හදවතින්ම අපේ පැතුම ජනපති මෛත්‍රී | දිනමිණ

හදවතින්ම අපේ පැතුම ජනපති මෛත්‍රී

දුමින්ද සම්පත්
පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න සහ ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග

- පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න

කාර්යාල දුම්රියවලට කාන්තා මැදිරි වෙන්කිරීම, ලංගම ලාභ ලැබීම, හිටපු සභාපතිවරයා ඉවත්කිරීම, ඉදිරි මැතිවරණවලට සූදානම ආදී කරුණු පිළිබඳ අදහස් දෙක තීරුවෙන් සාකච්ඡා කෙරේ.

ප්‍රවාහනය ගැන විවිධ මැසිවිලි නැ‍ඟෙනවා. විශේෂයෙන් පොදු ප්‍රවාහනය ඉතා දුර්වල තත්ත්වයක තියෙන බවයි කියන්නෙ?

මේ රට ඉදිරියට යන්න නම් ප්‍රවාහනය ශක්තිමත් කරන්න ඕන. ලෝකයේ දියුණු රටවල්වල ප්‍රවාහන පද්ධතිය දියුණුයි. රටක දියුණුව මනින සාධකයක් තමයි ප්‍රවාහනය. දළ දේශීය නිෂ්පාදනයෙන් 10%ක් විතරම වැය කරන්නේ ප්‍රවාහනය වෙනුවෙන්. කොළඹ නගරයේ මාර්ග තදබදය අධිකයි. මේ තත්ත්වය තවත් වැඩි වෙනවා. මෙහෙම රටක් දියුණු කරන්න බැහැ. මේ ප්‍රවාහන තදබදයට විසඳුම අධිවේගී මාර්ග නොවෙයි. කොට්ටාවෙ ඉඳන් මාතරට පැයයි. කොළඹ ඉඳන් කොට්ටාවට පැයයි. ඒක විසඳුමක් නොවෙයි. වැලිකඩ ගුවන් පාලමත් විසඳුමක් නොවෙයි. එකම විසඳුම පොදු ප්‍රවාහන සේවය ශක්තිමත් කිරීම ඉන් තොර විසඳුමක් නැහැ. පොදු ප්‍රවාහනය ගුණාත්මක වෙන්න ඕන. මේක කරන්න පුළුවන්.

මේකට විසඳුමක් හැටියට තමයි ජාතික ප්‍රවාහන සැලැස්මක් හැදුවෙ. තවමත් ඒ වැඩ පිළිවෙළ හරියට ක්‍රියාත්මක නැහැ?

ඇත්ත...ඒකට විවිධ හේතු තියෙනවා. ජනාධිපතිතුමාගේ උපදෙස් මත මධ්‍යම පළාතෙ සහසර නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළා. මෙවර අය වැයෙනුත් ඒකට රුපියල් බිලියනයක මුදලක් දීල තියෙනවා. ලංගම, පෞද්ගලික බස් තරගය නතර කිරීමත් මේ වැඩ සටහනේ අරමුණක්. මේ තියෙන ප්‍රශ්නෙට තව බස් කොච්චර දැම්මත් වැඩක් නැහැ. තියෙන බස් නිසියාකාරව දුවවන්න ඕන.

ඔබ ප්‍රවාහන රාජ්‍ය ඇමැති හැටියටත් කාලයක් කටයුතු කළා. මේ අවධියේදී ලංගමට දේශපාලන පදනමින් සේවකයන් බඳවා ගැනීම, උසස්වීම් දීම නිසා තමයි ලංගම පාඩු වුණේ කියලත් කියනවා?

