මත්ද්‍රව්‍ය මැඬීමට පෝරකය වැඩි නැත | දිනමිණ

මත්ද්‍රව්‍ය මැඬීමට පෝරකය වැඩි නැත

මේ ජාතික ව්‍යසනයේදී වෘත්තිකයන්, උගතුන්, වියතුන්, දේශපාලනඥයන්, පූජ්‍ය හා පූජක පක්ෂ එකට එක්ව එකාමෙන් එක්සිත්ව සැබෑ සංහිඳියාවෙන් යුක්තව මත්ද්‍රව්‍ය ව්‍යාපාරයට විරුද්ධව නැගී සිටිය යුතුය. ඒ සඳහා තමන් දන්නා තොරතුරු මත්ද්‍රව්‍ය මර්දනයේ යෙදී සිටින නිලධාරින් හා අංශ වෙත ලබාදීම වැදගත්ය.

ප්‍රබල සමාජ ප්‍රශ්නයක්ව පවතින අපරාධ රැල්ල පාතාල ක්‍රියා සහ මත්ද්‍රව්‍ය මර්දනය කිරීමටත් ඒ සඳහා සිදුකෙරෙන නීතිමය සංශෝධන කඩිනම් කර අවශ්‍ය බලතල අදාළ නිලධාරින්ට පවරාදීම යුගයේ අවශ්‍යතාවක් බව ජනාධිපතිතුමා තීරණය කර තිබේ. ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට අමතරව පොලිස් විශේෂ කාර්ය බළකාය, විශේෂ මත්ද්‍රව්‍ය වැටලීම් අංශය හා ත්‍රිවිධ හමුදාවේද සහය ලබාගෙන රටම විනාශ කරන මත්උවදුර අතුගා දැමීම ජනාධිපතිතුමාගේ අරමුණ වී තිබේ. එතුමා පවසන පරිදි මෙය රටක පවතින යුද්ධයක් හා සමාන ඛේදවාචකයකි.

අපේ රටේ දැනට තිබෙන සියලු ප්‍රශ්න අභිභවා ජන සමාජය වෙත එල්ල වී තිබෙන ප්‍රධානම ගැටලුව මත් උවදුර බව පැහැදිලිය. රටේ පවතින ආර්ථික අර්බුදය, දේශපාලන අර්බුදය හා රුපියල අස්ථාවරවීම යනු ප්‍රබල ගැටලු බවට යමෙකුට තර්ක කළ හැකි වුවද රටේ පුරවැසියන් වශයෙන් හා ජන සමාජය වශයෙන් ඉදිරියට යාමට, යහපත් පැවැත්මට මත්ද්‍රව්‍ය, පාතාලය හා අපරාධ විශාල බාධාවක් වන්නේය.

පළමුව පෘතුගීසි ජාතිකයින් විසින් ‘අබිං’ කෑම ලක්වාසීන්ට හඳුන්වා දුන් අතර පෘතුගීසි හා ලන්දේසි සොල්දාදුවෝ බහුලව ‘අබිං’ භාවිතයට හුරුවී සිටියහ. පසුව ඉංග්‍රීසි සොල්දාදුවන්ද ‘අබිං’ වලට ප්‍රබල ලෙස ඇබ්බැහි වීම හේතුවෙන් එවකට ලක්වැසියන් වූ සිංහල, දෙමළ හා මුස්ලිම් ජනයාද ඊට අනුගත වූහ. මේ හේතුවෙන් ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා විසින් ශ්‍රී ලංකාවේ ‘අබිං’ දිරිමත් කළේය.

