උරුමය රැකගෙන සංවර්ධනයට යාම | දිනමිණ

උරුමය රැකගෙන සංවර්ධනයට යාම

මොරටුව විශ්වවිද්‍යාලයේ ‘නාගරික විද්‍යාගාරය- නගර උදෙසාවූ මධ්‍යස්ථානයේ‘ ආචාර්ය ජානක විජේසුන්දර විසින් 28/02/2019 දින ඩේලි නිව්ස් පුවත්පතේ පළකර තිබූ ලිපිය ඇසුරෙනි

අද කෙරෙන ඉදිකිරීම් දෙස බැලූ විට ‘ස්ථාන ගොඩනැඟීමේ කලාව‘ බරපතල ලෙස නොසලකා හැර ඇති බව පැහැදිලිව පෙනෙන සත්‍යයකි. වර්තමානයේ ඉදිකෙරෙන ස්ථාන හා ගොඩනැගිලිවලට ඒවායේ පිහිටීම, සමාජීය හා සංස්කෘතිමය වටිනාකම් හා කාලය සමඟ සම්බන්ධයක් නැති තරමට හැඟීම් හා අර්ථ විරහිත හරසුන් ඉදිකිරීම් බවට පත්ව තිබේ. නමුත් ස්ථානමය වටිනාකම්වලින් පොහොසත් ප්‍රවේණිගත උරුමයන් සමකාලීන වටාපිටාවන්ට ආවේණික ලක්ෂණ පුනර්වර්ධනය සඳහා යොදාගන්නට බැරිකමක් නැත.

‘ස්ථානය‘එනම් ප්‍රංශ බසින් හැඳින්වෙන පරිදි 'Milieu’ ‘ විශේෂ ආකාරයක වටාපිටාව‘ යන යෙදුම නොපැහැදිලි බහුඅරුත් ගෙනෙන්නකි. නිශ්චිත අර්ථයක් දෙන තුරු කිසිදු අර්ථයක් නැති සේ පෙනෙන ‘අවකාශය‘ යන යෙදුම මෙන් නොව ‘ස්ථානය‘ යන වචනය අර්ථාන්විතය. එහෙත් ඒ අපට වැදගත් වන ආකාරයේ සම්බන්ධකම් ඊට තිබේ නම් පමණි. නිදසුනක් ලෙස පුද්ගලයන්, සගයන්, ගුරුවරුන් හා සිසුන් සමඟ සම්බන්ධතා දක්වන බැවින් ‘විද්‍යාලය‘යන යෙදුම අර්ථාන්විතය. හිටපු විදුහල්පතිවරුන්ගේත්, විද්‍යාලීය කණ්ඩායම්වලත් ඡායාරූප එහි බිත්තිවල ප්‍රදර්ශණය කර තිබෙනු දැකගත හැකිය. එසේම මහජනතාව සතු බලය නියෝජනය කරන ස්ථානයක් මෙන්ම, අතීතයේදී ජයගත් විවිධ අරගලවල විජයග්‍රහණ අඛණ්ඩව සමරන ස්ථානයක් ද වන ‘පුරහල‘ද (නගරශාලාව) මහජනතාව උදෙසාම වූ ස්ථානයක් ලෙස සැලකිය හැක්කකි.

කිසියම් තැනක් ගැන ‘ස්ථානමය හැඟීමක්‘ඇතිවන්නේ අමතක නොවන ඉතා වැදගත් සිද්ධි මාලාවක්, පෞද්ගලික අත්දැකීම්, දර්ශණ හා ස්වභාවික සිදුවීම් වැනි දෑ එම ස්ථානය හා බැඳී පවතින්නේ නම්ය. කාලයත් සමඟ ස්ථාන හා මිනිසුන් එකිනෙකා අතර සම්බන්ධයක් ගොඩනගමින්, එකී ස්ථාන පිළිබඳ හැඟීම් කාලයෙන් කාලයටත්, පරම්පරාවෙන් පරම්පරාවටත් සම්ප්‍රේශණය කිරීමට උදව් කරන්නේ, එලෙස කිසියම් ස්ථානයක් ගැන පොදුවේ බෙදාහදාගත් අත්දැකීම් හා ඓතිහාසික සිදුවීම්ය.