ලංගම නැවත ඇතිකරන පනත පාර්ලිමේන්තුවට ගෙනාවෙ මම. සේවක සේවිකාවන් බඳවා ගැනීමේදී පාර්ලිමේන්තුවේ අනුමැතිය ගන්න ඕන කියල ඒ පනතට ඇතුළත් කළේත් අපි. දේශපාලන පත්වීම්වලින් ලංගම පුරවන එක නතර කරන්නයි අපි එහෙම කළේ. අනිවාර්ය විශ්‍රාම ගැන්වීම යටතේ 3000ක් විතර පහුගිය කාලෙ අයින් කළා. ඒ අයින් කළේ අනවශ්‍ය සේවකයන්. ඒ ඉවත් කළ අය වෙනුවෙන් නැවත උසස්වීම් දෙනව කියලත් ආරංචියක් තියෙනවා. අර්ජුන රණතුංග ඇමතිවරයා ගැන මට ලොකු විශ්වාසයක් තියෙනවා. එතුමා මේක ගැන දැනුවත්වීමක් නැතුව ඇති. කොහොම වුණත් ඒ ඉවත් කළ අයගෙ තැන්වලට අලුතෙන් සේවකයන් දානවනම් ලංගමේ පරිහානිය එතන තමයි. මේකෙ අපකීර්තිය රජයටයි ඇමැතිතුමාටයි.

සේවකයන්ට වැටුප් ගෙවා ගන්නවත් බැරුව හිටපු ලංගම දැන් ලාබ ලබන තත්ත්වයට පත්වෙලා?

ලාභ ලැබුවේ සේවකයන් ඉවත් කිරීමෙන්. අනවශ්‍ය විදියට නැවත සේවකයන් බඳවා ගත්තොත් ආයෙත් පරණ තැනටම ලංගම යනවා. ලංගම තමයි ප්‍රවාහනයේ හදවත.

තමන්ගෙ ආණ්ඩුවේම වංචා දූෂණ හොයන්න ජනාධිපතිවරයා කොමිසන් සභාවක් පත්කරනවා. මේ ගැන ඔබ මොකද කියන්නෙ?

වංචාව, දූෂණයට විරුද්ධව තමයි ජනාධිපතිතුමා පෙනී ඉන්නෙ. ඒක ඉතා හොඳ තත්ත්වයක්. පැවැති ආණ්ඩුවෙ ඒවත් හොයන්න ඕන. වර්තමානයේ සිද්ධවෙන ඒවත් හොයන්න ඕන.

මීළඟ ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ විපක්ෂ සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙන්න ඕන කියලයි කියන්නෙ?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය ඒක. ජනාධිපතිතුමා හරි තීන්දුව ගනීවි. හදවතින්ම අපේ බලාපොරොත්තුව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාව 

ශ්‍රී.ල.නි.ප. පො‍හොට්ටු හවුල් කතා බිඳ වැටී ඇති බවට මාධ්‍ය වාර්තා පළවෙනවා?

ශ්‍රීලංකා නිදහස් පක්ෂය තමයි මේ රටේ ප්‍රධානතම දේශපාලන පක්ෂය. අදටත් මිනිස්සුන්ගෙ කටේ තියෙන්නෙ ශ්‍රීලංකා - යූඑන්පී කියලයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂයත් එක්ක ආණ්ඩු කරපු හින්දයි පොහොට්ටුව බිහිවුණේ. දැන් ශ්‍රී ලංකා එක ආණ්ඩුවෙන් අයින්වෙලා දැන් හැමෝම අහිංසක පාක්ෂිකයො වෙනුවෙන් එකතුවෙන්න ඕන. චන්ද්‍රිකා මැතිනිය, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන මහත්වරු ජනාධිපති වුණේ මේ පක්ෂය නිසා. අපි අ ද මෙතන ඉන්නෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිසා. කෘතගුණ සලකනව නම් පක්ෂය ආරක්ෂා කරන්න ඕන. අගමැතිවරු අයින්කරල පත්කරල, ආණ්ඩු විසුරුවල, ඇමතිවරු පත්කරල, ඇමතිවරු අයින්කරල ජනාධිපතිතුමා මේ වෙනුවෙන් විශාල කැපකිරීමක් කළා. ජනාධිපති තුමා පෞද්ගලිකව බැණුම් ඇහුවෙ මේ හින්දයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විපක්ෂය නියෝජනය කළත් ආණ්ඩු විරෝධී වැඩ සටහන්වලට සම්බන්ධ වෙන්නෙ නැහැ කියලත් චෝදනා එල්ලවෙනවා? ඒ භූමිකාව කරන්නෙත් පොහොට්ටුව බවයි කියන්නෙ.

