දින 52 ආණ්ඩුවේදී ආයෝජන අහිමිවීම උපරිමව සිදු වුණා | දිනමිණ

දින 52 ආණ්ඩුවේදී ආයෝජන අහිමිවීම උපරිමව සිදු වුණා

මහින්ද රාජපක්ෂ මහතාගේ දින පනස් දෙකේ කුමන්ත්‍රණ ආණ්ඩුව තිබියදී රුපියල අවප්‍රමාණයවීම, ඩොලර් රටින් පිටවීම සහ ආයෝජන අහිමිවීම උපරිමයෙන් සිදු වූ බව ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් කැබිනට් නොවන ඇමැති හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි.

එම කාලයේ දී ඩොලර් මිලියන 487ක් රටින් පිට වූ බවත්, රුපියල සියයට 7.58ක් අවප්‍රමාණය වූ බවත් පවසන ඇමැතිවරයා පසුගිය ඔක්තෝම්බර් සහ නොවැම්බර් මාසවලදී විදේශ ආයෝජනවලින් ඩොලර් මිලියන 96.9ක් ආපසු රැගෙන ගොස් ඇතැයිද පෙන්වා දුන්නේය.

ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී මේ බව සඳහන් කළේ 2019 අයවැය විවාදයට එක් වෙමිනි.

අපි දේශපාලන පක්ෂ භේදයකින් තොරව, මහ බැංකුව ඉදිරිපත් කරපු වාර්තාව සලකා බැලුවොත්, ඒ දවස් 52 කුමන්ත්‍රණය නිසා ආර්ථිකයට සිදු වුණු හානිය ඒ වාර්තාවේ පැහැදිලි කරලා තිබෙනවා. ඔවුන්ගේ website එකේ ඒ තොරතුරු තිබෙනවා.

අපි බොහොම අමාරුවෙන් තමයි Moody’s එකේ BI, S&P එකේ B Plus, fitch එකේ B plus හැටියට අපේ ශ්‍රේණිගත කිරීමේ අගය තියාගෙන හිටියේ. ඔබතුමන්ලා ඒ කුමන්ත්‍රණය කරලා දවස් කිහිපයකින් අපේ රට B 2, B සහ B කියන ආකාරයට එම ශ්‍රේණිගත කිරීම්වලින් පහළට දැම්මා. ඒ නිසා ඒ දවස් 52 දී ආර්ථික අභියෝගය අති විශාල ලෙස තව දුරටත් බැරෑරුම් වුණා.

මහින්ද රාජපක්ෂ මන්ත්‍රීතුමනි, කුමන්ත්‍රණය සිදු වූ ඒ දවස් 52 කාලයේ මුදල් ඇමැති හැටියට ඔබතුමාට ඩොලර් එකක්වත් පිට රටින් ලබා ගන්න බැරි වුණා. ඔබතුමා දැන් මේ සභාවෙන් එළියට යනවා නේ; ඔබතුමා යනවා. ඒ දවස් 52 කාලය තුළ ඔබතුමාට එක ඩොලරයක්වත් මේ රටට ලබා ගන්න බැරි වුණා. ඒ කියන්නේ, ඔබතුමා අපේ විශ්වාසනීයත්වය විනාශ කළා. ඒ නිසා තමයි අපේ රට මේ Credit ratings වල පහළට දැම්මේ. මහින්ද රාජපක්ෂ මන්ත්‍රීතුමනි, ඔබතුමා ගැන කථා කරනකොට ඔබතුමා යනවා. ඔබතුමාට ඒවා අහගෙන ඉන්න ශක්තියක් නැහැ. ඒ ගැන අපට කනගාටුයි.

පසුගිය අවුරුද්ද තුළ ඩොලර් මිලියන 893.6ක් ශ්‍රී ලංකාවෙන් එළියට ගිහින් තිබෙනවා. මේ ඩොලර් මිලියන 893.6න්, ඩොලර් මිලියන 487ක් පිටතට ගියේ මේ අයගේ කුමන්ත්‍රණය සිදු වූ ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර් කියන කාලයේයි. ඒ සියයට 54ක්. මාස නවයක කාලය තුළ අපේ රටින් පිටතට ගිහින් තිබෙන්නේ සියයට 46යි. මාස තුනක් තුළ ගිහින් තිබෙනවා සියයට 54ක්.

රුපියල අවප්‍රමාණ වීමේ වේගය පිළිබඳ මහ බැංකුව මේ වාර්තාවේ ඉතා පැහැදිලිව සඳහන් කර ති‍ෙබනවා. ඔබතුමාට ඒ තොරතුරු download කරගෙන බලන්න පුළුවන්.

මේවා දත්ත. මේවා වෙනස් කරන්න බන්දුල ගුණවර්ධන මන්ත්‍රීතුමාටත්, මටත් බැහැ. මෙහි January to December දක්වා තොරතුරු ඇතුළත් කර තිබෙනවා. 2018 අවුරුද්දේ සියයට 16.36කින් රුපියල අවප්‍රමාණ වී තිබෙනවා.

ඒකෙන් සියයට 46.3ක් අවප්‍රමාණ වෙලා තිබෙන්නේ බන්දුල ගුණවර්ධනලා, මහින්ද රාජපක්ෂලා කුමන්ත්‍රණය කරපු කාලයේයි. ඒ සියයට 7.58ක්. (බාධා කිරීම්) මේවා වැරැදි නම් මහ බැංකුවට අභියෝග කරන්න. මම කියවන්නේ මහ බැංකුවෙන් ඉදිරිපත් කර තිබෙන වාර්තාව. මේක මම හදපු වාර්තාවක් නොවෙයි. මේ මහ බැංකුවේ වාර්තාව. ඔබතුමා මේ වාර්තාව පිළිගන්නේ නැත්නම්, මහ බැංකුවේ නිලධාරීන් මේ සභා ගැබෙන් එළියේ ඇති ඒ නිලධාරීන්ට ඒ කරුණ ඉදිරිපත් කරන්න පුළුවන්.