අබිං සහ කංසා

අබිං සාර්ථක වීමත් සමඟ කංසා වගාවටද ගොවියන් උනන්දු කළ ඉංග්‍රීසි ආණ්ඩුව මේවා වෙළෙඳාම් කිරීම ‘ලයිසන්’ ක්‍රමය මඟින් හඳුන්වා දෙන ලදී. එමඟින් රජයට විශාල බදු ආදායමක් ලැබිණි. පසුකලෙක ශ්‍රී ලාංකික ජන සමාජය තුළ අබිං හා කංසා භාවිතය ගැටලුවක් ලෙස පැන නැගුණ හෙයින් 1867 දී අංක 19 දරන ‘අබිං හා කංසා ආඥා පනත’ පනවන ලදී. මෙම මත්ද්‍රව්‍ය භාවිතය ක්‍රමයෙන් ඉහළ යන ප්‍රවණතාවක් තිබූ හෙයින් 1929 දී ගංජා හා විෂ මත්ද්‍රව්‍ය සඳහා අන්තරායකාර මත්ද්‍රව්‍ය ඒකාබද්ධ පනතක් ඉදිරිපත් කෙරිණ. 1948 දී ශ්‍රී ලංකාවට නාමික නිදහස ලබාදී තිබුණද විෂ මත්ද්‍රව්‍ය රට තුළ භාවිතය බහුල ලෙස සිදුවුණි. මේ තත්ත්වය දිගින් දිගටම පැවැති හෙයින් 19 වෙනි සියවස අගභාගයේදී හා 20 වැනි සියවස මුලදී “අබිං හා කංසා”වලට විරුද්ධව ජනමතයක් ගොඩනැගීමට තරම් මෙම ප්‍රශ්නය උග්‍ර විය.

1955 වර්ෂයෙන් පසු කිසිදු සංශෝධනයකට ලක්නොවූ ගංජා අබිං හා විෂ මත්ද්‍රව්‍ය සඳහා අන්තරායකර ඖෂධ ආඥා පනත, 1984 අංක 13 දරන විෂ වර්ග අබිං හා අන්තරායකර ඖෂධ වර්ග ආඥා පනතින් සංශෝධනය විය. 1984 අංක 11 දරන අන්තරායකර ඖෂධ පාලනය කිරීමේ ජාතික මණ්ඩලය පනත නමින් වූ පනතක් මඟින් අන්තරායකර ජාතික ඖෂධ මණ්ඩලය පිහිටුවන ලදි. 70 දශකය වන තෙක්ම ශ්‍රී ලංකාව තුළ ප්‍රධාන මත්ද්‍රව්‍ය ලෙස අබිං හා කංසා භාවිත වූ අතර 70 දශකය අවසානයේදී අති ප්‍රබල හා භයානක මත්ද්‍රව්‍ය වන හෙරොයින්, හෂීස් වැනි ඒවා භාවිතයටද ලාංකික සමාජය පුරුදු වූහ.

හෙරොයින් හා හෂීස් වැනි මත්කුඩු සංචාරක පුරවරයන්හි මුලදී බහුල වශයෙන් සමාජගත වූවද ඒවා රට පුරා ව්‍යාප්ත වූයේ ක්ෂණික මුදල් ඉපැයීමේ මාර්ගයක් වූ බැවිනි.

ශ්‍රී ලංකාවට 1978 දී හඳුන්වා දුන් විවෘත ආර්ථික ප්‍රතිපත්තිය මේ සඳහා බලපෑ ප්‍රධාන හේතුවකි. මත්ද්‍රව්‍ය උවදුර නව මුහුණුවරකින් වර්ධනය වූයේත් තවත් ප්‍රබල සමාජ ආර්ථික ප්‍රශ්න රාශියක් හටගත්තේත් විවෘත ආර්ථිකයේ අනියම් දායාද ලෙසය. මේ යටතේ ආනයන හා අපනයන සීමාවන් ලිහිල් කිරීම හේතුවෙන් ජාත්‍යන්තර ගනුදෙනු ඉහළ යාමත් පෞද්ගලික අංශයට ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු සඳහා අවසර ලැබීමත් නිසා නොයෙක් නීති විරෝධී ජාවාරම් මඟින් මුදල් ඉපැයීමට බොහෝ දෙනා තැත් කළහ.