අපට වඩා වැඩි ජනබලයක් ඒ පක්ෂයට තියෙනවා. මේ රටේ තීන්දු තීරණ ගන්න අපිට මේ තියෙන ජනබලය ප්‍රමාණවත්. ඉදිරියේදී අපිත් එක්ක තවත් ජනතාව එකතුවෙයි. රට බලාපොරොත්තු වෙන්නෙ ආදර්ශවත් පිරිසුදු දේශපාලනයක්. අපේ පක්ෂයට දර්ශනයක් ප්‍රතිපත්තියක් තියෙනවා.

හදිසි මහ මැතිවරණයක් ගැනත් මේ දිනවල කතා වෙනවා. එවැන්නකට ඉඩ තියෙනවද?

ව්‍යවස්ථාවට අනුව නීතියට අනුව එවැන්නකට ඉඩක් නැහැ. ශ්‍රීලංකා නිදහස් පක්ෂය ඕනම වෙලාවක ඕනම මැතිවරණයකට සූදානම්.

විධායක ජනාධිපතික්‍රමය අහෝසි කිරීමේ සාකච්ඡා මේ වෙනකොට ඇරඹිලා. 20 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන ජනතා විමුක්ති පෙරමුණ අනෙක් පක්ෂ සමඟ සාකච්ඡා කරනවා. මේ ගැන ඔබ මොකද කියන්නේ?

ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට අපේ පක්ෂයෙ මතය ලිඛිතව දුන්නා. එක්සත් ජාතික පක්ෂය ඔවුන්ගෙ මතය කියල නැහැ. 19ට ඡන්දෙ ‍ දුන්නෙ 20 වැනි සංශෝධනයෙන්. ඡන්ද ක්‍රමය වෙනස් වියයුතුයි කියලයි. අදත් අපි ඉන්නෙ විධායකය සංශෝධන විය යුතුයි කියන තැන. පළාත් සභාවල බලතලවලට හානියක් නොවන ආකාරයෙන් ඒව වෙන්න ඕන. ජනාධිපතිතුමාට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න බැහැ. ඒක පාර්ලිමේන්තුවටයි කරන්න පුළුවන්. රටට හානියක් නොවන සංශෝධනවලට අපි එකඟයි.

හරි වෙලාවට හරි කෙනාව ජනපති කරනවා
- ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග

පොදු ප්‍රවාහන සේවයෙන් ජනතාවට සේවයක් ලැබෙන්නෙ නැහැ කියල චෝදනා එල්ලවෙනවා. මේ ගැන මොකද කියන්නෙ?

පහුගිය කාලෙ පොදු ප්‍රවාහනයෙන් මහජනතාව ඈත්වුණා. පෞද්ගලික වාහනවලට මිනිස්සු හුරුවුණා. අවුරුදු 20කට ඉස්සර තිබුණ තැනමයි අදත් පොදු ප්‍රවාහනය තියෙන්නෙ. පොදු ප්‍රවාහනය අලුත් වෙන්න ඕන. අපේ අමාත්‍යාංශය ‍ වගේම රටත් මූල්‍ය අර්බුදයක ඉන්නෙ. මේ හින්ද ප්‍රවාහනය අලුත් කරන්න බාධා තියෙනවා. ලෝකෙ අනෙක් රටවල් පොදු ප්‍රවාහන අංශයෙන් ඉස්සරහට ගිහින්. පොදු ප්‍රවාහනයේදී කාන්තාවන්ට සිදුවෙච්ච හිරිහැර හින්ද ඔවුන් එතනින් අයින්වෙනවා. ලැජ්ජාව නිසා එය එළිපිට කියන්නෙ නැහැ. අපේ මාර්ග පද්ධතිය හොඳ වුණත් බස්රථවල තියෙන පහසුකම් අඩුයි. කාන්තාවන්ට ‍වෙනම දුම්රිය මැදිරි වෙන් කළා. ඒ වගේම බස් සේවාවක් පටන්ගන්නත් අදහසක් තියෙනවා. තව දුම්රිය මැදිරි අලුතෙන් එනවා. මේ ප්‍රශ්නයට ඉක්මණින් විසඳුම් හොයන්න අපි උත්සාහ කරනවා. දුම්රියයි, බස් එකයි ලාභ ලබන ව්‍යාපාර වෙන්න බැහැ.