මම තව කරුණක් කියන්නම්. ඒ වාගේම ඔබතුමා මහ ලොකුවට, උජාරුවට කිවුවා, මේ ගොල්ලන්ගේ කාලයේ විදේශිකයන්ගේ විශ්වාසය කඩා වැටිලා ශ්‍රී ලංකාවේ භාණ්ඩාගාර බිල්පත්වල, බැඳුම්කරවල ආයෝජනය කරලා තිබුණු මුදල් එළියට අරගෙන ගියා කියලා. මම කියන්නම් ඒකේ ඇත්ත කථාව. Then, Table 3 of this Report Shows the foreign investments in the Secondary market of CSE මම ඉස්සෙල්ලා කිවුවේ Government Securities market එක ගැනයි. දැන් කියන්නේ Colombo Stock Exchange එක ගැනයි. ඔක්කොම ඩොලර් මිලියන 132. 6ක් එළියට ගිහින් තිබෙනවා. ඒකෙන් ඩොලර් මිලියන 96.9ක්, එහෙම නැත්නම් සියයට 73ක් එළියට ගිහින් තිබෙන්නේ පසුගිය ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර් කියන මාසවලදී.

එම නිසා මීට වඩා ඒ ගැන කතා කරන්න අවශ්‍යතාවක් නැහැ. කවුරු හරි කියනවා නම් මාස තුනේ කුමන්ත්‍රණය නිසා රටට අවාසියක් වුණේ නැහැ කියලා, එහෙම නම් මේ දත්තවලින් ඉදිරිපත් කරන දේත් අපිට විශ්වාස කරන්න බැහැ.

ඊළඟට කිවුවා, ජීවිතේට සියයට 7ට වඩා වැඩි පොලියට International Sovereign Bonds වලින් සල්ලි අරගෙන නැහැ කියලා. බන්දුල ගුණවර්ධන මන්ත්‍රීතුමනි, ඔබතුමා මේ ගැන හොඳට දන්නවා. 2011, 2012 කාලයේ, යුද්ධයෙන් පස්සේ කාලය ගැන මම කියන්නේ. යුද්ධයට කලින් 2007 දී සියයට 8. 75 පොලියට ගත්ත ඒවා ගැන අපි කථා කරන්නේ නැහැ. මම කියන්නේ මේ මහා ලොකු සංවර්ධනයක් වුණාය කියන කාලය ගැනයි. NSB එක හරහා මේ මුදල ගන්න ලෑස්ති වුණු බව ඔබතුමාට හොඳට මතකයි. ඒ වෙලාවේ NSB එකේ හිටපු සභාපතිවරයා කිවුවා, ‘මට මේක කරන්න බැහැ, පොලිය සියයට 8.75යි, fees add කළාම සියයට 9යි.’ කියලා. අවසානයේ දී මොකක්ද කළේ? ඒ හිටපු සභාපති මාරු කරලා, ඒ ගොල්ලන්ගේ දේශපාලන වුවමනාව වෙනුවෙන් සභාපති කෙනෙක් ගෙනැල්ලා, සියයට 9 ගණනේ NSB එක හරහා ඩොලර් මිලියන 750ක් ගත්තා. ඒ ඩොලර් මිලියන 750 අපට ගිය අවුරුද්දේ ගෙවන්න සිද්ධ වුණා. ඒ වාගේ දේවල් කරලා තමයි මෙතැනට ඇවිල්ලා ජනතාව මුළා කරන්න උත්සාහ කළේ. ඔබතුමා කියනවා ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් නැහැ කියලා. බන්දුල ගුණවර්ධන මන්ත්‍රීතුමනි, ඔබතුමා මේ වාගේ ගල් පැළෙන බොරු කියන්න එපා.

ශ්‍රී ලංකාවේ මහා භාණ්ඩාගාරයෙන් ඉදිරිපත් කරපු මේ Data මම හැන්සාඩ්ගත කරනවා.

2004 වර්ෂයේ, ප්‍රාථමික ගිණුමේ තිබුණේ අතිරික්තයක් නොවෙයි, හිඟයක්. ඒ හිඟය රුපියල් බිලියන 155යි. ඊළඟට, 2015 වර්ෂයේ ප්‍රාථමික ගිණුමේ හිඟය බිලියන 302යි. අවුරුදු පනස් ගණනකට පස්සේ පළමු වතාවට 2017 වර්ෂයේ දී ප්‍රාථමික ගිණුමේ බිලියන 2ක අතිරික්තයක් තිබුණා. ඊට පස්සේ 2018 වර්ෂයේ දී ප්‍රාථමික ගිණුමේ බිලියන 91ක අතිරික්තයක් තිබුණා. මේ අවුරුද්දේ ප්‍රාථමික ගිණුමේ අතිරික්තය විධියට අපි බිලියන 228ක් බලාපො‍රොත්තු වෙනවා. සමහරුන්ට තේරෙන්නේ නැහැ ප්‍රාථමික ගිණුම කියන්නේ මොකක්ද, ඇයි මේක වැදගත් වෙන්නේ කියලා. ඒ ගැන මම ඉතාම කෙටියෙන් පැහැදිලි කරන්නම්. අපි එදිනෙදා වියදම්වල පොලිය මේකෙන් අයින් කරනවා. සමහර වෙලාවට බන්දුල ගුණවර්ධන හිටපු ඇමැතිවරයා ගත්ත ණයේ පොලිය අපට ගෙවන්න වෙනවා. එතුමා සියයට 9ක පොලියට මුදල් ගත්තා නම්, අපි සියයට 9 පොලිය ගෙවන්න ඕනෑ. අපට වෙලා තිබෙන්නේ ඒකයි. ඒක අපේ වරදක් නොවෙයි. එතුමන්ලා ගත්ත ණය අපට ගෙවන්න‍ වෙලා තිබෙනවා. ඒ ණයවලට සියයට 5ක, 10ක පොලිය ගෙවන්න අපට සිද්ධ වෙලා තිබෙනවා. ඒ නිසා තමයි ප්‍රාථමික ගිණුම බලනකොට බලන්නේ, කාර්යක්ෂමව කළමනාකරණය කරගන්න එවකට ඉන්න ආණ්ඩුවට පුළුවන් ද කියලා. ඒ නිසා තමයි ප්‍රාථමික ගිණුම වැදගත් වෙන්නේ.

