බුලත් කහට! | දිනමිණ

බුලත් කහට!

රාජ්‍ය ආයතන තුළ බුලත්විට කෑම තහනම් ය. බුලත්විට අලෙවි කිරීම ද තහනම් ය. මීට අදාළ චක්‍රලේඛය ළඟදීම නිකුත් කරනු ඇත. අපගේ අවබෝධයට අනුව ශ්‍රී ලංකාවේ පෞද්ගලික ආයතන තුළ බුලත්විට කෑම හා අලෙවිය සිදුවන්නwේ ඉතා කලාතුරෙකින් ය. එබඳු තහනමක් පනවා නැතත්; ආයතන ප්‍රධානීන් සිය සේවක ප්‍රජාවට බුලත්විට කෑම සඳහා ඉඩ ලබා දෙන්නේ නැත. මහජනයා සමඟ කරන ගනුදෙනුවලදී මෙන් ම කතාබහේදී ද බුලත්විට සැපීම එක අතෙකින් බාධාවකි. තව අතෙකින් එය අශෝභන සිරිතකි. රාජ්‍ය ආයතන තුළ සේවක නිදහස වැඩි බැවින් බුලත්විට කෑම ද අධික වී තිබේ.

බුලත්විට කෑම මුඛ රෝගවලට හේතුවක් බව පර්යේෂණ මඟින් හෙළිදරව් වී ඇත. මෙයින් භයානක ම රෝගය වන්නේ මුඛ පිළිකා ය. වසරකට මුඛ පිළිකා සහිත රෝගීන් දෙදහස් පන්සියයක් පමණ හඳුනාගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. මුඛ පිළිකා යනු මාරාන්තික රෝගයකි. අවාසනාවකට‍ මෙන් රෝගීන් තමාට මුඛ පිළිකාවක් ඇති බව හඳුනාගන්නේ ද අවසන් අවස්ථාවේ ය. මේ අනුව මුඛ රෝගීන් වැඩි ගණනකට අකල් මරණය හිමි වේ. මුඛ රෝග වැලඳීමට ප්‍රධාන හේතුව බුලත්විට සැපීම බව සඳහන් වේ. පුවක්, දුම්කොළ හා හුණු පිළිකා කාරක බව ද හඳුනාගෙන ඇත.

බුලත්විට කෑම පුරුද්දකි. නැතහොත් ඇබ්බැහියකි. දුම්පානය, මත්පැන් පානය මෙන් ම බුලත්විට කෑම ද අත්හැරීම අපහසු ය. එය ශරීරයට උත්තේජනයක් ලබාදෙන බැවින් ශරීරය නිතර බුලත්විට ඉල්ලා සිටී. නිදි වරමින් රැකියා කරන බොහෝ දෙනා දිනකට බුලත්විට හතරක් - පහක් කති. සාමාන්‍ය බුලත්විටක මිල රුපියල් තිහකි. ඉස්තරම් බුලත්විටක් රුපියල් පනහට හා රුපියල් හැටට අලෙවි කරනු ලැබේ. එවිට බුලත්විට කන කෙනකු දිනකට රුපියල් තුන්සියයක් හෝ රුපියල් හාරසියයක් හෝ ඒ වෙනුවෙන් වියදම් කරනු ඇත. මේ වියදම අපරාධයක් සේ සැලැකිය හැකිය. බුලත්විට කෑම මුදල් ගෙවා රෝග වැලඳගැනීමක් ලෙස හඳුන්වා දිය හැකි ය.

බුලත්විට කෑමට පක්ෂව නැ‍ඟෙන තර්කය වන්නේ එය අපේ සාංස්කෘතික කාරණයෙකි යන්න ය. ඈත අතීතයේ සිට ශ්‍රී ලංකාව, ඉන්දියාව, නේපාලය, බංගලිදේශය, පාකිස්ථානය වැනි රටවල ජනතාව බුලත්විට භාවිත කළහ. අපේ අතීත බුලත්විටට හුණු හා දුම්කොළ නොතිබුණු බව ද කියති. අතීත රජවරු හා ප්‍රභූහු ද ඖෂධීය ගුණයෙන් පිරි බුලත්විට පාවිච්චි කළහ. එහෙත් අද කිසිදු බුලත්විටක ඖෂධීය ගුණයක් නැත. එලෙස ම කිසිදු බුලත්විටක ප්‍රමිතියක් දකින්නට ද නැත. ආයුර්වේද දෙපාර්තමේන්තුව කලකට පෙර හුණු හා දුම්කොළ නැති බුලත්විටක් හඳුන්වා දුන්නද එය ජනප්‍රිය වූයේ නැත. විට කන අය දුම්කොළ හා හුණු නැති විට ප්‍රතික්ෂේප කරති.

