පෘථිවි තලය ආහාරයට ගැනීම | දිනමිණ

පෘථිවි තලය ආහාරයට ගැනීම

 ආචාර්ය සුනිල් රණසිංහ - (මානවවිද්‍යා Anthropology සහ සත්ව චර්යාවිද්‍යාව Ethology)

වගා කළ හෝ නො කළ භූමි හෝ කඳුවැටි සහ වනාන්තරවල හරිත වර්ණ ශාක ගිනි නොතබන්න. අනවශ්‍ය ලෙස ශාක කපා බිම නොදමන්න. පොකුණු ගංඟා සහ සමූද්‍රවලට වස විස සහ දූෂක මුදා නොහරින්න. මහපොළව විනාශවන සේ තැන තැන බිඳ කැණීම් නොසාදන්න. - චීන දාර්ශනික ලාඔට් සූ

ඉන්දියාවේ හිමාල අඩවියේ පිහිටා ඇති කොමික් (Komik) ගම්මානය ලොව මාර්ගයක් සහිතව උසම ගම්මාන යයි. ලොව උසින්ම පිහිටි අනෙක් ගම්මාන නේපාලයේ ධෝ තරාප් (Dho Tarap) හා බොලිවියාවේ සාන්ත බාර්බරා (Santa Barbara) යැයි සඳහන් කළ හැක. එහෙත් ඉන්දියානු දේශසීමාවේ ටිබැටය අසල මීටර 4, 587 ක් උසින් පිහිටි මෙම ගම්මානය ලොව මෝටර් රථයකින් යා හැකි එකම මානව වාසස්ථාන යයි. කොමික් ගම්මානයේ සමස්ත ජනගහනය 130 කි. වාර්ෂිකව මාස හයක් සම්පූර්ණයෙන් ම හිම මිදෙන මෙම ගම්මානය ඉතා අලංකාර මානව වාසස්ථානයකි. කොමික් ගම්මානයේ දුරකථන හා අන්තර්ජාල පහසුකම් නැත. පාසල හා සෞඛ්‍ය පහසුකම් පිහිටා ඇත්තේ ඉතා දුරිනි. මෙම ගම්මානය යාබද ප්‍රදේශයේ 12, 000 ක පමණ ජනතාව ග්‍රීන් පීස්, බාර්ලි වගාව, සත්ත්ව පාලනය කරමින් ඉතා සතුටින් ජීවත්වූහ. එහෙත් දේශගුණික වෙනස නිසා දැන් ඔවුන්ගේ ප්‍රධාන සම්පත වූ ජල මාර්ග, දිය ඇලි, ගංගා, පොකුණු සිඳී යාම ආරම්භ වී ඇත. අතීතයේ මෙම ප්‍රදේශය ආසියාවේ ජල ටැංකිය ලෙස හැඳින්වීය.

ජල දූෂණය

ඉන්දියාව පසුගිය දසක කීපය තුළ භූගත ජලය කෘෂි කර්මාන්තය සඳහා බහුලව යොදා ගත්තේය. එමෙන්ම මතුපිට ජලය දූෂණය ද ඉතා අනතුරුදායක ලෙස වර්ධනය විය. එහෙයින් ලොව ජල හිඟයෙන් පෙළෙන ප්‍රධාන රාජ්‍යයක් ලෙස ඉන්දියාව නම් කර ඇත. ඉන්දියාවේ 50% ක් සහල් සහ 85% ක් තිරිඟු නිපදවන ජනයා උතුරුදිග පංජාබය සහ හරියානා ප්‍රදේශ ජල හිඟය නිසා පීඩා විඳිති. ගොවිතැන සඳහා ජලය ලබා ගත් ළිං 50% ක් සිඳීයාමේ අනතුරට ලක්ව ඇත. 80% ගංගා පොකුණු හා ජල මාර්ග අපද්‍රව්‍යවලින් දූෂණය වී ඇත. ග්‍රාමීය ජනයාගෙන් මිලියන 61 ක් පිරිසුදු පානීය ජලය හිඟයෙන් පීඩා විඳිති. තවත් මිලියන 770 කට ප්‍රමාණවත් සෞඛ්‍ය පහසුකම් නොමැත.