ස්ථානමය හැඟීම

පුද්ගලයකුගේ ඇඟිලි සළකුණ සේම ‘ස්ථානමය හැඟීමද‘එකී පුද්ගලයාට අනන්‍ය වූවක් වන නිසා ඉතිහාසගත සිදුවීම් තුළ මුල් බැසගත් ස්ථානමය අර්ථ දැක්වීම, දීර්ඝ කාලයක් පුරා කිසියම් ස්ථානයක ජීවත්වීමත් සමඟ මිනිස් ආත්මය සමඟ ඒකාත්මික වූවක් බවට පත්වේ. අපේ අනන්‍යතාව ලබා දෙන්නේ සමාජීය වශයෙන් මෙන්ම භූ විද්‍යාත්මක වශයෙන් ද ස්ථීර වූ පිහිටීම හෙවත් ස්ථානය විසිනි.

කිසියම් ප්‍රදේශයකට හිමි ඉතිහාසය සහ මානව සම්බන්ධතා කියාදෙන යම් පුද්ගලයකුගේ ස්ථානමය හැඟීම යනු මිනිසා සිය වටාපිටාව සමඟ ගනුදෙනු කර ඇති ආකාරය අවබෝධ කරගැනීමට ඇති කදිම මාර්ගයකි. ඉතිහාසය පුරාවටම සිය සංස්කෘතිමය පැවැත්ම ආරක්ෂා කරගනිමින්, දේපළ ඉඩකඩම් රැකගැනීමට මිනිසාව පෙළඹවූ මෙම අවබෝධය ඒ නිසාවෙන්ම, උරුමයන් පිළිබඳ භාරකාරත්වය සඳහාද ඵලදායක ලෙස යොදාගත හැක.

බහුඅරුත් ඇති ‘ස්ථානමය හැඟීම‘යන යෙදුම විවිධ පුද්ගලයන්ට ලබාදෙන අදහස විවිධය. ගොවිපළ හිමියකුට සිය ගොවිපළ සම්බන්ධයෙන් ඇතිවන ‘ස්ථානමය හැඟීම‘තේරුම් ගන්නේ සිය රැකියා ස්ථානය ලෙසය. නමුත් අනෙකකුට එය සුන්දරත්වය විඳිය හැකි දර්ශණීය බිම්කඩකි. ඉඩම් හිමියන්, රටවැසියන්, ප්‍රජාව, ආණ්ඩු හා සමස්ථයක් වශයෙන් මුළු මහත් ගෝලීය සමාජයටම ‘ස්ථානමය හැඟීම‘යන්නට විවිධ අර්ථකථන ඇත. උරුමයන් වශයෙන් සැලකෙන ස්ථාන ආරක්ෂාකොට සංරක්ෂණය කරන්නේ කෙසේද යන්නට අරගලයක් උද්ගතව තිබෙන්නේ ඒ නිසාය.

ශීඝ්‍රයෙන් සිදුවන ගෝලීයකරණයත් සමඟ ආර්ථික වර්ධනය මෙන්ම බලායනයද සිදුකරමින් නාගරික සංවර්ධනය තුළ දැවැන්ත භූමිකාවක් ඉටු කරනු ඇතැයි බලාපොරොත්තු වන්නේ ‘අනන්‍යතා ගවේශණයෙනි'. සංරක්ෂණය තුළින් ආර්ථික ප්‍රතිලාභ විසර්ජනය කිරීම යනු උරුමයන් සංරක්ෂණය කිරීමේ ව්‍යාපාරයේ දිගුකාලීන නියෝජනයක් බවට හොඳම උදාහරණය දැකගත හැක්කේ සිංගප්පූරුවෙනි. එබඳු ආර්ථික ප්‍රතිලාභ ඊට සම්බන්ධ වූ සියල්ලන් අතර බෙදී යා යුතුය.

