මංගල ගෙනා අයවැය යෝජනා සුවිශේෂයි | දිනමිණ

මංගල ගෙනා අයවැය යෝජනා සුවිශේෂයි

හිටපු මුදල් ඇමැති රොනී ද මැල්

ඇමැති මංගල සමරවීර මහතා මෙවර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැය යෝජනා සුවිශේෂී ඵලදායී අගය කළයුතු ලක්ෂණ රැසකින් සමන්විත වන බව හිටපු මුදල් ඇමැති රොනී ද මැල් මහතා අවධාරණය කරයි.

විවෘත ආර්ථිකය මෙරටට හඳුන්වා දීමේ මුල්තැන ගනිමින් කඩිනම් සංවර්ධනය හරහා ජනතා සහන සපයමින් රටට පරිවර්තන වෙනසක් බිහිකරමින් වසර 11ක් අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ශ්‍රී ලාංකීය දේශපාලන ඉතිහාසයේ වාර්තාවක් සනිටුහන් කළ හිටපු මුදල් ඇමැති රොනී ද මැල් මහතා 2019 වසර සඳහා වත්මන් ආණ්ඩුවේ මුදල් ඇමැති මංගල සමරවීර මහතා විසින් ඉදිරිපත් කළ අයවැය යෝජනාවලිය ඇගයුමට ලක්කරමින් සිය අදහස් මෙසේ "දිනමිණ"ට එක්කළේය.

සමස්තයක් ලෙස අයවැයේ අන්තර්ගතය පිරික්සීමේදී ආයෝජනය, සංවර්ධනය, සමාජ සුබසාධනය, ග්‍රාමීය ආර්ථිකය, රාජ්‍ය සේවක දිරිගැන්වීම් රැසක් අධ්‍යාපනය සහ සෞඛ්‍ය අංශයට මෙතෙක් සිදු නොවූ ඉහළම ප්‍රමුඛතා ලබා දී තිබෙනවා. ධීවර කාර්මිකයාට බහුදින ධීවර යාත්‍රා ලබාගැනීම, අඩු පොලී ණය සැපයීම සාධනීය යෝජනාවන්.

යොවුන් පරප‍ුරේ බලාපොරොත්තු ඉටුකර ගැනීමට ස්වාධීන මංපෙත් විවෘත කර දී තිබෙනවා. විශ්‍රාමිකයින්ගේ විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීම ප්‍රශස්ත ක්‍රියාමාර්ගයක් බව හිටපු ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

කෘෂිකර්මාන්තයේ තේ, පොල්, රබර් දිරිගැන්වීම් සමඟ කුරුඳු කර්මාන්තයේ කැපී පෙනෙන වෙනසක් ඇතිකරලා. අපනයන ක්ෂේත්‍රයේ වඩාත් ඉදිරියට ගෙන යාම සඳහා කර්මාන්තකරුවන් දිරිගැන්වීම් අගය කළ යුතු ඉහළම යෝජනා ඉදිරිපත් කරලා. රැකියා උත්පාදනයට ආයෝජන කලාප හරහා අවස්ථාවන් බිහිකරන යෝජනා ඇතුළත්.

කැසිනෝ බදු අනුපාත ඉහළ අගයකට ‍පත්කිරීම යහපත් තීන්දුවක්. කොපමණ ඵලදායී සුබවාදී හොඳ අයවැයක් ඉදිරිපත් වුණත් යෝජනා ක්‍රියාත්මක කිරීමේදී සිදුවිය හැකි අතපසුවීම් අඩුපාඩු හා ප්‍රමාද දෝෂ හේතුවෙන් ජනතාවට ලබාදිය යුතු සහන පිළිබඳ ගැටලු ඇතිවීම වැළැක්විය නොහැකියි. තමා විසින් අයවැය ලේඛන ඉදිරිපත් කිරීමේදී ලබාගත් අත්දැකීම් තුළින් එය සෘජුවම ප්‍රකාශ කළ හැකි බව හිටපු මුදල් ඇමැති ‍රොනී ද මැල් මහතා සිහිපත් කළේය. සමාජයේ සිටින සියලු දෙනාටම ප්‍රතිඵල භුක්ති විඳීමට පහසුකම් සලසා ඇති යෝජනාවලියක් ලෙස මෙවර අයවැය මා දකිනවා. තරුණ ව්‍යවසායකයන් ඇතුළු නව වෙළෙඳ ප්‍රජාවක් බිහිකිරීමට සමත්වන යෝජනා රැසක්ම ඇතුළත්. එයට හොඳම නිදර්ශනය එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහනයි.

ශ්‍රී ලංකාව වැනි රටක් ගමන් කළ යුතු පැහැදිලිම මාර්ගය අපනයනය දියුණු කිරීමයි. රටේ වෙළෙඳ ශේෂය අඩුකර ගැනීමට ඇති එකම ක්‍රියාමාර්ගයන් වන්නේ අපනයනය දියුණු කිරීමයි. ප්‍රමාද වී හෝ ඒ බව වටහාගෙන ඇති බව මෙවර අයවැයෙන් පැහැදිලි වෙනවා.