වර්ෂාව ක්‍රමිකව අඩුවීමක් හා උෂ්ණත්වය සෙල්සියස් අංශක 0.5 ක වැඩිවීමක් දක්නට ලැබෙයි. දේශගුණික වෙනස හේතුවෙන් ඉන්දියාව පුරා ගොවීන් මිලියන 200 කට ආසන්න සංඛ්‍යාවක් නිරතුරුව ජල හිඟයෙන් හා අධික උණුසුමෙන් පීඩා විඳිති. ණය බර හා අස්වැන්න පාලුවීමෙන් දහස් ගණනක් ගොවීහු සිය දිවි නසා ගනිති. 2050 වන විට ඉන්දියාව චීන ජනගහනය ඉක්මවා බිලියන 1.7 ක් දක්වා ඉහළ යා හැකි යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. වැඩිවන ජනගහනය සඳහා ඉන්දියානු භූමියේ ජලය ප්‍රමාණවත් වේ ද.

ආසියාව පුරා බිලියනයකට අධික ජනයා යැන්ග්ට්ෂි, ගංගේෂ්, මීකොං ගංගාධාරවල ජීවත් වෙති. මෙම සියලු ගංගා පෝෂණය වන්නේ හිමාල අඩවියෙනි. හිමාලය දේශගුණික වෙනස ඉතා තදින් දැනෙන ලොව වඩාත් සංවේ දී කලාප යයි. ග්ලැසියර දියවී යාම, නිසි කලට වැසි නොලැබීම, අවම හිම පතනය හා උණුසුම ඉහළ යාම වර්තමානයේ හිමාල ප්‍රදේශයේ දක්නට ලැබෙන සුලබ සිදුවීමකි. එහෙයින් හිමාල අඩවියේ ඉහළ පෝෂක ප්‍රදේශ මෙන්ම පහළ පෝෂණය වන කලාප අනාගතයේ දැඩි අනතුරකට ලක්වීමේ අවදානමක ලක්ෂණ දැන් දක්නට ලැබෙයි.

කෑදර පරිභෝජන රටාව

වත්මන් මානවයාගේ කෑදර පරිභෝජන රටාව මත පෘථිවියේ අනාගතය සඳහා රැකගත හැකි ද?. ආහාර නිෂ්පාදනය සහ සුඛෝපභෝගී ජීවන රටාව සඳහා ජලය අධික ලෙස භාවිත කිරීම අනාගත ජල හිඟයක පෙරනිමිත්තක් ද? නව පර්යේෂණ වාර්තා අනුව ශාක භක්ෂණය සහ මාංශ භක්ෂණය ජලය රැකගැනීමට උපකාරිවෙයි ද? ගෝලීය වැසියාගේ යහපැවැත්ම මනා සෞඛ්‍යයෙන් පරිපූර්ණවීමට නම් ඉතා ප්‍රවේශමෙන් සොබාසම්පතක් වු ජලය පරිභෝජනයට පෙළඹිය යුතුය. ඒ සඳහා මානවයා සූදානම් ද?

මාංශ හෝ හරිත ශාක බහුල ආහාර මත යැපීම ඔබේ තෝරාගැනීමකි. සෞඛ්‍ය සම්පන්න සහ පෝෂ්‍යදායී ආහාර වේල මානව පැවැත්මට අතවශ්‍ය සාධකයකි. එහෙත් නිරතුරුව සොබාදහමේ පැවැත්ම ගැන මානවයා විමසිලිමත් විය යුතුය. වාණිජ කෘෂිකර්මාන්තය ආහාර කැලරි එකක් නිපදවීම සඳහා ෆොසීල ඉන්ධන කැලරි දහයක් භාවිත කරයි. ගව මස් රාත්තලක් නිපදවීමට ජලය ගැලුම් 6.000 ක් අවශ්‍ය වෙයි. විශේෂයෙන්ම වත්මන් මානවයා පෘථිවි ගෝලයේ ජලය පිළිබඳ අවධානය යොමු කළ යුතු යැයි යුරෝපා සංගමයේ ඒකාබද්ධ පර්යේෂණ ආයතනය (European Commission’s Joint Research Centre) පවසයි. ලොව පුරා භූ විද්‍යාඥයන් 3000 කින් සැදුම් ලත් පීටර් ඩොරාන්ගේ නායකත්වයෙන් යුත් පර්යේෂණ මණ්ඩලයක් විසින් සකස් කළ වාර්තාවට අනුව 97% ක් ම දේශගුණික විපර්යාසයේ ක්‍රියාකාරිත්වය මානවයාගේ නිර්මාණයක් බව 2009 වසරේ සහතික කළහ. දේශගුණික වෙනස සඳහා වූ අන්තර් පාර්ලිමේන්තු කණ්ඩායමේ (IPCC)පර්යේෂණ වාර්තාවට අනුව 2020 පමණ වන විට අප්‍රිකානු මහාද්වීපයේ මිලියන 75-250 ත් අතර ජනතාවක් පානීය ජල හිඟයෙන් පීඩා විඳිනු ඇත.

