අතීතය යළි මවන පින්නවල ‘පැරණි ගම’ | දිනමිණ

අතීතය යළි මවන පින්නවල ‘පැරණි ගම’

පින්නවල ‍සුන්දර මා ඔය අසබඩ ඉදි වී ඇති මෙම අසිරිමත් නිර්මාණය හෙවත් ඉපැරණි ගම පින්නවල සංචාරක කලාපයට ගෙන දෙන්නේ ඉමහත් වටිනාකමකි. අපගේ අතීත ජන ජීවිතය පිළිබිඹු කරන කැඩපතක් ලෙස ඉපැරණිගම හැඳින්වුවහොත් එය නිවැරදිය. එසේම මෙම ස්ථානය ඉතා වටිනා කෞතුකාගාරයක් ලෙස ද සැලකිය හැකිය.

සබරගමුව පළාත් සභාවේ හිටපු මහ ඇමැති මහීපාල හේරත් සහ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් යන මහත්වරුන්ගේ කැපවීම හා මඟපෙන්වීම යටතේ එවකට පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයා වූ වත්මන් ආණ්ඩුකාර ලේකම් හේරත් පී. කුලරත්න මහතාගේ මෙහෙයවීමෙන් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් පරාක්‍රම පියසේන මහතාගේ අධීක්ෂණය යටතේ ඉදිකළ මෙහි සැලසුම්කරු වන්නේ ප්‍රථම විධායක නිලධාරි අනුරුද්ධ බණ්ඩාර මහතායි. ඔහු ඉපැරණිගම ඉදිකිරීමේදී කළ කැපකිරීම කවුරුත් අගය කළ යුතුය.

ඉපැරණි ගමට පිවිසෙන විට පළමුව හමුවන්නේ වෙද ගෙදරයි. සබරගමුවේ රාවණා රජ සමය දක්වා විහිදෙන දේශීය වෛද්‍ය ක්‍රමය පිළිබඳ මනා අවබෝධයක් මෙහිදී ලබාගත හැක.

දේශීය වෙදකමට භාවිතා කරන බෙහෙත් පැළෑටි විශාල ප්‍රමාණයක් වෙද ගෙදරෙහි මිදුලෙහි රෝපණය කර ඇත. එසේම පැමිණෙන ජනතාවට මෙන්ම ප්‍රදේශවාසීන්ට ද සේවය ලබාගැනීමට පාරම්පරික ආයුර්වේද වෛද්‍යවරයෙක් ද මෙහි සිටී.

වෙද ගෙදර නැරඹීමෙන් පසු ඔබට හමුවන්නේ ආරච්චි ගෙදරයි. පුරාණ ගමක ප්‍රධානියා ආරච්චිලයි. ගමේ උසස්ම තත්ත්වයේ හා පොහොසත්ම ගෙදර ආරච්චි ගෙදරයි. පැමිණෙන අය හට ආරච්චි ගෙදර සිටින ආරච්චිලා පැරණි ගම පිළිබඳ සියලු විස්තර කරන අතර ඔහු පාවිච්චි කළ පැරණි බඩු බාහිරාදිය ද මෙහිදී දැකගත හැක.

අප හට ආරච්චිලාගේ ගෙදරින් පසු හමුවන්නේ මහ ගමරාලගේ ගෙදරයි. මෙම නිවස කටු මැටියෙන් සාදා ඇති අතර පොල් අතු සහ පිදුරු සෙවිලි කර ඇත. ඉපැරණි ගමරාලගේ නිවසක තිබුණු සියලු උපකරණ මෙහිදී මනා ලෙස දැකගත හැක. මෙයද අපගේ පැරණි ශ්‍රී විභූතිය විදහා දක්වන අනගි ස්ථානයකි.

ඉන්පසු අපට හමුවන්නේ පුරාණ ගමේ තිබූ කෝපි කඩයයි. ගම්වැසියන් තමන්ගේ එදිනෙදා පාරිභෝගික අවශ්‍යතා ඉටුකර ගත්තේ කෝපි කඩය මඟිනි. ගැමියන්ගේ අන්‍යෝන්‍ය සුහදත්වය වර්ධනය වන ස්ථානයක් ලෙස ද මෙය හැඳින්විය හැක. පැමිණෙන ජනතාවට ඖෂධීය පානයන් මෙන්ම දේශීය කැවිලි වර්ග ද මෙහිදී ලබාගත හැක.

අනතුරුව හමුවන්නේ කුඹල් ගෙදරයි. මෙහි සිටින කුඹල් කරුවා විසින් සජීවීව මැටි භාණ්ඩ නිෂ්පාදනය කරන අයුරු දැකබලාගත හැකිය. එම මැටි භාණ්ඩ දේශීය සංචාරකයන්ට අඩු මිලට ලබාගැනීමේ හැකියාව ද සලසා ඇත.