කාර්මික අංශයෙන් ඉදිරියට යනවා වගේම ඊට අවශ්‍ය වන අමුද්‍රව්‍යයන් මෙරටම නිපදවීමට දිරිගැන්වීම වැදගත්. අමුද්‍රව්‍ය ආනයනය කරන විට එම කර්මාන්තවලින් රටට ලැබෙන වාසිය අඩු වෙනවා. ඒ අනුව රබර් ආශ්‍රිත කර්මාන්තවලට අවශ්‍ය රබර් කිරි නිෂ්පාදනය දිරිගැන්වීම එවැනි සාධනීය යෝජනාවක්. කුරුඳු කර්මාන්තයේ ප්‍රගතිය සඳහා ලබා දෙන දිරිගැන්වීමත් එවැනිම සාර්ථක යෝජනාවක්.

රටේ මතු අනාගතය බාරගන්න සිටින සිසු දරුවන්ට ලොව ඉහළම විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබාගැනීමට ශිෂ්‍යත්ව පිරිනැමීම අගය කළ යුතු යෝජනාවක්. දක්ෂතා ඇති ගමේ දරුවන්ට මෙය හොඳ පදනමක්.

තේ, රබර් කර්මාන්ත ප්‍රවර්ධනයට නැවත වගාකිරීමේ සහනාධාරය දෙගුණ කිරීම, ධීවර ක්ෂේත්‍රය වෙනු‍වෙන් බහුදින යාත්‍රා මිලට ගැනීමට අඩු පොලී ණය සහන, විදෙස් විනිමය උපයා දෙන ශ්‍රමිකයන්ට නිවාස ඉදිකිරීමට 6% පොලියට නිවාස ණය ඵලදායී යෝජනා ලෙස හඳුන්වා දිය හැකියි. අර්බුද රැසක් හමුවේ වුවත් රජයේ සේවකයන් ගැන අවධානය යොමුකර රු. 2500 ක දීමනාවක් ලබාදීම ඇගයිය යුතු අතර එය ලබන වසරේ මූලික වැටුපට එක්කරන බවට කළ දැනුම්දීම එලෙසම ක්‍රියාවට නැංවීම ඉතා ප්‍රතිඵලදායක වන බව කිව හැකියි.

කෘෂිකාර්මික අංශය වෙත තව අවධානය යොමුකළා නම් යහපත් ප්‍රතිඵල ලබාගැනීමට ඉඩ තිබෙන බවත් ඒ සඳහා ඉදිරියේදී අවධානය යොමු කළ යුතුව ඇති බවත් පෞද්ගලික අංශයේ සේවකයින් උදෙසා යමක් කිරීමේ අවශ්‍යතාව ඇති බවත් බදු බර තවදුරටත් ලිහිල් කර ගැනීමට පියවර ගෙන සරල බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම තුළින් ජනතාවට සහන සැලසීමට උපකාරී වීමට හැකි බවත් රොනී ද මැල් මහතා පෙන්වා දුන්නේය.

කොතරම් හොඳ අයවැයක් ඉදිරිපත් කළත් ක්‍රියාවට නැංවීමේදී අඩුපාඩු, අතපසුවීම් සිදුවීම තමන් අත්දැකීමෙන්ම දන්නා බව ද එය බොහෝදුරට අවම කර ගැනීම සඳහා මුදල් අමාත්‍යවරයා ප්‍රමුඛ නිලධාරි මණ්ඩලය යෝජනාවලිය ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් වඩාත් විමසිලිමත් විය යුතු බව ද යෝජනා වඩා හොඳින් ක්‍රියාවට නැංවීමටත්, එය අධීක්ෂණයටත් බුද්ධිමත් කාර්යශීලී තරුණ මන්ත්‍රීවරුන් ප්‍රමුඛ විද්වතුන් යොමුකිරීමෙන් සාර්ථක ප්‍රතිඵල අත්කරගත හැකි බව ද පෙන්වා දුන්නේය.

විශේෂයෙන්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය, කැපවීම, සැලසුම් ක්‍රියාවට නැංවීම, අධීක්ෂණය මෙහිදී වැදගත් බව අවධාරණය කරමින් ඉන් අපේක්ෂිත ප්‍රතිඵල ජනතාවට ලබාදීම අපහසු නොවන බව හිටපු මුදල් ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

වසර 11ක් පුරාවට අයවැය යෝජනා සකසමින් ඉදිරිපත් කරමින් ජනතා සුබසෙත සලසමින් දේශපාලන ඉතිහාසයේ වාර්තාවක් සනිටුහන් කළ හිටපු මුදල් ඇමැති රොනී ද මැල් මහතා ඒ පිළිබඳව නිර්ව්‍යාජව මෙසේ පවසා සිටියේය.

මුදල් ඇමැති ධුරය භාරගන්නා විට රට මුහුණ දී තිබූ ආර්ථික අර්බුද හමුවේ මෙතෙක් දුර ගමන් කළ හැකිද කියා දැන සිටියේ නෑ. දැඩි අධිෂ්ඨානය මේ ගමන වෙත මා යොමු කළා. මා ආසන්නයට ආවේ මහින්ද රාජපක්ෂ මහතායි. එහෙත් ඔහුට මගේ වාර්තාව කඩන්න බැරි වුණා.

මංගල ඇමැතිතුමාට නව වාර්තාවක් තබන්න පුළුවන්. මම නියෝජනය කළ මාතර දිස්ත්‍රික්කයේම කෙනෙක් හැටියට මගේ වාර්තාව කඩන්න මංගල ඇමැතිතුමාට හැකිවේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අවසන් වශයෙන් එතුමා ජනතාවට සුබවාදී අයවැයක් ඉදිරිපත් කරන්න සමත්වීම ගැනත් අගයනවා.

සාකච්ඡා කළේ - කමනි අල්විස්


නව අදහස දක්වන්න