මත්ද්‍රව්‍ය වෙළෙඳාම ශ්‍රී ලංකාව තුළ බහුලවීමට තවත් හේතුවක් වී ඇත්තේ මෙරටට නැගෙනහිර හා බටහිර දෙසින් ලෝකයටම විෂ මත්ද්‍රව්‍ය නිපදවන කලාප දෙකක් පිහිටා තිබීමයි. ස්වර්ණමය ත්‍රිකෝණය වශයෙන් ලොව හඳුන්වන ලාඕසය, තායිලන්තය හා බුරුමය ලංකාවට නැ‍ඟෙනහිරින් පිහිටා තිබෙන අතර ස්වර්ණ චන්ද්‍රවංකය ලෙස හැඳින්වෙන ඇෆ්ගනිස්ථානය, ඉරානය හා පකිස්ථානය අප රටට බටහිරින් පිහිටා ඇත. මේ රටවල් සියල්ලම විෂ මත්ද්‍රව්‍ය නිපදවන ලොව අංක එකේ රටවල්ය. ශ්‍රී ලංකාව මේ කලාප දෙකට මැදින් පිහිටා තිබීම රට තුළ මත්ද්‍රව්‍ය ව්‍යාප්තවීමට හේතුවකි. පැවැති රජයන් මත්ද්‍රව්‍ය වෙළෙඳාමට හා භාවිතයට එරෙහිව දැඩි පියවර නොගැනීම හේතුවෙන් මත්ද්‍රව්‍ය වෙළෙඳුන් ඒවා බෙදාහරින ප්‍රධාන මධ්‍යස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත්කරගැනීමට උත්සාහ කර තිබේ.

රටේ බොහෝ ප්‍රදේශයන්හි මත්ද්‍රව්‍ය වෙළෙඳාම හා භාවිතය බහුල වශයෙන් සිදුවන හේතු ඒවාය. පසුගිය කාලවල මත්ද්‍රව්‍ය වෙළෙඳාම හා භාවිතය තිබුණද එය මෙතරම් සංකීර්ණ තත්ත්වයකට පත්ව නොතිබුණි. රට තුළ මත්ද්‍රව්‍ය මෙතරම් ව්‍යාප්ත වීමට ඇතැම් දේශපාලනඥයන්ගේ සහයද ලැබුණු බව නොරහසකි. තමන්ගේ ඡන්ද පදනම වර්ධනය කරගැනීම උදෙසා මත්ද්‍රව්‍ය වෙළෙඳුන්ගේ සහය ලබාගැනීමෙන් ඔවුන්ගේ ව්‍යාපාරවලට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට බාධා පමුණුවන අවස්ථා තිබුණි.

විරැකියාවෙන් පෙළෙන්නන් විකල්ප වශයෙන් මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයන්ට සේවය කිරීමත්, ත්‍රිවිධ හමුදාවෙන් පැන ආ පුද්ගලයන් මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ගේ ආරක්ෂකයන් ලෙස කටයුතු කිරීමත්, අධ්‍යාපනය නොලද තරුණ පිරිස් මත්ද්‍රව්‍ය ජාවාරමට පහසුවෙන් සම්බන්ධ කරගැනීමට හැකිවීමත් මත්ද්‍රව්‍ය අප රට තුළ ව්‍යාප්තවීමට හේතුවී තිබේ. ඊට අමතරව මත්ද්‍රව්‍ය වැටලීම්වලදී අත්අඩංගුවට පත්වන පිරිස්වලට නීතිය ක්‍රියාත්මක කිරීමට ප්‍රාදේශීය මට්ටමේ සහ ජාතික මට්ටමේ දේශපාලනඥයන්ගේ බාධාකිරීම නිසා පොලිස් නිලධාරින් අසරණ වීමද විශේෂ හේතුවකි. මත්ද්‍රව්‍ය ජාවාරම හා ළඟ තබාගැනීම සම්බන්ධයෙන් හා අනිකුත් අපරාධ මර්දනය සඳහා අප රට තුළ පවතින නීතිය ප්‍රමාණවත්ය. අඩුවකට තිබෙන්නේ ඒවා හරිහැටි ක්‍රියාත්මක නොකිරීමය. එහෙත් පසුගියදා ශ්‍රී ලාංකීය මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු හා ඔහුගේ හිතවතුන් පිරිසක් විදේශයකදී පොලිස් අත්අඩංගුවට පත්වීමත් සමඟ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බොහෝ පිරිස් ගැන තොරතුරු ලැබී තිබීමෙන් ඔවුන් කඩිනම්ව අත්අඩංගුවට ගැනීමට පොලිසිය හා අදාළ අංශ ක්‍රියාත්මක වී ඇත.