මගේ උගත් මිත්‍රයා කිවුවා, රුපියල් බිලියන 90ක් ගෙවන්නේ නැතිව තිබුණා කියලා. මම ඔබතුමාට ඒ ගැන කියන්නම්. ඉරාන් වික්‍රමරත්න රාජ්‍ය ඇමැතිවරයා කිවුවා වාගේ හැම අවුරුද්දේම ඒ ගෙවීම පස්සට යනවා. ඒක නවත්වන්න බැහැ දෙසැම්බර් මාසයේ 30 වැනි දා බිලක් ආවා නම්, අපට දෙසැම්බර් මාසයේ 31 වැනි දා ඒක ගෙවන්න බැහැ. ඒක Practically කරන්න බැහැ. නමුත්, ඊළඟ මාස දෙකේ, තුනේ ඒ බිල ගෙවනවා. මම ලේකම්වරයාගෙන් දැන් ඇහුවාම එතුමා කිවුවා, ‘ඔව්, රුපියල් බිලියන 90ක් නොවෙයි, බිලියන 99ක් තිබුණා. ඒ බිලියන 99න් දැනට බිලියන 70ක් ගෙවලා තිබෙනවා. ඉතිරි ටිකත් වහාම ගෙවනවා’ කියලා. හැබැයි, බන්දුල ගුණවර්ධන මහතා මෙතැන දී සඳහන් නොකරපු තව දෙයක් එතුමා කිවුවා. ඒ තමයි, 2011 වර්ෂයේ ඉඳලා මේ වාගේ ඉතිරි වෙච්ච මුදල් මේ කට්ටිය ගෙවලා නැහැ කියන එක. තමුන්නාන්සේලා ඒවා ගෙවුවේ නැහැ. මම ඒක වගකීමෙන් කියනවා. ඒ ගැන මම කැබිනට් මණ්ඩලයත් දැනුවත් කරලා තිබෙනවා. ඔබතුමා මෙතැන ‘බබා උක්කුං’ දැම්මාට 2011, 2012, 2013 සහ 2014 කියන අවුරුදු 4ට රුපියල් බිලියන 138ක් ගෙවන්නේ නැතිව අපේ බිලට දාලා තිබුණා. 2015 දී අපේ ආණ්ඩුව ආවාම, ඔබතුමන්ලා ඒ නොගෙවපු මුදල් අපට ගෙවන්න සිද්ධ වුණා.

ඒ රුපියල් බිලියන 138න් ආයතන 17ක EPF එක ගෙවලා නැහැ (බාධා කිරීම්) EPF එක ගෙවුවේ නැහැ. SLTB එකේ EPF එක ගෙවුවේ නැති හාදයෝ තමයි මේ සභාවට ඇවිල්ලා දැන් කෑ කෝ ගහන්නේ.

‘සුවසැරිය’ ගිලන් රථ සේවයේ අපේ දරුවෝ 1,500ක් විතර සේවය කරනවා. ඒ ගොල්ලන් ඉතාමත්ම ලොකු කැපවීමකින් එහි වැඩ කරනවා. එක දවසකට 450 දෙනෙක් පමණ ඉස්පිරිතාලෙට ගෙන යනවා. ‍ මම ඒ සියලු දෙනාම වෙනුවෙන් ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා. රාජිත සේනාරත්න ඇමැතිවරයා අපට බොහෝ උදවු කරනවා. එතුමාටත්, මංගල ඇමැතිවරයාටත් ස්තුතිවන්ත වෙනවා. මේක අපේ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වෙන්නේ. මංගල ඇමැතිවරයා මෙවර අය වැයෙන් රුපියල් මිලියන 2,000ක් දීලා තිබෙනවා, එන අවුරුද්දේ ‘සුවසැරිය - 1990’ ශ්‍රී ශ්‍රී ලංකාවේ හැම තැනම පවත්වාගෙන යන්න. ඊට අමතරව මුදල් ඇමැතිවරයා අපට රුපියල් මිලියන 600ක් දීලා තිබෙනවා. ‘සුවසැරිය’ ගිලන් රථ සේවය කරන අයගේ අවශ්‍යතාවන් සපුරා ගන්න. මේ පුද්ගලයන්ට නවතින්න තැනක් නැහැ. සමහර වෙලාවට ගස් යට, එහෙම නැත්නම් ambulance එක ඇතුළේ ඉන්නේ.

නියෝජ්‍ය කථානායකතුමනි, මේ අය වැයේ හරය මොකක්ද, අපි මේකෙන් කරන්න හදන්නේ මොකක්ද කියලා අපි බලන්න ඕනෑ. අපි සාම්ප්‍රදායික ක්‍රමයෙන් එහාට ගිහිල්ලා හිතන්න ඕනෑ. රජයේ රැකියාවන්ම බලාපොරොත්තු වෙලා ඉන්නේ නැතිව, කටට යමක් වැටෙන කල් බලාගෙන ඉන්නේ නැතිව අපි වෙනස් විධියකට අය-වැය දිහා බලන්න ඕනෑ. Electric Cars වල බද්ද පොඩ්ඩක් එහාට මෙහාට කරපු එක ගැන, එහෙම නැත්නම් tax එක එහාට මෙහාට කරපු එක ගැන නොවෙයි, ඊට වඩා වෙනස් විධියකට හිතන්නට ඕනෑ. බඩ ගැන හිතනවාට වඩා; පොහොර සහනාධාරය ගැන හිතනවාට වඩා; හැමදාම අය-වැය ළං වෙන කොට බොහෝ දෙනා මාධ්‍යයෙන් අහන දේට වඩා දෙයක් ගැන අපි හිතන්න ඕනෑ. අපේ එක්සත් ජාතික පෙරමුණේ දර්ශනය තමයි අපි මෙතැන ඉදිරිපත් කරලා තිබෙන්නේ.

උදාහරණයක් විධියට කුරුඳු ගන්නකෝ. ලෝකයේ කුරුඳුවලින් සියයට 80ක් නිෂ්පාදනය කරන්නේ අපේ රටේ. මෙක්සිකෝවට, තවත් රටවලට අපේ කුරුඳු යවනවා. හැමෝම කියනවා, ශ්‍රී ලංකාවේ කුරුඳු තමයි ලෝකයේ තිබෙන හොඳම කුරුඳු කියලා. හැබැයි, සාම්ප්‍රදායික ක්‍රමයම පාවිච්චි කරලා - කුරුඳු කෝටු තලලා - කුරුඳු අරගෙන තමයි පිට රට යවන්නේ.