උරුමයන් කළමනාකරණය සම්බන්ධ කාරණාවලදී ‘ස්ථානමය හැඟීම‘ නැමැති සංකල්පය ඵලදායී ලෙස යොදාගෙන ඇති ස්ථානවලට නිදසුන් ගණනාවකි. නව එංගලන්තයේ සවුත් කින්ග්ස්ටවුන් නගරයේ ඓතිහාසිකමය වශයෙන් ඇති ජීවත්වීමේ ගුණාත්මක බව වැඩිදියුණු කිරීමේ සැලසුම් සකස් කිරීමට නගර වැසියන් සම්බන්ධ කර ගැනීමේ ව්‍යාපෘතියකට, ප්‍රජාවගෙන් ලැබුණු ප්‍රවේශය හා සහභාගීත්වය පුදුම සහගත විය. නව එංගලන්තයේ වෙනත් ගම්මාන රාශියක ද මෙම තත්ත්වයම කැපී පෙනෙන්ට තිබුණි. 2001 වසරේදී සිංගප්පූරුව සිය පස්අවුරුදු නාගරික සැලසුම් විග්‍රහ කිරීමේ දී සමීක්ෂණවලින් පෙනී ගොස් තිබුණේ, ජනතාව ස්ථානමය අනන්‍යතාව හා ප්‍රජා උරුමයන් ඉතා උසස්කොට සලකන බවයි. එබැවින් අධ්‍යාපනය හා සෞඛ්‍යය මෙන්ම ප්‍රවේණිගත උරුමයන් ද ජාතික වශයෙන් ප්‍රමුඛත්වයෙහි ලා සැලකීමට තීරණය කෙරිණි. ක්ලැරින්ග්ටන් හා ඔන්ටාරියෝ යන නගරවල අලුතෙන් ඉදි කළ වාණිජ නගර මධ්‍යස්ථානය පුළුල් කිරීමේදී මතු වූ ඓතිහාසික වටිනාකමකින් යුතු කඩමණ්ඩිය සුරැකීමේ අර්බුදයේ දී නගරවාසීන්ගෙන් ලැබුණු ප්‍රතිචාර හමුවේ, ඔවුන් හා එක්ව නගරයේ ඓතිහාසික වටිනාකම් හා ප්‍රවේණිගත ගොඩනැගිලි සංරක්ෂණය කිරීමේ වැඩසටහනක් සාර්ථකව ක්‍රියාත්මක කිරීමට නගර සභාවට හැකි විය. ඒ ‘ප්‍රජා උන්නති සැලසුම‘ නැමැති සැලසුම් කිරීමේ යාන්ත්‍රණයක ආධාරය ඇතිවය .

තනි පුද්ගලයන් වශයෙන් ගත් කළ ඒ හැම දෙනාටම විවිධ ස්ථාන හා සමඟ බැඳුණු විශේෂ සම්බන්ධතා තිබේ. මුලු ඉතිහාසය පුරාවටම පැවතුනු එබඳු සබඳකම් ඇසුරෙන් ‘ස්ථානමය හැඟීම‘යන්න හඳුනාගත් මිනිසා එය ආරක්ෂා කර ගනිමින් සංරක්ෂණය කිරීමට සටන් වැදුණි. හොඳම නිදසුනක් වන්නේ ශ්‍රී පාද පුදබිමයි. ශ්‍රි ලාංකිකයන් ‘ස්ථානමය හැඟීමක්‘ වර්ධනය කරගත්තේ කෙසේද යන්නටත්, විවිධ ක්‍රමවේදයන් ඔස්සේ ඉඩකඩම් ආරක්ෂා කර ගැනීමට හා උරුමයන් සංරක්ෂණයට කැමැත්තක් වර්ධනය කරගත්තේ කෙසේ ද යන්නත් අවබෝධ කරගැනීමට එය කදිම ඓතිහාසික නිදසුනකි. මෙවැනි සංස්කෘතිකමය වටිනාකමකින් යුතු ස්ථාන රැක ගනිමින් සංරක්ෂණය කිරීම සඳහා පොළඹවාලන ‘ස්ථානමය හැඟීම‘ලෙස හඳුනාගත හැකි සංකල්ප ඉතිහාසය පුරාවටම හමුවේ.

