙන්නේ නැහැ.මානසිකව ඔහුගේ මට්ටම ඉහළ නැංවීම තමයි කරන්නෙ . ඒ කාර්ය සඳහා අපි යොදා ගන්නෙ ප්‍රතිකාර ගෙන සුවපත් වූ අයවයි. ඇත්තෙන්ම මේ ආයතන පද්ධතිය තුළ සේවය කරන්නන් සියයට අනූ නවයක්ම මත් ද්‍රව්‍ය පානය කර පුනරුත්ථාපනය වූ අය. අපේ මිනිස්සු අතර කතාවක් තියෙනවා ස්ටාෆ් එකේ ඩ්‍රගස් නොගත්ත අය ඉන්නවනම් අපේ හාමුදුරුවොයි මායි කියලා. ඇත්තෙන්ම පුනරුත්ථාපනය වූ අය ඉතාමත් හොඳින් තමන් වෙත පැවරුන රාජකාරී ඉටුකරනවා. ඒ දෙයින් පමණක් වුවත් අපේ සාර්ථකත්වය පැහැදිලි වෙනවා.

මෙම ආයතන ක්‍රමවේදය අනුව එහි ඇති සියලු කාර්යයන් ඉටුකර ගත යුත්තේ තම තමන් විසිනි. උදාහරණ ලෙස ආහාර පිසීම , පිරිසුදු කිරීම ,වතුවැඩ ඇතුළු සැම අංශයක්ම සිදුකරනු ලබන්නේ රැඳවියන්ගේ මැදහත්වීමෙනි. එහෙත් එක් විශේෂත්වයක් මෙහි තිබේ එනම් සේවා මුර ක්‍රමයකට මේ හැම රැඳෙවියකුටම සෑම අංශයකම කටයුතු කිරීමට පුළුවන් වීමය. මෙහිදී සියල්ලන්ට සමානාත්මකතවය පිළිබඳ හැඟීමක් ඇතිකිරීම මෙම වැඩපිළිවෙලේ අරමුණ ලෙස සඳහන් කළ හැකිය. මෙතැන සැමට සමාන පොදු බිමක් ලෙස සකස් කිරීම තුළින් විශාල හැඟීමක් රැඳවියාට ඇති කළ හැකිය යන්න නිසංසල සංකල්පයේ සඳහන්ය.

ගම්පහ කිණිගම නිසංසල ප්‍රතිකාර හා විශෝධන මධ්‍යස්ථානයේ සිටින සුවිශේෂ තරුණයකු වන්නේ දහසය වියැති හර්ෂ ඩිල්ෂාන් ය. ඔහු ප්‍රතිකාර මධ්‍යස්ථානයට පැමිණ ඇත්තේ වයස අවුරුදු 15නි. එතැන් සිට ඔහු නිසංසල හි ඉතාමත් යහපත් ජීවිතයක් ගත කරයි.

“මම සාමාන්‍ය පෙළ විභාගයටත් ලිව්වා. මට ලොකු විශ්වාසයක් තියෙනවා විභාගය සමත් වෙන්න පුළුවන් කියල.මගේ මේ වර්ධනයට පින් සිද්ද වෙන්න ඕනැ නිසංසල ආයතනයට. මම එද්දි මත් ද්‍රව්‍යවලට ඇබ්බැහිවෙලා හිටියේ ඒවට සල්ලි නැති වෙද්දි හොරකම් කළා පොලිසි අරන් ගියා ගමේ අයගෙන් ගුටි කෑව. අද ඒ අතීතය මතක් වෙද්දි ලැජ්ජාවකුත් ඇති වෙනවා. ඒත් අද වෙද්ද් මම ඉතාමත් හොඳ ජීවිතයක් ගත කරනවා මට ආයතනයෙන්ම සේවා අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඇත්තෙන්ම ස්තුතියි කියනවාට වඩා කියන්න තියෙන්නෙ ගොඩක් පිං කියලා. අද මම මනුස්සයකු වුණේ මේ ආයතනය නිසයි. මගේ දැන් අනාගත අරමුණ වෙලා තියෙන්නෙ අනාගත අධ්‍යාපනය සාර්ථකව නිම කරමින් වැරැදි පාරේ ගිය අයියලා මල්ලිලා නිසි මාර්ගයට ගැනීමට උදව් කිරීමයි.