සංස්කෘතියට මුවා වී මුඛ රෝග හා පිළිකා ‍වර්ධනය කරගත යුතු නැත. සෞඛ්‍ය අමාත්‍යවරයා ගෙන ඇති පියවර බුද්ධිමත් ය. රාජ්‍ය ආයතන තුළ බුලත්විට තහනමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. මෙය මුඛ පිළිකා අවදානම තුරන් කිරීමට අදාළ සාධනීය පියවරකි. රාජකාරි කාලය තුළ කෙනකු බුලත් කෑමෙන් වළකින්නේ නම්; දවසෙන් තුනෙන් එකක කාලය තුළ විට කෑම නවතී. ඇතැම් කෙනකු වැඩියෙන් ම බුලත්විට පාවිච්චි කරනුයේ කාර්යාල කාලය තුළ යැයි කියන්නට පුළුවන. විටට ඇබ්බැහි වූ පුද්ගලයා ඉන් මුදාගත හැක්කේ දවසේ හොඳ ම කාලය තුළ විටෙන් නිදහස් කරගැනීමෙන් යැයි කිව හැකි ය. දවසේ හොඳ ම කාලය කාර්යාල පවත්වාගෙන යන පැය අටක පරිච්ඡේදය යි.

රටේ මහජන සෞඛ්‍ය හොඳ තත්ත්වයකින් පවත්වා ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයා හා එම අමාත්‍යාංශය ගෙන ඇති පියවර බොහෝ දෙනාගේ ඇගැයීමට ලක්වේ. හෘද රෝගීන්, පිළිකා රෝගීන්, වකුගඩු රෝගීන් සඳහා ලබා දී ඇති පහසුකම් හා සහන බෙහෙවින් ඉහළ ය. අවස්ථා කිහිපයකදී ම බෝ නොවන රෝග සඳහා භාවිත වන ඖෂධවල මිල පහත දැමීමට අමාත්‍යවරයා පියවර ගත්තේ ය. ඇස් කාච නොමිලේ ලබා දෙන වැඩසටහනක් ද ක්‍රියාත්මක ය. එය මේ වන විට රෝගීන් ලක්ෂයකට ඇස් කාච ලබා දී තිබේ. දියවැඩියාව, කොලෙස්ටරෝල්, අධි රුධිර පීඩනය වැනි ශ්‍රී ලංකාවේ ප්‍රචලිත රෝග වැළැක්වීමට අදාළ වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක වෙයි. රෝගීන්ට නොමිලේ මේ සඳහා සහභාගි විය හැකි ය.

බුලත්විට පාවිච්චියේ අතුරු විපාක පොදු ස්ථාන රැසක දී දැකගත හැකි ය. අපේ අග නගරයේ ප්‍රධාන පාරවල්වල පවා අපිරිසිදු බුලත් කෙළ පැල්ලම් තිබේ. දුම්රිය මැදිරි තුළ මෙන් ම පොදු වැසිකිළි තුළ ද අප්‍රසන්න බුලත් කෙළ පැල්ලම් ඇත. ඒවා පිරිසුදු කළ ද නැවත - නැවත පැල්ලම් ඇතිකරනු ලැබේ. රජයේ කන්තෝරුවල වැසිකිළිවල මේ තත්ත්වය හොඳින් දැකගත හැකි ය. බුලත් හපවලින් පිරී ගිය නළ නිසා අපද්‍රව්‍ය බැහැර කිරීම අඩාල වූ අවස්ථා ද වාර්තා වී ඇත. බසයේ හා දුම්රියේ යන මගීන් බුලත් කෙළ පහරවල් නිසා අපහසුතාවට පත් වූ අවස්ථා අපි නිතර දැක ඇත්තෙමු. ඇතැම් විටෙක බුලත්විට හපන්නාට ම එය මහත් හිරිහැරයක් වෙයි. එහෙත් ඊට ඇබ්බැහි වූ තැනැත්තා බුලත්විට අත්හරින්නේ නැත.

පුද්ගලයාගේ නිදහසට බාධා කිරීම වැරැදි යැයි කෙනකු තර්ක කරන්නට පුළුවන. මේ අනුව බලන විට බුලත්විටක් හැපීම පුද්ගලික නිදහසට අදාළ සාධකයකි. එහෙත් මේ නිදහස සෙසු පුද්ගලයාට බාධාවක් නො විය යුතු ය. බුලත්විට හැපීම මහජන සම්බන්ධතාවලට බාධාවකි. මුඛය බුලත්විටකින් පුරවාගත් විට කතා කිරීම අපහසු ය. මෙබඳු අය හස්ත-මුද්‍රා සහිත ව අදහස් ප්‍රකාශ කරන ආකාරය අපි දැක ඇත්තෙමු. රාජකාරීමය අවස්ථාවක නම් එය බලවත් වරදක් ලෙස පෙන්වා දිය හැකි ය. පොදු ස්ථානවල බුලත් කෙළ ගසා අපිරිසුදු කරන අයට දඩ ගැසීමේ නීතියක් කලකට පෙර පැවැතිණි. එහෙත් දැන් එය ක්‍රියාත්මක වන්නේ නැත. පරිසරයට අදාළව පවතින ඇතැම් නීති ක්‍රියාත්මක වන්නේ නැත.

බුලත්විට කෑම මුළුමනින් ම තහනම් කළ හැකි ක්‍රමයක් හා නීතියක් නැත. එබඳු නීතියක් සම්මත කිරීම ද කළ නො හැකි ය. එහෙයින් පළමුව රාජ්‍ය ආයතන තුළ ද, පසුව පොදු ස්ථාන තුළ ද විටකෑම හා අලෙවිය තහනම් කරන්නේ නම්; මුඛ පිළිකාත් අඩුවෙයි. රටත් ලස්සන වෙයි.

නව අදහස දක්වන්න