භූවිද්‍යාත්මක හා ජෛව විද්‍යාත්මක විවිධත්වයෙන් හා දැනුමින් පෝෂිත ගබඩාගාර ලෙස ජාතික උද්‍යානවලට විද්‍යාත්මක වශයෙන් ඇති වටිනාකමට අමතරව, ඇමරිකානුවෝ ඒවා ගැඹුරු අධ්‍යාත්මික හා සංස්කෘතිකමය වැදගත්කමකින් යුතු ස්ථාන ලෙස සලකති. උද්‍යාන රැක ගනිමින් නොනැසී පවත්වාගෙන යාම සඳහා 1916 දී ජාතික උද්‍යාන සේවය පිහිටුවීමේ දී සුවිශේෂී භුමිකාවක් ඉටු කළේ ද පොළඹවන සුලු හා හැඟීම් දනවන සුලු ස්ථානයක් ලෙස ස්වභාවධර්මයට හිමිව ඇති එම පිළිගැනීමයි.

ප්‍ර ෙව්ණිගත උරුම

බ්‍රිතාන්‍ය කොලොම්බියාවේ ස්වදේශික හිමිකාරත්වය පිළිගැනීමට ලක්වීම හා ජනාවාස පිහිටුවා ගැනීම මඟින් සම්පත් කළමනාකරණය සම්බන්ධ ප්‍රතිපත්ති නිර්මාණයේදී ස්වදේශික ජනතාවගේ ක්‍රියාකාරී දායකත්වය ලබා ගැනීමට පළාත් මට්ටමින් පූර්වාදර්ශයක් සැපයීය. අවධානමට ලක්ව තිබූ ඇමරිකාවේ සැමන් මත්ස්‍ය කර්මාන්තය යළි නඟා සිටුවීමේදී මූලික වූ ඇමරිකාවේ ගෝත්‍රීය පාලන, වනාන්තර හා ජල සම්පත් කළමනාකරණයේදී ද සුවිශේෂී වගකීමක් දැරීය.

මේ හේතුවෙන් ‘ස්ථානමය හැඟීම‘ අවබෝධ කරගැනීම නැමැති සංකල්පය, ස්වභාවික ප්‍රදේශ, පුරාවිද්‍යාත්මක සංරක්ෂිත, ගම්මාන, ඉපැ‍රැණි වාසභූමි, ජල සම්පත්, නාගරික ගොඩනැගිලි, සංකේතාත්මක පිහිටීම්, හා නාගරික ස්ථානවල ප්‍රවේණිගත උරුම භාරකාරත්වය නිර්ණය සඳහා ව්‍යුත්පන්න කරගත හැක. වෙනත් රටවල දැකගත හැකි මේ ක්‍රමය මඟින් ප්‍රවේණිගත උරුම භාරකාරත්වය සම්බන්ධයෙන් රාජ්‍ය අධිකාරීත්වයට පැටවී ඇති ආතතිමය වගකීම මඳක් ලිහිල් කරනු ඇතිවා පමණක් නොව සංරක්ෂිත උරුමයන් ඒවායේ හිමිකරුවන්ට හා ප්‍රජාවටද වඩාත් අර්ථාන්විත වනු ඇත.

එවැනි උරුමයන් පිළිබඳ සම්පත් කළමනාකරණ ක්‍රමවේදයේ වාසි කිහිපයක් පහත පරිදි ගොනු කළ හැක.