ලෝකයේ කථා කරනකොට nutraceuticals ගැන කියනවා. කුරුඳු හරහා ඒවා කරන්නේ කොහොමද? සාම්ප්‍රදායික ක්‍රමයෙන් එළියට ගිහින් අලුත් විධියට හිතලා, අලුත් නිෂ්පාදනයන් කරලා ලෝකයට ගෙන යන්න අවස්ථාව තමයි මේ තුළින් ඇති කරන්නේ. නියෝජ්‍ය කථානායකතුමනි, මෙන්න මේක තමයි මේ ඉදිරිපත් කරපු අය වැයේ හරය. උදාහරණයක් හැටියට ‘My Future’ කියන ණය යෝජනා ක්‍රමය ගැන මා කියන්නම්. මෙහි දී මුදල් ඇමැතිවරයා කියනවා, ‘අපොස උසස් පෙළ සඳහා පෙනී සිටින ශිෂ්‍යයන් 300,000න් රජයේ විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන්නේ 30,000කට ආසන්න ශිෂ්‍ය සංඛ්‍යාවක් පමණි. රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලවල මූලික උපාධිය හැදෑරීම සඳහා ශිෂ්‍යයන්ට හැකිවන පරිදි ‘My Future’ ණය යෝජනා ක්‍රමය ‘Enterprise Sri Lanka’ යටතේ අප හඳුන්වා දෙනු ලබනවා. ශිෂ්‍යයකුට උපරිම රුපියල් මිලියන 1.1ක පොලී රහිත ණයක් ලබා ගත හැකි වන අතර, උපාධිය ලබා අවුරුදු 2කට පසු ආපසු ගෙවීම ආරම්භ කර වසර 12ක් තුළ ගෙවා අවසන් කළ හැකියි’ කියලා. ඇත්ත කථාව මෙයයි, අපේ public day එකට මවුපියන් ආවාම ඔවුන් කියනවා, ‘මගේ දුවට, මගේ පුතාට රැකියාවක් ඕනෑ’ යි කියලා. ඔවුන්ගේ CV එක බැලුවාම ඔක්කොම අයට Degree තිබෙනවා. නමුත් බොහෝ විට ඒගොල්ලන්ට මොන degree ද තිබෙන්නේ? බොහෝ විට බෞද්ධ සංස්කෘතිය, සිංහල, ජනමාධ්‍ය, නැටුම් කලාව හා දේශපාලන විද්‍යාව උපාධි තමයි තිබෙන්නේ. දැන් අපි කල්පනා කරන්න ඕනෑ, අපි අලුත් අලුත් දෑ තනන රටක් නම්, අපි අලුත් අලුත් දෑ නම් තනන්න ඕනෑ, ඒ අලුත් අලුත් දේවල් හදන්න අපට පුළුවන්කමක් තිබෙනවාද කියලා. අපේ විශ්වවිද්‍යාලවලින්, පාසල්වලින් එළියට එන දරුවන්ට ඒ හැකියාව ලබා දීලා තිබෙනවාද? අපි මැදි ආදායම් උගුලේ middle – income trap එකේ හිරවෙලා ඉන්නවා. අපි ඒ ගැන කථා කරනවා. මා එය පිළිගන්නවා. එයට දේශපාලන භේදයක් නැහැ. මැදි ආදායම් උගුලෙන් එළියට එන්න නම්, අලුත් දේවල් හදන්න අපට පුළුවන් වෙන්න ඕනෑ. එහෙම නැතුව අපට ඉදිරියට එන්න ක්‍රමයක් නැහැ. ඒ නිසා තමයි අපේ බලාපොරොත්තුව, දැනුම මත පදනම් වුණු, ඉහළ තරගකාරීත්වයක් ඇති සමාජ වෙළෙඳ පොළ ආර්ථිකයක් නිර්මාණය කළේ. මේ ළඟ දී අපේ ආර්ථික විද්‍යාඥයන් සහ හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාඥයන් එකතුවෙලා මේ රටේ ගැටලු පිළිබඳ විශාල පර්යේෂණයක් කළා. ඒකෙන් දැනගත් එක කාරණාවක් තමයි, අපේ රටේ නිර්මාණය කරන දේවලින්.