ස්ථානීය හා අපනයනය කළ ආහාර පරිභෝජනය වෙනුවෙන් එක් පුද්ගලයකු සඳහා දිනකට එක්සත් රාජධානියේ ජල ලීටර 2720 ක් ද ජර්මනියේ ජල ලීටර 2.929 ක්ද ප්‍රංශයේ ජල ලීටර 3.861 ක් ද අවශ්‍ය යැයි එම වාර්තාවේ සටහන් වෙයි. මාංශ භාවිතයෙන් ජල පරිභෝජනය 11.35% ක් ද මාළු, රනිල බෝග හා සත්ත්ව තෙල් භාවිතයෙන් ජල පරිභෝජනය 33.35% ක් ද හරිත ශාක ආහාරයට ගැනීමෙන් ජල පරිභෝජනය 33.55% ක් රැක ගත හැක. දෛනික පිරිසුදු කිරීම් හා වෙනත් අවශ්‍යතා සඳහා ජල භාවිතය ගැන සැලකිලිමත් වීම අතවශ්‍ය වගකීමකි. එහෙත් මෙම තත්ත්වය පිළබඳ නිෂ්පාදකයාගේ මෙන්ම පාරිභෝගිකයාගේ දැනුවත්භාවය ඉතා අල්පය. වාණිජ සත්ත්ව පාලනය සඳහා අධික ලෙස ජලය භාවිත කරයි. ඇතැම් රාජ්‍ය තුළ දිනකට එක් පුද්ගලයකු ජල ලීටර් 3.000-4.000 අතර ප්‍රමාණයක් පරිභෝජනය කරයි. යුරෝපයේ ජනයා රත් පැහැ මාංශ, සීනි සහ මේදය අධික ලෙස පර්භෝජනය කරති. එහෙත් අවශ්‍ය තරම් පළතුරු හා එළවලු ආහාරයට නොගනිති. ( Nature Sustainability) සවුදි අරාබිය ධාන්‍ය වගාව සඳහා නළ ළිං මගින් ජලය ලබා ගත් අතර පසු ගිය දසක දෙක තුළ සියලු නළ ළිං සිඳී ගියේය. දැන් එරටට අවශ්‍ය ධාන්‍ය සියල්ලම පිට රටින් ගෙන්වයි. භූ ගත ජල මට්ටම ප්‍රයෝජනයට ගත නොහැකි සේ පහළ ගිය රාජ්‍යයන් 18 ක් අතරින් සවුදි අරාබිය එක් රටක් පමණි.

ගෝලීය ජනගහනයෙන් අඩක් ජීවත්වන රාජ්‍යයන්ගේ භූ ගත ජල මට්ටම අධික ලෙස උරා ගැනීම නිසා පහත වැටී ඇත. වර්තමානයේ දේශපාලන අර්බුද ඇති බොහෝ රජ්‍යයන්ගේ භූ ගත ජල මට්ටම එලෙස පහත වැටීම නිසා ධාන්‍ය වගාව අනතුරට ලක්ව ඇත. සිරියාවේ, ඉරාක හා යේමනනයේ ධාන්‍ය නිපැ යුම පහත වැටිණ. විශාල ලෙස ධාන්‍ය අස්වැන්න පහත වැටී ඇත්තේ චීනයේ හා ඉන්දියාවේය. ඉන්දියාවේ පමණක් නළ ළිං මිලියන 20 ක් නිම කර ඇත. අධික ජල භාවිතය නිසා භූගත ජල මට්ටම පහත වැටී බොහෝ නළ ළිං සිඳී ගොස් ඇත. ලෝක බැංකු වාර්තාවලට අනුව ඉන්දියානු ගොවියෝ මිලියන 175 ක් නළ ළිං මගින් ජලය සපයා ගනිති. චීනයේ තිරිඟු නිපැයුමෙන් අඩක් හා බඩ ඉරිඟු නිෂ්පාදනයෙන් 1/3 නළ ළිං මගින් ජලය ලබා ගනී. එනම් මිලියන 130 ක ගොවියෝ ඉන්දියාවේ මෙන්ම භූගත ජලය ලබා ගනිති. නළ ළිං වියැලීම සහ පස අනසි ලෙස භාවිතය නිසා බොහෝ ප්‍රදේශවල කාන්තාර ලක්ෂණ දක්නට ලැබේ. මෙම තත්ත්වය අනුව ලොව පුරා ගොවි බිම් 1/3 විනාශ වෙමින් පවතී.