1. දැනුවත්භාවය හා මහජන සහභාගීත්වය වැඩි කිරීම

2. සංස්කෘතිකමය සංවේදීතාව හා හරස් සංස්කෘතික අධ්‍යාපනය ප්‍රවර්ධනය

3. සම්පත් කළමනාකරණ කාර්යාවලියේ නිශ්චිත බව වැඩිදියුණු කිරීම

4. දැනුවත් සහගත සන්නිවේදන, තීරණ ගැනීම් හා ප්‍රතිදානයන්ට ඉඩ සැලසීම

5. තාක්ෂණික, මුල්‍ය හා සංස්කෘතිකමය ශක්‍යතාව වර්ධනය

6. කළමනාකරණය විසින් සම්පත් ‘විශ්වාසනීය‘ යැයි සලකන ආකාරයට ඉදිරිපත් කිරිම.

අනාගතයේදී උරුමයන් කළමනාකරණය කිරීම ගැන සැලකූ කළ,

1. සංස්කෘතිමය උරුමයන් කෙරෙහි මහජන දැනුවත්භාවයක් ඇති කිරීම හා ඒවායේ කළමනාකරණය කෙරෙහි මහජන හා ප්‍රජා සංගම් ඇසුරෙන් සිසුන් හා තරුණ ප්‍රජාව තුළද උනන්දුවක් ඇති කරවීම

2. උරුමයන් පිළිබඳ භාරකරත්ව වගකීම් හා ඒවා ක්‍රියාවට නැංවීම, පළාත් මට්ටමින් හෝ ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන සැලසුම් පද්ධතියකින් හෝ අධීක්ෂණය කළ හැකි, ප්‍රජාවන් මත පදනම්වූ පද්ධතියකට රැගෙන යාම.

3. සම්පත් කළමනාකරණ ඉලක්ක වෙත ළඟා වීමට අවශ්‍ය සංදර්භ මත පදනම්වූ කාර්ය පටිපාටි පිළියෙළ කිරීම හා ඒවා සෙසු ආයතන හා ප්‍රජා සමූහයා විසින් අනුගමනය කරන බව තහවුරු කරගැනීම.

4. ප්‍රධාන පෙළේ සංවර්ධන යෝජකයන් සමඟ එකඟතාවන්ට එළැඹීමට සංවිධාන හා ප්‍රජා සමූහයා උනන්දු කරවීම හා එමඟින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වැනි සංරක්ෂණය හා බැඳුණු රාජ්‍ය අධිකාරීන්ගේ වගකීම් හා කාර්භාරය අවම කිරීම.

5. නීතිමය පද්ධතියක් හා භූමි පරිභෝජන සැලසුම් ඇසුරෙන් මහජනතාව බලගැන්වීම.

6. සම්පත් කළමනාකරණ ක්‍රියාවලියට ලබාගන්නා සමාජ විද්‍යාඥයින්, මානව විද්‍යාඥයන්, සංස්කෘතික භූවිද්‍යාඥයන්, ඉතිහාසඥයන්, සංරක්ෂණවේදීන්, හා නගර නිර්මාණ ශිල්පීන්ගේ දායකත්වය වැඩි කිරීම.

7. ඉවසීම, පිළිගැනීම, දැනුවත්භාවය, හා කැමැත්ත යනාදි අංශ සම්බන්ධයෙන් පවත්නා නව අදහස් හා අවස්ථා ගැන සොයා බැලීම

උරුමයන් සංරක්ෂණය සම්බන්ධයෙන් ලොව පුරා නගර මුහුණ දෙන උභතෝකෝටික ගැටලු බොහෝ දුරට එක හා සමානය. සංරක්ෂණය කළ යුත්තේ මොනවාද? නැත්තේ මොනවාද? වැඩිම ජනාදරයට ලක්ව තිබෙන්නේ කවුරුන් අතරද? යනු එවැනි ගැටලු කිහිපයකි. රජයේ මැදිහත්වීමෙන් සිදුකෙරෙන සංරක්ෂණය යනු අතීත සිහිවටනවල කෘත්‍රිම අනුරූ හා කිසිදු ජීවයකින් හා සංස්කෘතිකමය වැදගත්කමකින් තොරවූ හුදෙක් නෙත සිත පිනවීම පමණක් අරමුණු කරගනිමින් නිර්මාණය කර පවත්වාගෙන යන භූමි දර්ශණවලට වඩා වැඩි යමක් නොවන බව ලොව වටා සිදුවීම් අපට මතක්කර දෙයි. සංස්කෘතික උරුමයන් ගැන අප සැලකිය යුත්තේ මිනිසාගේ ආධිපත්‍යය කෙරෙහි බලපෑම් කළ හැකි, ආර්ථික තත්ත්ව වර්ධනය කළ හැකි හා සමාජීය වටිනාකම් හා ගෞරවය වැඩි දියුණු කරන සම්පත් ලෙසය. සංස්කෘතික සම්පත් කළමනාකරණ ක්‍රියාවලිය පුරාවටම මහජනතාව අර්ථාන්විත ලෙස ඊට සිය දායකත්වය ලබාදෙන බැව් තහවුරු කළ යුතුය.