අපේ වුවමනාව තමයි, මේ දරුවන් STEM Education - Science, Technology, Engineering and Mathematics – පැත්තට ගෙන යන එක. එතකොට අපට දිරිගැන්වීමක් කරන්න පුළුවන්. මන්ත්‍රීතුමා කියන කාරණයට සියයට 100ක් මා එකඟ වෙනවා. ඒ විෂයයන් වෙතට යනවා නම් ඒ ණය ගැනීම සඳහා ප්‍රමුඛතාවක් දෙන්න පුළුවන්. දැන් බලන්න, SLIT, NSBM, NIBM හරහා Software engineering, electronics engineering කරන්න පුළුවන්. ළමයින්ට ඒ හැකියාව තිබෙනවා. නමුත් මුදල් ප්‍රශ්නයි තිබෙන්නේ. අපි උදාහරණයක් ගනිමු. ගොවි මහත්මයකුගේ ඉඩම පුරන්වෙලායි තිබෙන්නේ. ඒ ගොවි මහත්මයා ණයවෙලායි තිබෙන්නේ. ඒ ගොවි මහත්මයාට පුතාලා තුන්දෙනෙක් ඉන්නවා. පළමුවන පුතා මොකක්වත් රැකියාවක් කරන්නේ නැහැ. ඔහු තාත්තාට උදවු කරනවා. දෙවන පුතාත් අයියාට උදවු කරනවා; තාත්තාට උදවු කරනවා. බොහෝ විට තුන්වන පුතා තමයි විශ්වවිද්‍යාලයට යන්නේ, අයියලා දෙදෙනා ඉතුරු කරපු සල්ලිවලින්, ඒක තමයි මේ රටේ ඇත්ත කථාව. ඒක තමයි අපි වෙනස් කරන්න හදන්නේ, මන්ත්‍රීතුමනි. එතකොට ඒ කුඹුර අයිති ගොවි මහත්මයාට ප්‍රශ්නයක් නැහැ. ඔහුට සල්ලි හොයන්න අවශ්‍යතාවක් නැහැ. ඔහුට පුළුවන් තමන්ගේ පුතාට කියන්න, ‘ගිරාඳුරුකෝට්ටේ බැංකුවට ගිහින් ලක්ෂ 11ක ණය මුදල ගන්න’ කියා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් නිර්දේශ කළ ඕනෑම උසස් අධ්‍යාපන ආයතනයකට ඒ රුපියල් ලක්ෂ 11 අපි කෙලින්ම transfer කරනවා. මේ ගැන හිතන්න. Degree එක ලබා අවුරුදු දෙකක් යන තුරු කිසිම මුදලක් ගෙවන්න ඕනෑ නැහැ. ඊට පස්සේ අවුරුදු 12ක් තිස්සේ තමයි ඒ ණය ගෙවන්න වෙන්නේ. ඇත්ත වශයෙන්ම මෙවර Budget එකේ තිබෙන ඉතාම වැදගත් යෝජනාවක් හැටියට මම මේක දකිනවා. අපේ ඉලක්කයට යන්න මෙවැනි ආයෝජන අවශ්‍යයි. නියෝජ්‍ය කථානායකතුමනි, සෑම දරුවකු සඳහාම, ‘වසර 13ක අධ්‍යාපනය තහවුරු කිරීම’ සඳහා වන අපේ රජයේ වැඩසටහන පිළිබඳ අපි දන්නවා. O/L කළාට පස්සේ, උසස් අධ්‍යාපනයේ දී විෂයයන් 26ක් තිබෙනවා. ඒ අතරින් අපට Technical Subjects කරන්න පුළුවන්. මොකද, අපේ Skills set එක සම්පූර්ණයෙන්ම Reorient වෙන්න ඕනෑ. අපේ skills set එක reorient කරන්නේ නැතිව, මැදි ආදායම් උගුලෙන් එළියට එන්න අපට බැහැ. දේශපාලන වේදිකාවල කවුරු කොයි තරම් කෑ ගැහුවත්, ඒ වැඩේ කරන්න අපට බැහැ. මම හොඳ උදාහරණයක් කියන්නම්. අපේ රටේ නිෂ්පාදනය කරන භාණ්ඩ පැසිය ගත්තොත්; අපනයන පැසිය අරගෙන බැලුවොත්, ඒවා ලෝකයේ රටවලින් සියයට 86 -90 අතර ප්‍රමාණයකට නිෂ්පාදනය කරන්න පුළුවන් බව අපට පෙනෙනවා. මම මේ කියන කථාව මොකක්ද කියා හිතා බලන්න. ඒ කියන්නේ මේකයි. කෝ, අපේ තරගකාරීත්වය? එහෙම නම් අපට තරග කරන්න වෙන්නේ අඩු කුලියටයි. එහෙම නැත්නම් අඩු පඩියටයි; Low wages. අපට දැන් ඒක කරන්න බැහැ. මොකද, අපි මැදි ආදායම් ලබන රටක්. මැදි ආදායම් ලබන රටක මිනිසුන් දවසට රුපියල් 500ක පඩියකට වැඩ කරන්නේ නැහැ. අද තේ දලු ‍නෙළන ‍ කාන්තාවනුත් රුපියල් 1,000ක අවම වැටුපක් ඉල්ලනවා. අපේ නිෂ්පාදන අනෙක් රටවලටත් හදන්න පුළුවන් නම්, මොකද කරන්නේ? ඒ ආයෝජකයෝ වෙනත් රටකට ගිහින් කියනවා, ‘එහෙම නම් ඔයාලා මට මේක හදලා දෙන්න’ කියා.

බංග්ලාදේශය මේ තරම් වේගයෙන් ඉස්සරහට යන්නේ ඇයි? ඒ රට එතරම් වේගයෙන් ඉස්සරහට යන්නේ, ඉස්සර අපේ රටේ කළ නිෂ්පාදන ඒ වාගේ රටවලට දීලා අඩු පඩියට කරවා ගන්න නිසායි. ඒ නිසා, සංකීර්ණ භාණ්ඩ නිෂ්පාදනය කරන්න අපට පුළුවන් වෙන්න ඕනෑ. අපි නිෂ්පාදනය කරන්නේ, සරල භාණ්ඩයි. සරල භාණ්ඩ නිෂ්පාදනය කරන්න බොහෝ දෙනකුට පුළුවන්. නමුත්, සංකීර්ණ භාණ්ඩ නිෂ්පාදනය කරන්න හැමෝටම බැහැ. හැබැයි, සංකීර්ණ භාණ්ඩ නිෂ්පාදනය නොකරන තාක් කල් අපි ඉදිරියට යන්නේ නැහැ. කුමාරතුංග මුනිදාස ශූරීන් කිවුවා නේ, ‘අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී’ කියා. එදා වාගේම අදටත් එය බලපානවා. එදාට වඩා අදට එය බලපානවා. මොකද, අපි තව දුරටත් තරග කරන්නේ ඉන්දියාව, බංග්ලාදේශය හා පාකිස්තානය සමඟ නොවෙයි. අපි තරග කරන්නේ, ඊශ්‍රායලය, දකුණු කොරියාව, අයර්ලන්තය වැනි රටවල් සමඟයි. එහෙම නම්, අපි ඉතාම ඕනෑකමින් මේ තීරණය ගත යුතුව තිබෙනවා. අලුත් දේවල් හදන්න දරුවෝ දිරි ගන්වන්න අවශ්‍ය අඩිතාලම දමන්න අපි නැඹුරු වෙන්න ඕනෑ ඒ නිසායි. ඒ නිසාම නවෝත්පාදනවලට ඉතාම ‍හොඳ දිරි ගැන්වීම් මෙවර Budget එකෙන් ලබා දීලා තිබෙනවා. ඒක තමයි මංගල සමරවීර ඇමැතිවරයා හාවර්ඩ්, MIT වැනි විශ්වවිද්‍යාල ගැන කථා කළේ. මම Postgraduate එකෙන් පස්සේ හාවර්ඩ් හා MIT විශ්වවිද්‍යාලවලට ගියා. වෙන රටවල දරුවෝ ඒ ආණ්ඩුවල Scholarships වලින් ඒවාට එනවා මම දැක තිබෙනවා. එහෙම ඇවිල්ලා ඒ කට්ටිය අවුරුදු 4ක්, 5ක් එතැන ඉඳලා, නැවත තමන්ගේ රටවලට යනවා. ඒ හරහා අලුත් දැනුම ශ්‍රී ලංකාවට ගෙනෙන්නෙ අපටත් පුළුවන්. සමහරු එය විවේචනය කළාට, ඒක හොඳ යෝජනාවක් කියා මම විශ්වාස කරනවා. නියෝජ්‍ය කථානායකතුමනි, මම එය ටිකක් විග්‍රහ කරන්නම්, මොකද, එය වැදගත් යෝජනාවක්. අද අපි ඉන්නේ පාරිභෝගිකයා විසින් මෙහෙයවන නිෂ්පාදන ජාලයකයි.

