ශ්‍රී පාද වන්දනාවේ ගිය කාම්බෝජ හිමි නමක් රෝගීව අපවත් වෙති | දිනමිණ

ශ්‍රී පාද වන්දනාවේ ගිය කාම්බෝජ හිමි නමක් රෝගීව අපවත් වෙති

ශ්‍රීපාද වන්දනාව සඳහා වැඩම කර සිටි කාම්බෝජ ජාතික නායක හිමි නමක් හදිසියේ රෝගාතුර වී රෝහල් ගත කිරීමෙන් පසුව අපවත්වී ඇත.

මෙසේ අපවත්වූයේ, සම්රාන් නැට් නැමති (91) හැවිරිදි හිමි නමකි. කාම්බෝජ ජාතික හිමිවරුන් හා බෞද්ධ 200 ක පමණ ගිහි කණ්ඩායමක් සමග මෙම හිමියන් නල්ලතන්නිය-ශ්‍රීපාද මාර්ගයෙන් ශ්‍රීපාද වන්දනාව සඳහා වැඩම කර ශ්‍රීපාදස්ථානය වැඳපුදා ගැනීමෙන් අනතුරුව නැවත නල්ලතන්නිය වෙත වැඩම කර ඇත.

නල්ලතන්නියේ නේවාසිකව සිටි සංචාරක නිවාඩු නිකේතනයේදී හදිසියේ රෝගාතුරවූ උන්වහන්සේ මස්කෙළිය ප්‍රාදේශිය රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව අසාධ්‍ය තත්ත්වයේ පසු වූ නිසා දික්ඔය මූලික රෝහල වෙත යවා තිබේ.

දින තුනක් ප්‍රතිකාර ලබමින් සිටියදී මෙම හිමියෝ අපවත්වූහ. උන්වහන්සේගේ මරණ පරීක්ෂණය දික්ඔය මූලික රෝහලේදී පවත්වා මෙම මරණය හෘදයා බාධයක් හේතුවෙන් සිදුව ඇති බවට වෛද්‍ය වාර්තාවේ සඳහන් කර ඇත.

උන්වහන්සේගේ දේහය කොළඹ පිහිටි කාම්බෝජ විහාරස්ථානයට වැඩම කර අනතුරුව කාම්බෝජය දක්වා ගුවනින් වැඩම කිරීමට නියමිත බව කාම්බෝජ වන්දනා කණ්ඩායමේ හිමිනමක් පැවසූහ.

මස්කෙළිය සමූහ ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක

නව අදහස දක්වන්න