වසන්ත සමයේ තුරඟ තරග මෙවර රාජකීය මට්ටමෙන් | දිනමිණ

වසන්ත සමයේ තුරඟ තරග මෙවර රාජකීය මට්ටමෙන්

ප්‍රින්ස් ගුණසේකර

රාජකීය තුරග සමාජය වසන්ත සමයේ පවත්වන තුරග තරගමාලාවේ පළමු අදියර මේ මස 31වැනිදා නුවරඑළීය තුරග තරග පිටියේදී අති උත්කර්ශවත් ලෙස පැවැත්වීමට කටයුතු යොදා ඇත. වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක, ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු,මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න හා නුවරඑළිය නගරාධිපති මහින්ද දොඩම්පේගම යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භවන තුරග තරගාවලියට වෙනදා මෙන්ම මෙවරත් අශ්වයින් 53ක් පමණ එක්වීමට නියමිතය.

වසන්ත සමයේ තුරග තරගාවලියේ දෙවැනි අදියර අප්‍රේල් 15 හා තෙවැනි අදියර එම මස 21වැනිදා පැවැත්වීමට රාජකීය තුරග සමාජය මේ වනවිටත් කටයුතු සැලසුම් කොට ඇත.

වසර 1833දී නුවරඑළියේදී මුල්වරට තුරඟ තරග ආරම්භවී ඇති අතර එදා මෙදා වසන්ත සමයේ නැතිවම බැරි අංගයක් ලෙස මෙම සැණකෙළිය සංවිධානයවීම විශේෂත්වයකි. වසර ගණනාවක් ඈතට දිවයන ආණ්ඩුකාර කුසලානය (Governors Cup ) හා රැජන කුසලානය (Queens Cup ) දිනන්නේ කවුද? යන්න බොහෝ දෙනකුගේ අවධානයට ලක්වන කරුණකි. තුරඟ තරගවලට බොහෝ කැමැති ඒ වෙනුවෙන්ම නුවරඑළියට පැමිණෙන ‘නෝනාවරුන් හා මහත්වරුන් ‘බොහෝ වාද විවාද ඇති කරගත්තේ මේ දැවැන්ත තරග දෙකේ ජයග්‍රහණය කවුරුන් විසින් හිමිකර ගනීද? යන ප්‍රශ්නයත් සමගය. ඇමෙරිකා එක්සත් ජනපදය තුල, එක්සත් රාජධානියේ, ප්‍රංශයේ හා ඔස්ට්‍රේලියාවේ තුරඟ තරගවල ප්‍රධාන කුසලාන සේම ශ්‍රී ලංකාවේ ආණ්ඩුකාර කුසලානය (Governors Cup ) හා රැජන කුසලානය (Queens Cup ) ඉතාම ප්‍රසිද්ධියක් උසුලන බැවින් මෙම තරගවල ජයග්‍රහාකයින්ට ද විශාල ප්‍රසිද්ධියක් නිතැතින්ම හිමි වේ.

පිට පිට ජය වාර්තා කළ නුවරඑළීය තුරඟ තරග පිටියේ රැජන ලෙස හැදින්වූ දීප්තිකා ජයකොඩි මෙනවියගේ ‘අල්කසාබා‘ තුරඟයා හා හසංග ජයරත්න මහතාගේ ‘මෙහෙරාන්‘ අතර තියුණු සටන මෙවරත් උච්චතම අවස්ථාවක් නිර්මාණය කරනු ඇතැයි විචාරක මතයවී තිබේ. අවසන්වරට පැවැති තරගාවලියේදී RTC මැජික් මිලියනය දිනාගත් ‘මෙහෙරාන්‘ තුරඟයා මෙහෙයවූ ඉතා දක්ෂ අශ්වාරෝහක ඉන්දික් ඉම්රාන් තරගය අතර තුර තමන්ගේ ප්‍රබල ප්‍රතිවාදියාවූ ‘අල්කසාබා‘ තුරඟයාගේ මුහුණට කාටත් නොදැනෙන පරිදි සියුම් ලෙස පහරක් එල්ල කිරීම මහත් ආන්දෝලනයට තුඩුදුන් සිද්ධියක් විය. තරගය නිමාවීමෙන් පසු ‘අල්කසාබා‘ හැසිරවූ ඉන්දීය ජාතික අශ්වාරෝහක කේ. අනිල්, එම පහරදීම පිළිබද සදහන් කළ ලිඛිත විරෝධතාවක් භාර දුන්නද, රාජකීය තුරඟ සමාජය එය ගණනකට නොගෙන නිශ්ප්‍රභා කළේය.