අපි උදාහරණයක් ගනිමු. මොකක් හෝ අලුත් දෙයකට රුපියල් මිලියන 10ක් ආයෝජනය කළාය කියා අපි සිතමු. නියෝජ්‍ය කථානායකතුමනි, එහෙම නම් ඒ ආයෝජනය කළ රුපියල් මිලියන 10ක මුදල, රුපියල් මිලියන 20ක ලාභයක් බවට පරිවර්තනය වන තෙක් එක තඹ ශත පහක්වත් බදු ගෙවන්න ඕනෑ නැහැ. බලන්න, මෙවැනි දිරිගැන්වීම් තමයි මේ Budget එක හරහා සිද්ධ වෙන්නේ. ඒ රුපියල් මිලියන දහය යාපනයේ ආයෝජනය කළාය කියා අපි හිතමු. එහෙම නම්, තමන්ට ඒකෙන් රුපියල් මිලියන 30ක ලාභයක් එන තෙක් ආදායම් බදු ගෙවීමේ අවශ්‍යතාවක් නැහැ. අනික් කාරණය මේකයි. දැන් අපි කථා කරන්නේ මෘදුකාංග ගැනයි. ඉස්සර කාලයේ අපි තේ, රබර්, පොල් ගැන කථා කළා. බලන්න, අද ශීඝ්‍රයෙන් වර්ධනය වන අපනයන සේවාව මොකක්ද කියලා. ඒ, මෘදුකාංගයි 2020 වර්ෂය වනකොට ඇඟලුම්වලට - apparel වලට වඩා මෘදුකාංගවලින් ඉස්සරහට යෑමයි අපේ බලාපොරොත්තුව වන්නේ. ඒ අනුව මෘදුකාංග හරහා ඩොලර් බිලියන 5ක ආදායමක් ලබා ගන්න තමයි අපි බලාපොරොත්තු වන්නේ. අපේ අම්මලා, අක්කලා, අපේ භාර්යාවෝ රට යවා තමයි අපි අදටත් වැඩිපුරම විදේශ ආදායමක් ලබා ගන්නේ. අපට කරන්න ඕනෑ ඒක නොවෙයි. අපේ ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරවරුනුත් ඒ සම්බන්ධයෙන් දිගින් දිගටම කථා කරනවා මම දැක්කා. අපිත් එදා සිටම එතැන ඉන්නවා. අපටත් ඒ තත්ත්වය වෙනස් කරන්න ඕනෑ. එම නිසා තමයි අපි මෘදුකාංගවලින් වැඩි විදේශ ආදායමක් ලබා ගන්න හදන්නේ.

මම උදාහරණයක් කියන්නම්. දැන් ශ්‍රී ලංකාවේ තිබෙනවා, සියයට 14ක Export බද්දක්. හැබැයි, මෘදුකාංග සඳහා අපි ගිය අවුරුද්දේ ඉදිරිපත් කළ tax incentive එක මොකක්ද? ඒක තමයි, ආයතනයක 50 දෙනකුට වඩා වැඩ කරනවා නම්, ඒ පනස්දෙනාට අමතරව සිටින අයගේ පඩියෙන් සියයට 35ක් අපට Deduction එකක් හැටියට ගන්න පුළුවන්. Tax එක වශයෙන්, හැබැයි, රට වටේ බැලුවාම, පොඩි පොඩි ආයතන - Startups - තමයි තිබෙන්නේ කියා අපට පෙනුණා. මා නියෝජනය කරන කෝට්ටේ ප්‍රදේශයේත් බොහෝ තැන්වල එහෙමයි. බැද්දෙගාන පාරේ තිබෙන ගෙවල්වලට ගියාම අපිට දකින්න ලැබෙන්නේ මොනවාද? Startup එකක් පටන් ගෙන Software develop කරනවා; startup එකක් පටන් ගෙන websites හදනවා; එහෙම නැත්නම් startup එකක් පටන් ගෙන වෙන කොහේ හෝ රටක් එක්ක ඔවුන් Call centre support එකක් දීම කරනවා. අන්න ඒ වාගේ දේවල් තමයි අපි දකින්නේ. එතකොට අපි මොකක්ද කර තිබෙන්නේ? ඒ 50 දෙනාගේ minimum එක ඉවත් කළා. එහෙම නම් මේක මෘදුකාංග ක්ෂේත්‍රයේ ඉන්න තරුණ පරපුරට ඉතා විශාල දිරිගැන්වීමක්. මේ වැඩපිළිවෙළ නිසා ඔවුන්ගේ බද්ද සියයට 14 සිට සියයට 3ට, 4ට අඩුවෙනවා. එම නිසා අලුත් අදහස්, නිර්මාණ ඉස්සරහට ගෙන යන්න, ඒවාට ආයෝජනය කරන්න, දිරිගන්වන්න මේ Budget එකෙන් ඉතාම හොඳ යෝජනා ඉදිරිපත් වෙලා තිබෙනවා.

අද අපි කෘෂිකර්මය ගැන කථා කරනවා. කෘෂිකර්මය ගැන කථා කරන්නේ නැතිව අපට මේ රටේ Budget එකක් ගැන කථා කරන්න බැහැ. කෘෂිකර්මය ගැන කථා කරන්නේ නැතිව අපිට මේ රටේ දුප්පත්කම ගැන කථා කරන්න බැහැ. මේ රටේ දරිද්‍රතාවෙන් පෙළෙන බොහෝ පිරිසක් ඉන්නේ කෘෂිකර්ම ක්ෂේත්‍රය ආශ්‍රිතවයි. මංගල සමරවීර ඇමැතිවරයාටත්, ඉරාන් වික්‍රමරත්න රාජ්‍ය ඇමැතිවරයාටත් මම පෞද්ගලිකවම ස්තුතිවන්ත වනවා. මොකද, මේ ව්‍යාපෘතිය අපේ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කරන්න අපි ලොකු ඉල්ලීමක් කළා. ඒකට අපට අවශ්‍ය පහසුකම් දැන් ලැබී තිබෙනවා. උෂ්ණත්වය සහ තෙතමනය පාලනය කළ ශ්‍රී ලංකාවේ ප්‍රථම ගබඩා සංකීර්ණය තව මාසයක් ඇතුළත අපි පටන් ගන්නවා. අපට මෙපමණ කල් මේක කර ගන්න බැරි වුණා. ඉතාම සන්තෝෂයෙනුයි මා මේ කාරණය කියන්නේ, මෙට්‍රික්ටොන් 5,000ක් ගබඩා කරන්න පුළුවන්. කාමර 6කින් යුතු, උෂ්ණත්වය හා තෙතමනය පාලනය කරපු, ශ්‍රී ලංකාවේ ප්‍රථම ගබඩා සංකීර්ණය අපි දඹුල්ලේ ඉදි කරනවා. දඹුල්ලෙන් පටන් ගෙන ඊට පසුව ඇඹිලිපිටිය, යාපනය සහ කැප්පෙටිපොළ කියන ප්‍රදේශවලත් ඒවා ආරම්භ කරනවා. අපි එතැනින් නවතින්නේ නැහැ. අපි ඒ සඳහා පෞද්ගලික අංශයටත් ආරාධනා කරනවා. මෙවර අය-වැය යෝජනාවලියේ ඒ බව සඳහන්ව තිබෙනවා. කෘෂිකර්මය සම්බන්ධයෙන් ඕනෑකම තිබෙන පෞද්ගලික අංශයේ සියලුදෙනාට මම මේ අවස්ථාවේ ආරාධනා කරන්න කැමැතියි, ‘එන්න. අපිත් එක්ක එකතු වෙන්න.’ කියා. කිසිම බද්දක් ගෙවන්න ඕනෑ නැහැ. Upfront tax කියා එකක් තිබෙනවා. අපි ඒ upfrongt tax ඔක්කෝම ඉවත් කරනවා.