ගම්පහ කිණිගම නිසංසල ප්‍රතිකාර හා විශෝධන ආයතනය භාරව සිටින විජේසූරිය මහතා සඳහන් කරන ආකාරයට මත්ද්‍රව්‍ය වැනි විනාශ කාරී දේ වෙත තරුණ පරපුර යොමු වීමට ප්‍රධාන හේතුව බවට පත්ව තිබෙන්නේ අලස බව සහ මන්දගාමී බව සහ කම්මැලි බවයි. මේ තත්ත්වය සමාජය සහ බලධාරීන් විසිස් වෙනස් කළ යුතුය යන්න ඔහුගේ අදහසයි.

සුරංග සුනෙත් පෙරේරා ද පුනරුත්ථාපනය වි මෙහිම සේවය කරන්නෙකි. ඔහුට ප්‍රතිකාර සහ විශෝධන ක්‍රම පිළිබඳව මනා අවබෝධයක් තිබේ.

“බලහත්කාරයෙන් ප්‍රතිකාර කළාට ඒකෙ ප්‍රතිඵලයක් නැහැ. ගොඩක් බාහිර ප්‍රතිකාර වැඩසටහන් ප්‍රතිකාර කරන කාලයට පමණක් සීමා වෙන්නේ ඒ නිසයි..ඒ ප්‍රතිකාරවලින් සුවපත්වන බොහෝ අය ප්‍රතිකාරයෙන් පසු නැවත වැරැදි චර්යා වෙත යොමු වෙනවා. ඒත් අපෙන් ප්‍රතිකාර ලබන බොහෝ දෙනෙක් ස්ථිර සුවය ලබනවා. මම මතට ඇබ්බැහිවෙලා හිටිය කෙනෙක්. ඒත් අද වෙද්දි මට දුම්වැටියක්වත් බොන්න හිතෙන්නෙ නැහැ.ඒ තරමටම මගේ හිත පාලනය වෙලා. මත් භාවිතයේ වැරැද්ද හරයක් නැති කම යටිහිතටම ගිහින්. ඒ නිසා මම ආයෙ කවදාවත් මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙන්නෙ නැහැ කියල ස්ථිරයි.

ලියනගේ ජිවන්ත ලක්ෂාන් පෙරේරා මහතාට ද අද මත් ද්‍රව්‍ය යැයි කියූ සැනෙන් ඇති වන්නේ පිළිකුලකි. ඔහුගේ මුහුණ තුළින් මේවා කෙරෙහි ඇති අකැමැත්ත සහ අපුල බව අපට මැනවින් පෙනුණි.

“මම එදා හිටියෙ කොහොමද කියල හිතද්දිත් ලැජ්ජයි දැන්නම් දෙයියනේ කියල ඉන්නවා. අපිට මෙතැන දැන් ගෙදරට වඩා හොඳයි කියල හිතෙනවා ජීවිතය පිළිවෙලකට හැදුනේ නිසංසල ආයතනය නිසා. අද ඕනැ දෙයක් පිළිවෙලට සාර්ථකව කරන්න පුළුවන් වෙලා තියෙන්නෙ මේ පුහුණු සහ පුනරුත්ථාපන වැඩසටහන නිසයි. අපිට මෙතැනට ඉද්දි හිතෙන්නෙ අපි එකම පවුලක කියලා. අන්න ඒ හැඟීම නිසා තමයි අපිට ඉක්මනින් වරදින් මිදෙන්න පුළුවන් කම ලැබුණේ.