නමුත් අවාසනාවකට මෙන් මෙරට ගොඩනඟන ලද උරුමයන් කෙරෙහි ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලිය සම්බන්ධයෙන් වගකිව යුතු බලධාරින් දක්වන උනන්දුව තිබෙන්නේ අවම මට්ටමකය.

මෑත කාලයේ සිදුකළ නාගරික සංවර්ධන ව්‍යාපෘතින් මුල්කර ගනිමින් කොළඹ හා ඒ අවට නගර ගණනාවක පිහිටි ප්‍රවේණිගත උරුමයන් ලෙස වර්තමානයට දායාද කෙරුණු ගොඩනැඟිලි රාශියක් විනාශ කර දැමීම ඒ බව සනාථ කරන්නකි. කොම්පඤ්ඤවීදියේ පිහිටි ඉදිකිරීම්, මහා නගර සංකල්පයේ නාමයෙන් එලෙස කඩාබිඳ දැමෙද් දී, අතීත සිහිවටනයක් වන ‘කාසල් හෝටලය ද‘ ඒ මඟම අනුගමනය කරමින් සිටින්නේ තවත් එබඳු ඓතිහාසික වටිනාකමකින් යුතු ගොඩනැඟිලි රාශියක් ද සමඟය. මෙම ප්‍රදේශයේ පිහිටි තවත් එබඳු මනබඳනා සුලු ගොඩනැගිල්ලක් වන ‘සොයිසා ගොඩනැගිල්ල‘ යන්තම් විනාශ මුඛයෙන් ගැලවී ගත්තේ එය ප්‍රවේණිගත උරුමයෙන් දායාද වූ ගොඩනැගිල්ලක් ලෙස නිල වශයෙන් ලැයිස්තුගත වීම නිසාය. මේ අනුව බලන කල මහ නගර සංවර්ධන ප්‍රතිපත්තිවලට සිය සැලසුම්, පාරම්පරික ගොඩනැගිලි උරුම සංක්ෂණය කිරීමේ උත්සාහය සමඟ ඒකාබද්ධ කළ හැක්කේ කෙසේද යන්න ගැටලු සහගතය.

ස්මාරක

වර්තමානයේ ශ්‍රී ලංකාවේ උරුමයන් ලැයිස්තුවට ඇතුළත්ව තිබෙන්නේ ඉතාම අඩු ස්මාරක සංඛ්‍යාවක් වන අතර, තවත් එබඳු ස්මාරක හා ඓතිහාසික වටිනාකමකින් යුතු ස්ථාන රැසක් ඊට ඇතුළත් විය යුතුව තිබේ. කොළඹ හා වෙනත් නගරවල පිහිටි සියවසකට වඩා පැ‍රැණි ගොඩනැගිලි හා මඩකලපුවේ පිහිටි ලන්දේසි යුගයට අයත් ගොඩනැගිලි ඊට නිදසුන්ය. මේ නිසා පාරම්පරික උරුමයන් සියල්ල ලැයිස්තුගත කොට අවසන් කිරීමේ කිසියම් ක්‍රමවේදයක් සකස් කිරීමට සංරක්ෂණ බලධාරීන් ප්‍රමුඛස්ථානය දිය යුතුය.