මත්ද්‍රව්‍ය වැටලීම්

ජනාධිපතිතුමාගේ මැදිහත්වීම ඒ සඳහා විශාල ශක්තියක් වී ඇති අතර ඉතා සුළු කාලයකදී විශාල මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් හා ඒවා ළඟ තබාගත් පිරිසක් නීතියේ රැහැනට හසුකර ගැනීමට හැකි වී ඇත. ඒ සඳහා පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බළකාය උනන්දුවෙන් හා සූක්ෂමව ක්‍රියාකරන බව පෙනේ. මේ තත්ත්වය මත රටේ අනාගත සුරක්ෂිතභාවය හා සමාජයේ වෙසෙන්නන්ගේ යහපත් බව පිළිබඳ බලාපොරොත්තුවක් තබා ගත හැකි වේ. ශ්‍රී ලංකාව තුළ මත්ද්‍රව්‍ය හා අපරාධ නැතිකිරීමට කඩිනම් පියවර නොගතහොත් එය රටේ අභිමානයට හා පැවැත්මට විශාල හානියක් වනු ඇත.

රට තුළ මත්ද්‍රව්‍ය ව්‍යාප්තියට සම්බන්ධ සියලුදෙනාට නීතියේ ඇති ඉහළම දණ්ඩනය ලබාදිය යුතු අතර ඉහළ මට්ටමේ සිටම එය ක්‍රියාත්මක කළ යුතුය. මක් නිසාද යත් මුදුන්මුල හා පෝෂක මුල් තිබෙන තුරු ගසේ වර්ධනය අඩාල කළ නොහැකි බැවිනි.

මානව හිමිකම්

මත්ද්‍රව්‍යවලට සම්බන්ධ පිරිසට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට එරෙහිව මානව හිමිකම් සංවිධාන නොයෙක් ප්‍රකාශ කරති. එම මානව හිමිකම් සංවිධාන අතරින් බොහොමය බටහිර රටවල ආධාර ලබන ඒවාය. බටහිර රටවල පවතින ඇතැම් මානව හිමිකම් ක්‍රම අපේ රටට ගැළපෙන්නෙ නැත. ඒවාට අනුව ක්‍රියාත්මක වන බොහෝ මානව හිමිකම් සංවිධානවලට අපේ රටේ ජනතාවට කුමක් වුවත් කම් නැත. බටහිරට ගැති ඔවුන් අපරාධකරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින්නෝය.

මානව හිමිකම් වෙනුවෙන් සැබෑ ලෙස පෙනී සිටීනම් මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් සමස්ත ජනතාවගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටිය යුතුය.