කාන්තාවන් වෙනුවෙන් වෙන්වුණු දුම්රිය මැදිරි මීට පෙරත් තිබුණා. කාලයත් එක්ක ඒවා නැතිවුණා. දුම්රියට අලුතින් මැදිරි එක්නොකොට කාන්තාවන් වෙනුවෙන් මැදිරි වෙන් කිරීමෙන් මඟී තදබදය තවත් වැඩිවෙච්ච බවයි කියන්නෙ?

ඔය දේශපාලන කතා. 99%ක් කාන්තාවන් මේකට හොඳ කියනවා. අම්මගෙ, බිරිඳගෙ, සහෝදරියකගෙ, දුවෙක්ගෙ අගය දන්නෙ නැති අය මේක විවේචනය කරනවා. තව සතියක් දෙකක් යන කොට එක දුම්රිය මැදිරියක් මදිවෙයි. දැනටමත් 80%ක් මේ වැඩේ සාර්ථකයි. කෝච්චි පෙට්ටි වැඩිපුර තියෙනවනම් තව දාන්න පුළුවන්. කාන්තාවො වැඩි ප්‍රමාණයක් රැකියාවලට එන්නෙ පෞද්ගලික වාහනවලින්. මේ හින්ද මාර්ග තදබදයත් වැඩියි. කාන්තාවන්ට ආරක්ෂා සහිතව පහසුවට රැකියාවට එන්න දුම්රිය සේවය හැදුවොත් ඒ අය දුම්රියට පුරුදුවෙයි.

ජාතික ප්‍රවාහන සැලැස්මක් තිබුණත් මේ සැලසුම් ක්‍රියාත්මක වෙන්නෙ නැහැ. මේ හින්දයි පොදු ප්‍රවාහනයෙ ගැටලු ඇතිවෙන්නෙ?

ප්‍රතිපත්ති තිබුණට ඒව ක්‍රියාත්මක කරන්න ගැටලු තියෙනවා. 60%ක් බස්රථ පෞද්ගලික අංශයෙ. ලංගම 40%යි. ඒකාබද්ධ කාලසටහනක් ඇතිකරන්න ඕන. එතකොට බස් රේස් නවතියි. අනතුරු අඩුවෙයි. පොදු ප්‍රවාහනය 70%ක් කරන්න ඕන.

දුම්රිය නිසි වෙලාවට ධාවනය වෙන්නෙ නැහැ. පහසුකම් නැහැ. මේ තත්ත්වය නිසා මිනිස්සු දුම්රියෙන් ඈත් වෙනවා?

රේල්වේ ස්ටේෂන්වල අඩුපාඩු තියෙනවා. ස්ටේෂන් 7ක් දියුණු කරන්න පෞද්ගලික අංශය එක්ක සාකච්ඡා කරනවා. තව මාස හයක් ඇතුළත මේ කටයුතු වෙනවා. මගීන්ට පහසුකම් දෙනව වගේම මගීන්ගෙනුත් ඉටුවිය යුතු යුතුකම් තියෙනවා. අලුත්ම දුම්රිය මැදිරිවල බුලත් කෙල ගහල ඒව අපවිත්‍ර කරල තිබුණා. මේව පරිස්සම් කරගැනීම මහජනතාවගේ වගකීමක්.

