බැසිල්ට එරෙහි නඩු විභාගය ජූලි - 18 | දිනමිණ

බැසිල්ට එරෙහි නඩු විභාගය ජූලි - 18

ඉකුත් ජනාධිපතිවරණය සමයේ දිවිනැගුම අරමුදලට අයත් රුපියල් මිලියන 2994 ක මුදලක් වැය කර අඩු ආදායම් ලාභීන්ට නිවාස ආධාර ලබාදීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් හතර දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුවක් විභාග කිරීම ජූලි මස 18 වනදා දක්වා කල් දැමීමට කොළඹ මහාධිකරණය නියම කර ඇත.

කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ ඉදිරියේ නඩුව අද කැඳවා තිබුණි.

එහිදී පැමිණිල්ල මෙහෙයවන රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් තුසිත් මුදලිගේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩුවකට පෙනී සිටින බැවින් මෙම නඩු විභාගය වෙනත් දිනයකට කල් දමන මෙන් ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා ඇත.

ඒ අනුව නඩුවේ වැඩිදුර විභාගය ජුලි මස 18 වනදා දක්වා කල් දැමීමට විනිසුරුවරයා තීන්දු කොට තිබේ.

මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ ,ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක,  දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක සහ එම දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි යන අය නම් කර ඇත.

 

නව අදහස දක්වන්න