පැවැති කිසිම රජයක් මත්ද්‍රව්‍ය උවදුර ගැන අවශ්‍ය පරිදි ක්‍රියා නොකළ අතර ඒවා මැඩලීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ දියත් කළේද නැත. මීට වසර කීපයකට පෙර මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන් විසින් අධිකරණ විනිසුරු සරත් අඹේපිටිය මහතා ඝාතනය කිරීම ඊට කදිම උදාහරණයකි. දැඩි අසීරුතා මැද පොලිසිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔවුන්ට මරණ දණ්ඩනය නියම කළ අධිකරණ විනිසුරු අඹේපිටිය මහතා ඝාතනය කිරීමට මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ සමත්වූහ. එම සිද්ධිය අවස්ථාවක් කරගෙන මත්ද්‍රව්‍ය ජාවාරම වෙනුවෙන් දැඩිව ක්‍රියාත්මක වීමට එවකට පැවැති රජයට අවස්ථාව තිබුණි. එහෙත් එවැනි දෙයක් ක්‍රියාත්මක නොවුණි. එම සිදුවීමත් සමඟම මත්ද්‍රව්‍ය වැටලීමෙහි නිරතවන පොලිස් නිලධාරින් පසුගාමී විය. ඒ ඔවුන්ගේ ජීවිතවලට එල්ලවිය හැකි අනතුරු නිසාය. මත්ද්‍රව්‍ය ජාවාරම්වල නියැලුන ප්‍රධාන පෙළේ පුද්ගලයන් සිරගතව සිටියද ඔවුන් ඇතැම් බන්ධනාගාර නිලධාරින්ගේ සහය ඇතුව නිදැල්ලේ සිටින තම ගෝලබාලයන් එම කාර්යයේ යොදවති. මේ ආකාරයට මත්ද්‍රව්‍ය ජාවාරම විනාශ කිරීම කළ නොහැක්කකි. එබැවින් මහජනතාවට පෙනෙන පරිදි දැනෙන පරිදි අපරාධකරුවන්ට දැඩි දඬුවම් දිය යුතු වේ.

රටේ යම් යම් සිදුවීම් ගැන කෑ මොර දෙන ඇතැම් දේශපාලනඥයන් හා විවිධ සංවිධාන මත්ද්‍රව්‍ය ව්‍යාපාරය ගැන නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරති. එයින් පෙනී යන්නේ එම ව්‍යාපාරවලින් ඔවුන්ටත් ලාභ ප්‍රයෝජන ලැබෙන බවද? මේ ජාතික ව්‍යසනයේදී වෘත්තිකයන්, උගතුන්, වියතුන්, දේශපාලනඥයන්, පූජ්‍ය හා පූජක පක්ෂ එකට එක්ව එකාමෙන් එක්සිත්ව සැබෑ සංහිඳියාවෙන් යුක්තව මත්ද්‍රව්‍ය ව්‍යාපාරයට විරුද්ධව නැගී සිටිය යුතුය. ඒ සඳහා තමන් දන්නා තොරතුරු මත්ද්‍රව්‍ය මර්දනයේ යෙදී සිටින නිලධාරින් හා අංශ වෙත ලබාදීම වැදගත්ය. මක්නිසාද යත් සිවිල් සමාජයේ සැඟවී තිබෙන “මත්ද්‍රව්‍ය” නම් කුරිරු බෝම්බය සොයා නිෂ්ක්‍රීය කිරීමට සිවිල් සමාජයේම සහාය අවශ්‍ය බැවිනි.

මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයන් පමණක් නොව මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වී සිටින පුද්ගලයන්ද අදාළ අංශ වෙත යොමුකිරීම ඉතා වැදගත්ය. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින පුද්ගලයන් සමාජය තුළ නිදැල්ලේ ගැවසේ නම් ඔවුන් වෙතින් සමාජයට වන හානිය සුළුවෙන් තැකිය නොහැකිය. මතට හුරු වූ අයකු මත්ද්‍රව්‍ය ලබාගැනීම සඳහා ඕනෑම දෙයක් සිදුකිරීමට පසුබට නොවේ. සොරකම්, මංකොල්ලකෑම් ඇතුළු විවිධ අපරාධ කිරීමට ඔහු පෙළඹේ. එවන් පුද්ගලයන් සිවිල් සමාජයේ සිටීම ඉතා භයානක තත්ත්වයකි. එවන් පුද්ගලයන් අදාළ අංශ වෙත භාරදී ඔවුන් පුනරුත්ථාපනය කිරීමෙන් ඔවුන්ගේ මෙන්ම සාමාන්‍ය ජනතාවගේ ජීවිත සුරක්ෂිත වේ.