වැටුප් ගෙවා ගන්න බැරුව හිටපු ලංගම මේ වෙනකොට යම් සතුටුදායක තත්ත්වයකට ඇවිත් තියෙනවා. මේ ගමන්මඟ ගැන ඔබ මොකද කියන්නෙ?

අපි තවමත් ලාභ ලබන තැනක නැහැ. අපේ තිබුණ ඉඩම් ටිකක් විකුණල තමයි අර්ථසාධක ගෙවල තියෙන්නෙ. මේ ආයතනය විශාල වශයෙන් දේශපාලනීකරණය වෙච්ච ආයතනයක්. අද වෙනකොට ඒ තත්ත්වයෙන් ටිකක් ඈත්වෙලා. අපි අලුතෙන් බස්ගේන්න වැඩ පිළිවෙළක් හදලයි තියෙන්නේ.

වන්දි මුදල් දීල සේවකයන් පිරිසක් ලංගමෙන් අයින්කළා. ඒ පුරප්පාඩුවලට වෙනත් සේවකයන් ආදේශ කරන බවටත් චෝදනා එල්ලවෙනවා. ?

බස් රියදුරන්, කොන්දොස්තර මහත්වරුන්ගෙ අඩුවක් තියෙනවා. මේ අඩුව නිසා බස් කිහිපයක් දුවන්නෙ නැහැ. බස් හෝදන්න කාන්තාවන් බඳවගත්තු යුගයක් තිබුණා. දැන් එහෙම නැහැ.

ඔබ ලංගම වෙනුවෙන් විශාල වැඩකොටසක් කරපු සභාපතිවරයා ඉවත් කළා කියලත් චෝදනා එල්ලවෙනවා?

මේ ආයතනය ඇතුළෙ දේශපාලනය කරන්න බැහැ. සභාපති වුණත් එහෙමයි. වෘත්තීය සමිතිවලට ඕන විදියට ලංගම දුවන්න බැහැ. අද මම සභාපති කරල තියෙන්නෙ රාජ්‍ය පරිපාලනේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්. එතුමා රට යන්නයි හැදුවෙ. මගෙ ඉල්ලීම නිසා එතුමා නැවතුණා. තව මාස කීපයකින් ලංගම තියෙන තැන ගැන අපි බලමු. ඉඩම් විකුණල ලාභ පෙන්නුවට වැඩක් නැහැ. වසර ගණනකින් ලංගමට බස් අරගෙන නැහැ. යටිතල පහසුකම් නැහැ. ලංගම රක්ෂණයෙන් විතරක් අපි මිලියන දෙකක ලාභයක් ලැබුවා. පරිගණක දාහක් ගත්ත. ඒවයෙ වැඩකරන්න මිනිස්සු නැහැ. අපි දැන් විගණනයක් කරනවා. ඒ අනුව ඉදිරි පරීක්ෂණ කරනවා.

අවුරුදු 5ක් තිස්සෙ දුම්රිය ආදේශක, අනියම්, තාවකාලික කම්කරුවන් ස්ථිර කරල නැහැ. මෙවර අයවැයෙනුත් ඊට ප්‍රතිපාදන නැහැ කියලයි කියන්නෙ?

සමහර අංශවල සේවක හිඟයක් තියෙනවා. සමහර අංශවල වැඩියි. ආයතනයට බරක් නොවෙන්නත් ඒ දරුවන්ට අසාධාරණයක් නොවෙන්නත් වැඩපිළිවෙළක් හදනවා.

සිවිල් ගුවන් සේවා අධිකාරියෙ විශ්‍රාම යා යුතු වයසෙ බොහෝ දෙනෙක් දිගින් දිගටම සේවා දිගු ලබා ගැනීම නිසා පසුපෙළක් හැදෙන්නෙ නැහැ. මේ නිසා සිවිල් ගුවන් සේවාවෙ අනාගතය අවදානම් කියලත් තියනවා?

මේ ආයතනයෙ දෙවන පෙළක් කවදාවත් හදල නැහැ. දෙවන පෙළ ශක්තිමත් කරන ක්‍රමවේදයක් හදන්න අධිකාරියෙ සභාපතිවරයට උපදෙස් දුන්නා. අපිට තව මාස 8යි තියෙන්නෙ. මේ කාලෙ කරන්න පුළුවන් ටික කරනවා.