මේ Budget එක හරිම Comprehensive මෙහි හැම දේ ගැනම බලා තිබෙනවා. අවශ්‍ය කරන ණය පහසුකම් ලබා දී තිබෙනවා. අලුත් දේවල් හදන්න incentives දෙනවා; ණය පහසුකම් දෙනවා. බලන්න නියෝජ්‍ය කථානායකතුමනි, මෙවැනි Budget එකක් ඉදිරිපත් කර තිබියදීත්, එයට ‘මළ මිනියක්’ ‘මළ කුනක්’ කියා අපේ බන්දුල කිවුවානේ. මොන ලැජ්ජාවක්ද මේ? එතුමා එතුමාගේ හෘදය සාක්ෂියට එකඟවද, ඒ විවේචනය ඉදිරිපත් කළේ? සමහර බැංකුවලින් ඉල්ලනවා Collateral ඇප ඉල්ලනවා. මංගල සමරවීර ඇමැතිවරයා මෙවර Budget එක ඉදිරිපත් කරමින් කිවුවා, SMES වලට, කුඩා හා මධ්‍යම පරිමාණයේ ණය ලබා ගන්නා තරුණ තරුණියන්ට ඒ පහසුකමත් අපේ රජය මඟින් ලබා දෙනවා කියා. මේ Budget එක යටතේ ඒ යෝජනාවත් ඉදිරිපත් කර තිබෙනවා. ඔන්න ඔය වාගේ තමයි අපේ දර්ශනය ඉදිරියට ගෙන යන්න මෙවර අය-වැය යෝජනාවලිය හරහා අප ක්‍රියාත්මක වන්නේ. මේ ඔක්කෝම කර අප ලෝක වෙළෙඳ පොළ තරණය කරන්න ඕනෑ.

මම තමයි මේක සම්බන්ධීකරණය කරන්නේ. මම තමයි මේ කටයුත්තේ responsibility එක ගන්නේ. මේ කටයුත්ත කරන්නේ පොදු සැපයීම් අමාත්‍යාංශය හරහායි. අපි අලුතින් පටන් අරගෙන තිබෙන වැඩපිළිවෙළට ගොවි මහත්වරු සම්බන්ධ කරගෙන තිබෙනවා. වෙළෙඳ මහත්වරු සම්බන්ධ කරගෙන තිබෙනවා, රජය සම්බන්ධ කරගෙන තිබෙනවා, පෞද්ගලික අංශය සම්බන්ධ කරගෙන තිබෙනවා. අපි මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර, සාර්ථක කරනවා කියන එක මම මේ අවස්ථාවේ දී ඉතාම ඕනෑකමින් කියනවා. මම මේ කාරණය කොහොමද කියන්නේ කියා තමයි කල්පනා කරමින් හිටියේ. ඒවාට අපි සම්බන්ධ නැහැ. මහන්සි වන තරුණ පරපුරට අවශ්‍ය පහසුකම් ලබා දෙන්න අපි දැන් කටයුතු කරනවා. අපි ළමයින්ට එන්න කියනවා, ඒ උදවියට Loans දෙනවා, ඒ උදවියට පිටරට යන්න අවස්ථාවක් ලබා දෙනවා, ඒ උදවියට ඒ අවශ්‍ය දිරිගැන්වීම් කරනවා. දැන් ඒ උදවිය කියනවා.

‘Home Sweet Home’ ණය යෝජනා ක්‍රමය යටතේ ලැබෙන උපරිම ණය මුදල රුපියල් මිලියන 10ක්. සහනාධාර පොලිය සියයට 40ක්. එතකොට මේ තරුණ ජෝඩුවට ගෙයක් හදා ගන්න ගෙවන්න වෙන්නේ කීයද? සියයට 7යි. සියයට 7යි ගෙවන්න වෙන්නේ. කසාද බැඳලා, දරුවෝ දෙතුන් දෙනෙක් හදලා, පඩිය වැඩි වුණාම අවුරුදු 25ක් තිස්සේ මේ රුපියල් මිලියන 10 ගෙවන්න පුළුවන්. රුපියල් මිලියන 10ට වඩා යනවා නම් ඒ උදවියට ඉතුරු මුදල් ටික එකතු කර ගන්න පුළුවන්. තවත් යෝජනාවක් තිබෙනවා, ‘සිහින මාලිගා’ ණය යෝජනා ක්‍රමය කියා. අපේ විදේශ රටවල වැඩ කරන, අපේ පිටරට වැඩ කරන උදවියට ලබා දෙන ණය යෝජනා ක්‍රමයයි. ඒ උදවියටත් රුපියල් මිලියන 10ක් ලබා දෙනවා. ඔබතුමන්ලා සමාජවාදය, සමානතාව ගැන කොච්චර කථා කළත් මේ කටයුතු කළේ නැහැ. පොලිය සියයට 3.46යි. මැද පෙරදිග, කොරියාවේ, ඉතාලියේ වැඩ කරන සියලු දෙනාට මා ඉතාම ඕනෑකමින් කියනවා, ‘අපිට දැන් ණයක් ගන්න පුළුවන්’ කියා කොළඹ, නුවර, අනුරාධපුරය, පුත්තලම, මීගමුවේ අයට කියන්න කියා. අපිට දැන් රුපියල් මිලියන 10ක ණයක් ගන්න පුළුවන්. අපිට පොලිය හැටියට ගෙවන්න ‍ වන්නේ සියයට 3.46 යි. මෙන්න මේ විධියට බලන‍කොට අපි මේ කරන්නේ මොකක්ද? පෞද්ගලික අංශයට තමයි මේ පහසුකම් ඔක්කොම ලබා දීලා තිබෙන්නේ.