අද වනවිට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ප්‍රධාන ඉලක්කයක්ව ඇත්තේ පාසල් දරුවන්ය. පාසල් වයසේ දරුවන් ඕනෑම කටයුත්තක් සඳහා පොළඹවා ගැනීමට පහසුය. ඔවුන් නිතර උත්සාහ ගන්නේ විවිධ ක්‍රියාකාරකම් අත්හදා බැලීමටය. ඒ අනුව මත්ද්‍රව්‍ය පාවිච්චියට ඔවුන් නතුකර ගැනීමෙන් තම ජාවාරම් සාර්ථක කරගැනීමට ජාවාරම්කරුවන් උත්සුක වනු ඇත. ඒ වෙනුවෙන් මත් පෙති විශේෂයක් පාසල් දරුවන් ඉලක්ක කරගනිමින් ආනයනය කර තිබෙන බව පසුගිය දිනවල සිදුකළ සෝදිසි මෙහෙයුම්වලින් සනාථ වී ඇත. කිසිත් නොදත් තමන්ගේ තරුණ දරුවන් කෙරෙහි විශේෂ අවධානය යොමුකර ඔවුන් පිළිබඳ විශේෂ සෝදිසියෙන් සිටීම මව්පියන්ගේ වගකීමකි. යම් වැරදි කටයුත්තකට පුරුදු වූවාට පසු පිළියම් යොදනවාට වඩා පුරුදුවීමට පෙර ආරක්ෂා කර ගැනීම වැදගත්ය.

පාසලේ වගකීම

පාසල් අධ්‍යාපනයේ සාමාන්‍ය පෙළ විෂය නිර්දේශයේ සාමාන්‍ය විද්‍යාව විෂය සඳහා “මත්ද්‍රව්‍ය හා මත්පැන්වල දුර්විපාක” යනුවෙන් පාඩමක් 50 හා 60 දශකයන්හි ඇතුළත්ව තිබුණි. එයින් සිසුවා මත්ද්‍රව්‍ය හා මත්පැන් පිළිබඳ මනාව දැනුවත් කර තිබුණි. එහෙත් මේ වනවිට එම විෂය සාමාන්‍ය පෙළ විෂය නිර්දේශයෙන් අතුරුදන්ව තිබේ. මත්පැන් හා මත්ද්‍රව්‍ය ගැන රටේ අනාගත පරපුර දැනුවත් කළ යුතුය. පාසල් විෂය නිර්දේශයට නැවත එවැනි විෂයන් ඇතුළත් කිරීම බලධාරින්ගේ යුතුකමකි. එවිට ජන සමාජය ශීලාචාර, යහපත් පිරිසක් බවට පත්වේ. නීතිය නීති විද්‍යාලයෙන් ඉගෙනීමට ප්‍රථම රටේ පවතින නීති හා දඬුවම් පිළිබඳවද පාසල් අධ්‍යාපනයට ඇතුළත් කළ යුතුය. එවිට නීතිගරුක පුරවැසියන් බිහිවේ. අශ්වයා පැන ගියාට පසු ඉස්තාලය වසා දැමීමෙන් පලක් නැත යනුවෙන් ජනවහරේ පවතී, එය සැබෑවකි. යමෙක් වරදෙහි බැඳුණු පසු දඬුවම් දෙනවාට වඩා වරද කිරීමට පෙර දැනුවත් කිරීම යහපත්ය.