විවිධ පුහුණුවීම් සඳහා සිවිල් ගුවන්සේවා අධිකාරිය නාස්තිකාර වියදම් කරන බව, පහුගිය කාලය පුරා විගණන අංශ පෙන්වල තියෙනවා. මේ සම්බන්ධයෙන් ගන්න ක්‍රියාමාර්ග මොනවද?

අවශ්‍යම පුහුණුවීම්වලට විතරයි මීට පස්සෙ අවසර දෙන්නෙ. අධිකාරියෙ නිලධාරීන්ගෙ යුතුකමක් තියෙනව හරි දේවල් විතරක් නිර්දේශ කරන්න. අන්තර් ජාලයෙන් පුහුණුවීම් හොයාගෙන ඒවයෙන් ඉන්විටේෂන් ගෙන්ව ගන්නවා. ඊට පස්සෙ ඒවට යනවා. මේ තත්ත්වය ගැන අපි අවධානයෙන් ඉන්නවා.

මීළඟ මැතිවරණය බොහෝ විට ජනාධිපතිවරණය විය හැකියි. ඔබ දැනට දේශපාලන පක්ෂයක් නියෝජනය කරන්නෙ නැහැ. ජනාධිපතිවරණයෙදි ඔබේ කඳවුර මොකක්ද?

මම හැමදාම හිටගත්තෙ හරිපැත්තෙ. මේ ආණ්ඩුව පවත්වාගෙන යාමෙ ප්‍රධානියෙක් මම. 2015 දී අපිට ජනතාව බලය දුන්නෙ එකතුවෙලා රට කරන්න. කිසිම ජනපදනමක් නැති දේශපාලන අනාථයො ඒ වැඩ පිළිවෙළ විනාශ කළා. ඒකෙන් රටේ සංවර්ධනය අඩාල වුණා. හරි වෙලාවට, හරි පුද්ගලයෙක් එක්ක අපි ජනාධිපතිවරණය ජය ගන්නවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජනාධිපති තුමා ඉදිරි පත්වෙන බව කියනවා. පොහොට්ටුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහත්තය, එක්සත් ජාතික පක්ෂයෙන් රනිල්, සජිත්, කරූ, පාඨලී වගේ නම් ගොඩක් තියෙනවා. මේ අය ගැන ඔබ මොකද කියන්නෙ?

මම හරි වෙලාවට හරි කෙනා තෝරගන්නවා. ඔය කියන අය එයිද දන්නෙත් නැහැ. මේ පාර ජනාධිපතිවරණයට මේ ලොකුවට නම් කියන කිසි කෙනෙක් එන්නෙ නැහැ. හරි කෙනෙක් ඇවිල්ල ජනාධිපතිත් වෙයි. රටේ වෙනසකුත් කරයි.

ක්‍රිකට් නිලවරණයෙදි ඔබේ පාර්ශ්වය පරාජයට පත්වුණා?

ක්‍රිකට් මෙච්චර පහතට වැටිල තියෙද්දි, ක්‍රිකට් තරග පාවාදී‍ම් වෙලා තියෙද්දි මේ කණ්ඩායමටම ඡන්දෙ දෙන්නෙ ක්‍රිකට් විනාශ කරන කට්ටිය. ක්‍රීඩා සමාජ, ඡන්දෙ දෙන අය මේකට වගකියන්න ඕන. මේ අය ද්‍රෝහියො. මම ඉදිරියෙදි ඔය නම් එළියට දානවා. ඉදිරියෙදි පනත් වෙනස් වෙන්න ඕන. ක්‍රීඩා ඇමැති තුමා ඒ ගැන දන්නවා. ඔය ඡන්ද ක්‍රමය වෙනස් නොවුණොත් ක්‍රිකට් හදන්න බැහැ.

නව අදහස දක්වන්න