1875 සහ 1878 කාලයේ දරුණු නියඟය නිසා ඉන්දියාව, චීනය, අප්‍රිකාව සහ දකුණු අමෙරිකාවේ ඇති වූ මහා සාගතයෙන් මිලියන 50 ජනයා මියැදුණහ. දේශගුණික සාධක මත වරින් වර නියඟ සහ සාගත ලොව පුරා ඇති වෙයි. අනාගතයේ ද එවැනි තත්ත්වයක් ඇතිවීමට ආන්තික දේශගුණික රටා බලපානු ඇත. එය මානව ඉතිහාසයේ සිදුවූ විශාලතම ව්‍යසනය යැයි වොෂින්ටන් සරසවියේ දීප්ති සිං ප්‍රකාශ කළාය. මෙ සමයේ ඉන්දියාව බ්‍රිතාන්‍ය පාලනය යටතට නතුව තිබිණ. යටත් විජිත පාලනය සාගතය මඟ හරිමින් ආහාර සඳහා ලාබය උදෙසා ධාන්‍ය ආනයනය කළ වග දීප්ති සිංග්ගේ ලේඛනයේ සටහන් වෙයි.

අභ්‍යන්තර ජලාශ පද්ධති

දෛනිකව මානවයා ගොවිතැන, ගේ දොර අවශ්‍යතා හා කාර්මික වුවමනා වෙනුවෙන් ජලය අධික ලෙස පරිභෝජනය කරයි, එමෙන්ම කෘෂි රසායන. කෘත්‍රිම පොහොර හා කාර්මික අපද්‍රව්‍ය හේතු කොට ගෙන මෙම ජල සම්පත දුෂණය වෙයි. එක්සත් ජාතීන්ගේ ජෛව විවිධත්ව තුන්වන වාර්තාවට අනුව ලොව පුරා තෙත්භූමි හා නොගැඹුරු ජල තටාක විනාශව යාම දැන් ආරම්භව ඇත. ජෛව විවිධත්වයේ නිරෝගීකම මනිනු ලබන තවත් මිනිත ක්‍රමයක් වන්නේ පානීය ජලයේ පිරිසුදුකමයි. යුරෝපයේ සහ උතුරු අමෙරිකාවේ ගොවිතැන සඳහා භාවිත කළ හැකි ජල සම්පතින් 56% - 65% අතර ප්‍රමාණයක් 1985 වසර වන විට වියළී ගියේය. ආසියාවේ සහ දකුණු අමෙරිකාවේ 6% - 27% ත් අතර ප්‍රමාණයකින් වියළී ගියේය. ග්‍රීසියට 75% ක තෙත් භූමිවල මුල් පාරිසරික තත්ත්වය අහිමිවිය. ස්පාඤ්ඤයේ 60% ක ස්වභාවික තෙත් භූ කලාප හා 1970 සිට 200 දක්වා දසක තුන තුළ ඉරාකයේ තෙත් භූමි 90% ක් අතුරුදහන් විය. ලොව පුරා ගංගා 40% ක සංවර්ධනය සඳහා යෝධ ඇළ වේලි තැනීමෙන් ස්වභාවික ගමන් මඟ අසුරා ඇත.

ගෝලීය ජනගහනයෙන් බිලියන 3.7 ක් සෑම වසරකම අවම වශයෙන් මාසයකට ආසන්න කාලයක් ජල හිඟයෙන් පීඩා විඳිති. ශ්‍රී ලංකාවේ ආන්තික දේශගුණික තත්ත්වයන් නිසා ගෙවී ගිය කාලය තුළ නියඟය හේතුවෙන් දිස්ත්‍රික්ක 20 කට ආසන්න සංඛ්‍යාවක් ජල හිඟයක් දක්නට ලැබිණ.

“ගංගා අපේ සහෝදරයෝය. ඔවුන් අපේ පිපාසය සංසිඳවයි. අපේ ඔරු පාරු රඳවා දරුවන් පෝෂණය කරයි. අප ඔබට මේ භූමිය විකුණන්නේ නම් ගංගා අපේ සහ ඔබේ සහෝදරයන් බව මතක තබාගන්න. ඔබේ අනෙක් සහෝදරයන්ට දක්වන කරුණාව සහ දයාව ගංගාවට දක්වන්න. වන සතුන්ගෙන් තොර ව මිනිසාට ජීවත් විය හැකි ද? සියලු සතුන් වඳ ව ගිය හොත්, මිනිසාගේ ආත්මය හුදකලා ව මිය යයි. වන සතුන්ට සිදුවන්නේ කුමක් ද? ඉතා ඉක්මණින් ම මිනිසාට ද ඒ ඉරණම ළඟාවෙයි. හැමදෙයක් ම එකිනෙකට සම්බන්ධයි” - රතු අමෙරිකානු නායක සියටල්


නව අදහස දක්වන්න