මත් උවදුර සම්බන්ධව ගත් කල රජයට විශාල වගකීමක් පවතී. යම් දෙයක් නතර කළ යුතු නම් එය මොනයම් උපක්‍රමයක් යොදා හෝ නතර කළ යුතුය. මුළු මහත් සමාජයටම ව්‍යසනකාරී ක්‍රියාවක්නම් එය කෙසේ හෝ නතර කළ යුතුය. 1980 දශකයේ අගභාගයේදී නීත්‍යානුකූල නොවන ආකාරයකින් රටේ පරිපාලනයට බලපෑමක් කළ එක්තරා සංවිධානයක් විසින් එවකට ස්ත්‍රී දූෂකයන්ට, මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට සමාජ විරෝධීන්ට විවිධ දඬුවම් ක්‍රියාත්මක කෙරිණි. එකී ක්‍රියා හමුවේ රටේ අපරාධ ශීඝ්‍රලෙස අඩුවිය. එසේ කීමෙන් මා උත්සාහ ගන්නේ එම සංවිධානය කළ කී දේ නිවැරැදිය කියා කීමට නොව යමක් කිරීමට අවශ්‍ය නම් කළ හැකි බව ඇඟවීමටය. දණ්ඩනයට සැවොම බිය බව සැබෑය. එහෙත් දණ්ඩනය දණ්ඩනයක් ආකාරයට පැනවිය යුතුය. යමකු කළ වරදකට සුදුසු දණ්ඩනය දෙන්නේ නම් එම දණ්ඩනය දකින, අසන සියල්ලෝ වරදට බිය වෙති. වරදක් කිරීමට සිතයිද එකෙනෙහිම එයට හිමි දඬුවමද සිහියට නැ‍ඟේ.

අප රට බෞද්ධ රටක් වශයෙන් සඳහන් කොට අවිහිංසාවාදය පෙරට දමා ‘මරණ දණ්ඩනය’ ක්‍රියාත්මක කිරීම අනුමත කළ නොහැකි යැයි ඇතමෙකු ප්‍රකාශ කළ හැකිය. එහෙත් බුදුන් දවස රජවරුන් විසින්ද වැරදිකරුවන්ට “දෙතිස් වධ දී ඇත. රජුගේ කාර්යයට බුදුන් වහන්සේ මැදිහත් නොවූහ. එය රජුට කිරීමට ඉඩ දුන්හ. මෙරට ඉතිහාසය බැලූවද අතීත රජ දරුවන් දඬුවම් ක්‍රියාත්මක කළහ. හිස ගසා, උල තබා, උණු දියෙහි ගිල්වා, දෙකට ඉරා, දියේ ගිල්වා, ඇතුට පාගා ආදී වශයෙන් “මරණ දණ්ඩනය” ක්‍රියාත්මක කළහ. එදවස මෙරට වැඩ සිටි මහ රහතන් ඇතුළු භික්ෂුන් වහන්සේ හෝ විවිධ ආගමික නායකයන් හෝ බැතිමතුන් රජුගේ නීතිය ක්‍රියාත්මක කිරීමට බාධා නොකළහ

වර්තමානයේද රටේ නායකයා ‘මරණ දණ්ඩනය’ ක්‍රියාත්මක කිරීමට සෘජුව තීරණය කර ඇත. රටට මහා ව්‍යසනයක් කරන, රටේ අනාගතය අගාධයට ඇද දමන “මත්ද්‍රව්‍ය ජාවාරම වෙනුවෙන් මරණ දණ්ඩනයට නියම වූ වැරදිකරුවන් තවදුරටත් එම කාර්යයේම නියැලේනම් ඔවුන් “එල්ලා මැරීම”ට ජනපතිතුමා නොපසුබට වන බව දැන් තහවුරුය. එතුමාගේ තීන්දුවෙන් ගම්‍ය වන්නේ මිනිසකු ඝාතනය කිරීමට අණදීම නොව මුළු මහත් මිනිස් සංහතියේ පැවැත්ම සහ පුනරුදය වෙනුවෙන් ලක්ෂ සංඛ්‍යාත මිනිසුන්ට ජීවත්වීමේ අයිතිය ලබාදීම සඳහා සිදුකරන ‍මෙහෙවරකි.

සටහන නිශාන් මෙන්ඩිස්


නව අදහස දක්වන්න