අංජලී ස්ටේබල් අයත් ‘චාර්ලිමැග්නී‘ මෙන්ම කවදත් උණුසුම් සටනක් දෙන පූර්ණි එඩ්වර්ඩ් හා රියෙන්සි එඩ්වර්ඩ් යුවලට අයත් ‘සැන්ටොස්‘, අනුර දෙල්ගොඩ මහතාගේ ‘චුල් බුල් පාන්ඩී‘ අජන්ත ද සොයිසා මහතාගේ ‘බ්‍රිලියන්ට් කට්‘ හිරුගල්බණ්ඩාර මහතාගේ ‘ඇවන්ටෙස්‘, ප්‍රීත්ව් දෝරායි මහතාට හා එම මහත්මියට අයත් ‘කාල්ටන්‘, ඩේවිඩ් ඇන්තනී මහතාට අයත් ‘පර්ෂුරම්‘ හා ජේම්ස් මැතිව් මහතාට අයත් ‘වර්ල්මන්ගේ‘ යන අශ්වයන් පිළිබඳ මෙවරද කතාබහක් ඇතිවේ.

රන් ආලේපිත ආණ්ඩුකාර කුසලානය සමග ලක්ෂ ගණනින් මුදල් ත්‍යාග ජයග්‍රහකයින්ට හිමිකරදීමට මෙවර වසන්ත සමයේ රාජකීය තුරඟ සමාජය කටයුතු යොදා ඇත. මෙතෙක් පැවැති තුරග තරග 89කදී රුපියල් මිලියන 25.1ක මුදලක් ජයග්‍රාහකයන්ට පිරිනැමුණු අතර මෙවර ද ඒ හා සමාන මුදල් ත්‍යාග හිමිකර දීමට කටයුතු යෙදේ.

නුවරඑලිය තුරඟ තරග පවත්වන ක්‍රීඩාංගණය තුල පෙරට වඩා පහසුකම් රාශියක් නිර්මාණය කිරීමට රාජකීය තුරග සමාජය පියවර ගෙන ඇත. තරගයට පෙර තුරඟයින්ගේ තහනම් උත්තේජන පරීක්ෂාව සිදු කිරීමට ඉන්දීය ජාතික විශේෂඥ වෛද්‍යවරු පිරිසක් කටයුතු කිරීමෙන් තුරඟ තරගවල විශ්වාසය වැඩි කිරීමට තරග සංවිධානය කරන රාජකීය තුරඟ සමාජය කටයුතු කිරීමද ප්‍රශංසාවට ලක්ව ඇත.

තුරඟ තරග පැවැත්වෙන අතරතුරදී මියුරු සංගීතය හා ජනප්‍රිය ගායක ගායිකාවන්ගේ ගීත ශ්‍රවණය කිරීමට අවස්ථාව උදාකරදීමට රාජකීය තුරඟ සමාජය කටයුතු යොදා තිබේ. සංගීතය සමග මුසුවූ නර්තනය ද අලංකාර දසුනකි. එයට අමතරව විලාසිතා දැක්මක් ද රාජකීය තුරඟ සමාජය සංවිධානය කොට ඇත. නුවරඑළිය රාජකීය තුරඟ සමාජයේ භාණ්ඩාගාරික නිසිත රූපසිංහ, ලේකම් රංජන් කනකසබේ හා ප්‍රධාන විධායක සින්ක්ලෙයාර් මාෂල් රාජකීය තුරඟ තරග උසස් ලෙස සංවිධානය කිරීමට පෙරමුණ ගෙන සිටිති.

නව අදහස දක්වන්න