අපි අධ්‍යාපනය ගැන කථා කරනවා; දැනුම මත පදනම් වෙච්ච ආර්ථිකයක් ගැන කථා කරනවා. අපි ගුරුවරුන්ට ඉතාම ගරු කරනවා. මෙතැන මහින්ද රාජපක්ෂ මහත්තයා සිටියා නම්, මම එතුමාට මේ ගැන කියනවා. එතුමා පැනලා ගියානේ. උපාධිධාරී ගුරුවරයකුගේ මූලික වැටුප 2015 දී රුපියල් 16,100යි. සමාජයේ ඉන්න සමහරුන්ගේ සපත්තු කුට්ටමේ වටිනාකම ඊට වඩා වැඩියි. අපි ඒ මූලික වැටුප 2016 දී රුපියල් 19,540ක් කරලා තිබෙනවා; 2017 දී රුපියල් 22,980ක් කරලා තිබෙනවා; 2018 දී රුපියල් 26, 420ක් කරලා තිබෙනවා. මේ ඉදිරිපත් කරන වැටුප් විෂමතා වෙනස් කිරීමත් සමඟ 2019 මේ මූලික වැටුප රුපියල් 29,860ක් වෙනවා. 2020 වෙනකොට, රුපියල් 33,300ක් වෙනවා.

දරුවාට උගන්වන ගුරුවරයාගේ මූලික වැටුප රුපියල් 16,000 ඉඳලා රුපියල් 33,000 දක්වා වැඩි කරන එක වැරැද්දක්ද? ඒක වැරැදිද? කවුරු හරි කියන්න. කවුරු හරි කියන්න. ඒක වැරැදි නම්, වැරැදියි කියන්න. මම අභියෝග කරනවා, කිසි කෙනකුට ඒක කරන්න බැහැ. අපේ දරුවන්ට උගන්වන්න ඒ ගොල්ලන් ඒ ගන්නා වෙහෙස මහන්සියට රුපියල් 33,000ක්, ඒ කියන්නේ රුපියල් 16,100 ඉඳලා රුපියල් 33,000ට මූලික වැටුප වැඩි කරනවා. එය, සියයට 107ක වැඩිවීමක්. ඒ වාගේම වැඩිවීමක් අනෙක් රජයේ සේවකයන් සම්බන්ධයෙනුත් තිබෙනවා. මම ඒවා කියවන්නේ නැහැ. නමුත් මම මේ ගැන කිවුවේ, මගේ ඉල්ලීමක් තිබෙන නිසායි. අපේ මාතෘභූමිය ඉදිරියට ගෙනයන්න වගකීමක්, යුතුකමක් අපි හැමෝටම තිබෙනවා. ඒ, දේශපාලන පක්ෂ හැටියට නොවෙයි; පුරවැසියෝ හැටියටයි. සුනිල් හඳුන්නෙත්ති මහතානනි, මගේ මිත්‍රයා වන ඔබටත් සුනිල් හඳුන්නෙත්ති හැටියට ඒ සඳහා වගකීමක් තිබෙනවා.

අපට වාද - විවාද කරන්න පුළුවන්, ප්‍රජාතන්ත්‍රවාදී ලෙස අපේ අදහස් ඉදිරිපත් කරන්න පුළුවන්, කවුරුවත් මට මිරිස් කුඩු ගැහුවේ නැහැ; කවුරුවත් මට බයිබලයෙන් ගැහුවේ නැහැ; කවුරුවත් මට පුටු ඇන්දකින් ගැහුවේ නැහැ කියලා. එහෙම නොවෙයි, ප්‍රජාතන්ත්‍රවාදීව රටක් ගෙනයන්නේ. මෙන්න, මේ විධියටයි ප්‍රජාතන්ත්‍රවාදීව රටක් ගෙනයන්නේ. මහින්ද රාජපක්ෂ මහත්තයා මේ අවස්ථාවේ දී සභා ගැබේ සිටියා නම් මම කැමැතියි. නමුත් ඔහුට මගේ කථාව අහගෙන ඉන්න බැරි වුණා. ඔහුට ශක්තියක් නැති වුණා. මේ විවේචනයට සවන් දෙන්න (බාධා කිරීම්) ඔහු කරපු දේවල් පිළිබඳ අපි විවේචනය කරන කොට, සවන් දෙන්න ශක්තියක් නැති වුණා. (බාධා කිරීම්) නමුත් අපි සියලු දෙනා මංගල සමරවීර ඇමැතිවරයාටත්, ඉරාන් වික්‍රමරත්න රාජ්‍ය ඇමැතිවරයාටත්, අපේ ආචාර්ය සමරතුංග ඇතුළු මුදල් අමාත්‍යාංශයේ සියලුම නිලධාරී මහත්ම - මහත්මීන්ටත් ස්තුතිවන්ත වෙනවා. අමාරු අවස්ථාවක දී මෙලෙසින් අයවැයක් ඉදිරිපත් කරන්නට උදවු වීම ගැන. මොකද, මමත් ගියා, මංගල ඇමැතිවරයා එක්ක ක්‍රිස්ටීන් ලගාර්ඩ්ව හම්බ වෙන්න. මම දන්නවා, ඒ කාර්යයේ තිබෙන අමාරුව. අපේ රටේ තිබෙන ගැටලුකාරී තත්ත්වය අපි තේරුම් ගන්න ඕනෑ. (බාධා කිරීම්) නමුත් ඒ තුළ ඉදිමින් මෙවැනි ඉතාම ආකර්ෂණීය සහ වගකීමකින් යුතු අය වැයක් ඉදිරිපත් කිරීම පිළිබඳ ඒ සියලු දෙනාට මා ස්තූති වන්ත වෙනවා.


නව අදහස දක්වන්න