කුඹල් ගෙදරින් පසු හමුවන්නේ වඩු මඩුවයි. ගම්වැසියන් ගෘහ භාණ්ඩ මෙන්ම ගොවි උපකරණ සාදා ගත්තේ ද වඩු මඩුවෙනි. ඉන්පසු පුරාණ ගමක පැවති කම්මල අපට දැකබලා ගත හැක. කම්මල්කරු විසින් ගමට අවශ්‍ය සියලු උපකරණ නිපදවන අයුරු දැකගත හැක. අතීතයේ සිටම සබරගමු පළාත රෙදිපිළි කර්මාන්තය සඳහා ප්‍රසිද්ධියක් උසුලයි. ඉන්පසු හමුවන්නේ අත්යන්ත්‍ර කුටිය තුළදී රෙදිපිළි නිපදවන අයුරු මැනවින් දැකිය හැක.

පින්නවල ඉපැරණි ගමේ පන්සල හා වැව ද දැකිය හැකි අතර පුරාණ ගමක සශ්‍රීකත්වයේ සංකේතය වැවයි. පැරණි ගමේ තිබූ හේන දඬු වැට, ගස මත පිහිටි පැල, වී බිස්ස, කෙත්යාය, කමත, දිය හොල්මන ආදී අංග මෙන්ම අභිකුණ්ඨක කූඩාරමක් ද නයින්, රිලවුන් සහ පිඹුරන් වැනි සතුන් ද දැකබලා ගත හැක. ඉපැරණි ගමේ ඉදිකර ඇති දියවර අසපුව නම් වූ පැරණි රැස්වීම් ශාලාව මෙහි දැකිය හැකි තවත් විශේෂ අංගයකි.

වත්මන් පරපුරේ බොහෝදෙනා දැක නැති පැරණි උපකරණ හා භාණ්ඩ රැසක් මෙහිදී දැකබලා ගත හැක. පාසල් සිසුන්ට උසස් අධ්‍යාපනය ලබන සිසුන්ට මෙන්ම විශ්වවිද්‍යාල සිසුන්ට ද පර්යේෂකයන්ට ද ඉපැරණි ගම දැනුම වඩවන තෝතැන්නකි.

පින්නවල ඉපැරණි ගම පාලනය වන්නේ භරකාර මණ්ඩලයක් මඟිනි. අද මෙම භාරකාර මණ්ඩලයේ සභාපතිනිය ලෙස කටයුතු කරන්නේ සබරගමු පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම් ශ්‍රියාණි පද්මලතා මහත්මියයි. ඇය පැරණි ගමේ දියුණුව වෙනුවෙන් කරනු ලබන කැපකිරීම අගය කළ යුතුය. සබරගමුව පළාත් සභාවේ කර්මාන්ත අධ්‍යක්ෂිකා විජයානි රත්නසේකර මහත්මිය වත්මන් ප්‍රධාන විධායක නිලධාරිවරියයි. ඇය ඉපැරණි ගම සංවර්ධනය කිරීම සඳහා පියවර රැසක් ගනිමින් සිටින්නීය. මෙහි සියලු කටයුතු පිටුපස සිට සබරගමු පළාත් සභාවේ ප්‍රධාන ලේකම් ඩී. එම්. මාලනී මහත්මිය ලබාදෙන සහය ඉතා අගනේය.

ගැමිකම සහ ගම හොඳින් හඳුනන ආණ්ඩුකාරවරයෙක් සබරගමු පළාතට ලැබී තිබීම ඉපැරණි ගමේ දියුණුවට මහත් රුකුලකි. ඒ ධම්ම දිසානායක ආණ්ඩුකාරවරයායි. ඉඩ ලැබෙන සෑම අවස්ථාවකදීම ඉපැරණි ගමට පැමිණ නිලධාරීන්ට හා සේවකයන්ට නිවැරදි උපදෙස් ලබාදෙන ආණ්ඩුකාරවරයාට කලින් සඳහන් කළ පරිදි ගම ගැන තිබෙන්නේ පුළුල් දැනුමකි. ඒ ඔහු වචනයේ පරිසමාප්තයෙන්ම ගැමියකු වන නිසාය.

සබරගමු පළාතේ හිටපු ආණ්ඩුකාරවරුන් වන මාෂල් පෙරේරා සහ නිලූකා ඒකනායක යන මහත්ම මහත්මීන් පින්නවල ඉපැරණි ගම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළහ. පින්නවල ඉපැරණි ගම වැනි ජාතික උරුමයක් රටට දායාද කිරීමට කැප වූ සබරගමු පළාතේ දේශපාලන අධිකාරියට ද සියලුම නිලධාරීන්ට හා සේවකයින්ට ද අපගේ ස්තූතිය පිරිනමමු.

පින්නවල ඉපැරණි ගම තවත් සියවස් ගණනාවක් පවතීවායි ප්‍රාර්ථනා කරමු.

එස්. කේ. සමරනායක


නව අදහස දක්වන්න