මෙම මධ්‍යස්ථානයේ අනෙක් විශේෂත්වය වන්නේ අවුරුදු දෙකක කාලය තුළ මාපියන් නිතර මුණගැසීමට ඉඩ නොදීමයි. මෙහිදී මූලිකව මාස තුනක කාලයකට වරක් මාපියන් මුණගැසීමට අවස්ථාව සැලසෙන අතර රැඳෙවියාගේ යහපත් කල්ක්‍රියාව ගැන අවධානය යොමුකර නිවාස නිවාඩු ලබා ගැනීමටද රැඳවියාට අවස්ථාව ලැබේ.තවද ශාරීරික පවිත්‍රතාවය ගැනද අවධානය යොමුවන අතර දිනපතා ස්නානය කිරීම අනිවාර්ය අංගයකි.

අනුෂ්ක දිසානායක මහතා ද නිසංසල ආයතන ජාලයේ ජ්‍යේෂ්ඨ සාමාජිකයකි.මේ ඔහු තම ආයතනය සහ එහි වැඩපිළිවෙල ගැන දක්වන අදහස්ය.

“ ආසියාවේ හොඳම ප්‍රතිකාර හා විශෝධන වැඩසටහන ක්‍රියාත්මක කරන්නෙ අප. ඒ ගැන අන්තර්ජාතික පිළිගැනීමක් සහ අගය කිරීමක් තියෙනවා ඇත්තෙන්ම අපිට පුළුවන් වෙලා තියෙනවා රටට විශාල සේවයක් ඉටුකරන්න. ඇත්තෙන්ම අපට සියයට හැටක හැත්තෑවක සාර්ථකත්වයක් අත්කර ගන්න පුළුවන් වෙලා තියෙනවා ඒ ගැන අපට ඇත්තටම සතුටක් වගේම ආඩම්බරයක් තියෙනවා.

මේතැනදි අපි රැඳවියන් වෙත වගකීමක් නොපවරා අපිට වගකීමක් පවරා ගන්නේ නැහැ. ඔවුන්ට වගකීම පවරනවා තම කාර්යයන්හි. ඒ නිසා තමයි මේ වැඩසටහන් අපට සාර්ථකව කරගෙන යන්න පුළුවන්කම ලැබෙන්නේ.

මෙහි සුබසාධනය වූ පිරිස් රැසක් අද වෙනකොට රටපුරා යහපත් ජීවිත ගත කරනවා ඒ අතර හොඳ ව්‍යාපාරිකයො රජයේ සහ පුද්ගලික රැකියාවල නියැලෙන අය ඉන්නවා තවත් පිරිසක් අපේ ආයතනයේම සේවය කරනවා. මේ හැම දෙයක්ම මේ විදිහට සාර්ථක වුණේ මේ නව වැඩපිළිවෙල නිසයි. අපි කාටවත් පීඩාවක් කරලා නීතියක් පනවා හික්මවීමක් ඇති කරන්නෙ නැහැ. විවෘත සහ විනිවිද ක්‍රමයකට රැඳවියාගේ ආත්ම ගරුත්වයත් ආරක්ෂාවන විදිහට තමයි අපේ පුනරුත්ථාපන සැලසුම් ක්‍රියාත්මක වෙන්නේ.

රජය මගින් මත් විරෝධි සටන සාර්ථකව ක්‍රියාත්මකවන මෙවැනි කාලයක මත්ලෝලින් හැකි තරම් අවම කිරීම අනිවාර්ය අංගයකි. එවැනි තත්ත්වයක් තුළ දහස් සංඛ්‍යාත මත්ලෝලීන් හොඳ මිනිසුන් ලෙස සමාජ ගත කිරීම සිදුකරන මෙවැනි වැඩපිළිවෙලවල් ඉතාමත් වටිනා සහ කාලීන දේ ලෙස සඳහන් කළ හැකිය.

උදිත ගුණවර්ධන
ඡායාරූප සිරිපාල හල්වල


නව අදහස දක්වන්න