ඔස්ට්‍රේලියාව හමුවේ ලද පරාජයෙන් කෝලි ලා සංත්‍රාසයට පත්වෙති | දිනමිණ

ඔස්ට්‍රේලියාව හමුවේ ලද පරාජයෙන් කෝලි ලා සංත්‍රාසයට පත්වෙති

සංචාරක ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව පැවැති එක්දින තරගාවලිය පරාජය වීම සම්බන්ධව නිදහසට කීමට කිසිම කරුණක් නොමැති බව පවසන ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි, ලෝක කුසලාන තරගාවලිය අභිමුවදී ලද මෙම තරගාවලි පරාජයන් තමන් ඇතුළු සමස්ථ කණ්ඩායමම සන්ත්‍රාසයට පත්ව සිටින බව පවසයි.

තරගාවලියේ ශූරයන් කවුරුන්ද යන්න තීරණය කිරීම වෙනුවෙන් දිල්ලිහි පැවැති තීරණාත්මක අවසන් එක්දින තරගයේදී ඉන්දීය පිලට එරෙහිව ලකුණු 35 ක ජයක් වාර්තා කරමින් තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය 3-2 ක් ලෙස ජය ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත්විය.

එම තරගාවසානයේ පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ කෝලි, ''මේ පරාජයෙන් සන්ත්‍රාසයට පත්නොවුණු ක්‍රීඩකයෙක් ක්‍රීඩාගාරයේ නැහැ. ක්‍රීඩකයින් වගේම සහායක පුහුණු කණ්ඩායමත් මේ පරාජය නිසා කනස්සල්ලට පත් වෙලා ඉන්නේ" යැයි පැවැසීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඉන්දීය නායකයා, "අවසන් තරග 3 දී අපි කරන්න ඕන මොනවද කියන දේ ගැන වැටහීමක් අපිට තිබුණා. නමුත් ලෝක කුසලානෙට පෙර තිබුණු අවසන් තරගාවලියෙදිම මෙවැනි පරාජයක් ලැබීම තනිකරම අවාසනාවක්. අපේ කණ්ඩායම හොඳ සමබරතාවයකින් හෙබි කණ්ඩායමක්. නමුත් මේ තරගයේදී අපිට වඩා හොඳින් ඔස්ට්‍රේලියානු පිල ක්‍රීඩා කළා" යනුවෙන් පවසයි.

වසර 4 ක කාලයකට පසුව ඉන්දීය කණ්ඩායම සිය නිජ බිමේදී එක්දින තරගාවලියක් පරාජයට පත්වූ පළවැනි අවස්ථාව වශයෙන් අදාළ පරාජය සටහන් වූ අතරම 2016 වසරේදී පාකිස්තානය පරාජය කිරීමෙන් පසු ඔස්ට්‍රේලියානු කණ්ඩායම ලද පළමු එක්දින තරගාවලි ජයග්‍රහණය ලෙසින් මෙම තරගාවලිය සටහන් වීම කැපී පෙනෙයි.


නව අදහස දක්වන්න