උරුමයන් කළමනාකරණය කිරීමේදී මතුවන අවශ්‍යතා සඳහා වූ නීතිමය රාමුවකින් ද මෙම ලැයිස්තුව සන්නද්ධ කළ යුතු අතර වර්තමානයේදී උරුමයන් කළමනාකරණයේ දී මතුව ඇති ගැටලුවලට සාර්ථකව මුහුණ දීම සඳහා අවශ්‍ය අතිරේක යාන්ත්‍රණයන්ගෙන් හා පාලන ක්‍රමවේදයන්ගෙන් සංශෝධනයකොට, පවත්නා තත්ත්වයට අනුචිත ලෙස දැනට ක්‍රියාත්මකවන නීති පද්ධතිය හැඩගැස්විය යුතුය.

සංස්කෘතික උරුම

උරුමයන් කළමනාකරණය කිරීමේ වත්මන් ඉලක්ක ඒ හා සම්බන්ධ රාජ්‍ය හා පෞද්ගලික ක්ෂේත්‍රවල වෙනත් ආයතන හා සංවිධානවල ඉලක්කයන් හා යාන්ත්‍රණ සමඟ සම්බන්ධීකරණයකොට නැත. රාජ්‍ය හා වෙනත් ආයතනවල සහාය නැතිව උරුමයන් පිළිබඳ භාරකාරත්වය තීරණය කිරීම දුෂ්කර කර්තව්‍යයක් බව අමුතුවෙන් කිවයුතු නැත.

එක් ක්‍රමවේදයක් වන්නේ ජාතික උරුමයන් පිළිබඳ අධිකාරියේ නියමයන් යටතේ ක්‍රියාත්මකවන සංගම් ප්‍රජා මට්ටමින් පිහිටුවා, උරුමයන් පිළිබඳ ජාතික හා ප්‍රාදේශීය අධිකාරීත්වයේ අනුදැනුම යටතේ ක්‍රියාත්මකවන සම්පත් කළමනාකරණ කාර්යභාරයන් හා වගකීම් ඒවාට පැවරීමය. එමෙන්ම සංස්කෘතික අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ ප්‍රාදේශීය මට්ටමේ සැලසුම් හා පරිපාලනමය සංවර්ධන පද්ධතියක් සමඟ උරුමයන් කළමණාකරණ ක්‍රියාවලිය ඒකාබද්ධ කිරීම සඳහා යාන්ත්‍රණයක් ගොඩනැඟීම කෙරෙහි රජය සිය අවධානය යොමු කළ යුතුය. මෙකී උත්සාහයන් සාර්ථකවේ නම්, ප්‍රජා මට්ටමින් උරුමයන් පිළිබඳ භාරකාරත්වය නඟාසිටුවීම සඳහා ‘ස්ථානමය හැඟීම‘යන්න අතිශයින්ම කාර්යසාධනීය සංල්පයක් වනු ඇත.

පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු මහඟු සම්පත් හා සංස්කෘතික උරුමයන් රැකගැනීම සඳහා ඒ සම්බන්ධයෙන් වගකියන අධිකාරීන්ට නව ක්‍රියාමාර්ග හා වෙනස් ආකාරයේ ක්‍රමවේදයන්ට යොමුවීමට මින් පෙළඹවීමක් ලැබෙනු ඇත.

මේ අනුව බලනකළ නාගරිකව ගොඩනඟන ලද ප්‍රවේණිගත උරුමයන් කළමනාකරණය කරමින් රැක ගැනීමට ඒ වෙනුවෙන්ම කැපවූ අධිකාරියක් පිහිටුවීම වඩාත් කාලෝචිත වනු ඇත. මන්ද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධාන භූමිකාව වූ කලී පෞරාණික උරුමයන් හා පුරාවස්තු සම්බන්ධ ගැටලු ගැන සොයාබැලීම මිස ප්‍රවේණිගත නාගරික ඉදිකිරීම් වෙනුවෙන් මැදිහත්වීම නොවන බැවිනි.

රුක්ලන්ති පෙරේරා


නව අදහස දක්වන්න