නිරෝ­ගී­කම මිල කළ නොහැ­ක Medicare 2019 | දිනමිණ

නිරෝ­ගී­කම මිල කළ නොහැ­ක Medicare 2019

ශ්‍රී ලංකාවේ එකම සෞඛ්‍යාරක්ෂණ ප්‍රදර්ශනය වන Medicare 2019 ජාතික සෞඛ්‍ය ප්‍රදර්ශනය 10 වැනි වරට ද සෞඛ්‍ය වෛද්‍ය අමාත්‍යංශයේ අනුග්‍රාහකත්වයෙන් සහ මෙඩිකෙයා සංවිධාන කමිටුව විසින් පවත්වන ලදී.මෙම ප්‍රදර්ශනයෙහි සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දේශීය හා ජාත්‍යන්තර වෙළඳ කුටි 220 කින් සමන්විත වූ අතර, ඔවුන්ගේ නිෂ්පාදන හා සේවා ප්‍රදර්ශනය කිරීම මඟින් මහජනතාවට සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමේ මාර්ගය කියා දීම ද සිදු කෙරිණි.

මෙම Medicare 2019 ජාතික සෞඛ්‍ය ප්‍රදර්ශනයෙහි මූලික පරමාර්ථය වූයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කාලෝචිත, නිරවද්‍ය සහ වැදගත් තොරතුරු සහ යාවත්කාලීනයන් සහිතව සාමාන්‍ය මහජනතාවට ලබා දීම ය . සෞඛ්‍ය ගැටළු මෙන්ම අති නවීන සෞඛ්‍ය ආරක්ෂණ තාක්ෂණය, විධිමත් රෝග නිවාරණ ක්‍රමවේදයන්, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මෑතකාලීන වෙනස්කම්, ඵලදායී ප්‍රතිකාර ක්‍රම, රෝහල්වල ඇති අනර්ඝතම සේවාවන් , විද්‍යාගාර පහසුකම් ආදිය පිළිබඳව මෙම ප්‍රදර්ශනය තුළදී දැක බලාගෙන අවබෝධ කර ගත හැකි විය.පහත දැක්වෙන්නේ Medicare 2019 ජාතික සෞඛ්‍ය ප්‍රදර්ශනයට සහභාගී වී සිටි සෞඛ්‍ය පහසුකම් සපයන ආයතන කිහිපයක නිළධාරීන් දක්වන ලද අදහස් කිහිපයකි.

DocOnCall

අපි මේ සේවාව මිනිසුන්ට හදුන්වා දීලා දැනට අවුරුද්දක් පමණ වනවා. අපගේ DocOnCall මොබයිල් ඇප් එක හරහා තමන්ට අවශ්‍ය වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබා ගැනීමට අවස්ථාව හිමි කර ගන්න පුළුවන්.බොහෝ රෝගීන් බෝහෝ වෛද්‍යවරුන් ළඟට ගිහින් තමයි තමන්ට අවශ්‍ය වෛද්‍යවරයා කව්ද කියලා අවබෝධ කර ගන්නේ. අපේ මේ ඇප් එක හරහා Audio call සහ vedio call මඟින් තමන්ට අවශ්‍ය වෛද්‍යවරයා සමඟ සාකච්ජා කරලා , උපදෙස්, අවශ්‍ය පරීක්ෂණ වර්ග, මෙන් ම presscription ලියා ගැනීමේ හැකියාවත් හිමි කර ගන්න පුළුවන්.

දැන් මිනිසුන්ට තියෙන කාර්යයබහුලත්වයත් එක්ක වෛද්‍යවරයෙකු හමුවෙලා උපදෙස් ගැනීම අපහසු කාර්යයක් වී තිබෙනවා. මේ ඇප් එක මඟින් වාහනයක යන ගමන් වුවත් තමන්ට අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබා ගන්න පුළුවන්. ඒ වාගේ ම මෙම සේවාව ඇවිදින්න , අපහසු තා තිබෙන වැඩිහිටි අයටත් බොහෝම ප්‍රයෝජනවත් වනවා. අපි මේ සේවාව දැනට නොමිලේ තමයි ලබා දෙන්නේ. ඇත්තටම මෙවැනි ප්‍රදර්ශනයක් තුළින් අපේ ජනතාවට විශාල දැනුවත් කිරීමක් කරන්න පුළුවන් . යනුවෙන් DocOnCall හි අළෙවි කළමණාකාරිණිය වන අරුණි ගුණසේකර ප්‍රකාශ කළහ.

 

CIC Agri Produce Export

( Pvt ) Ltd

අපේ ළඟ තියෙන හාල් වර්ග 03 ක් පාරම්පරිකයි, අනිත් හාල් වර්ග 03 සෞඛයට හිතකරයි. විශේෂයෙන් අද බොහෝ දෙනෙකුට දියවැඩියව තිබෙනවා. දියවැඩියාව හැදෙන්න මුල් වන්නේ ආහාරවල තිබෙන පිෂ්ඨය ග්ලූකෝස්බවට පත් වීමෙන් ඇති වන තත්ත්වයයි. අපි ළඟ තියෙනවා සුවඳ තියලා හාල් වර්ගයයි. මේක සුවඳැල් නෙමෙයි, වෙනත් හාල් වර්ගයක්. මෙම හාල්වලින් බත් ඉදුනු විට සුවඳක් දැනෙනවා. ඒ වාගේ ම රතු සහල්, රතු සුදු මිශ්‍ර වුණු සහල් අපේ ළඟ තියෙනවා. ලෙඩ රෝග වලින් තොරව සෞඛ්‍යසම්පන්නව සිටීම සඳහා වටිනා සහල් වර්ග මහජනයා අතට පත් කිරීම තමයි අපගේ අරමුණ වී තියෙන්නේ. මෙවැනි අති දැවැන්ත සෞඛ්‍ය ප්‍රදර්ශනයකට සහභාගී වී මිනිසුන්ව නිරෝගී කිරීමට අවසිථාවක් හිමි කර ගැනීමට ලැබීම භාග්‍යක් ලෙස සළකනවා. යනුවෙන් CIC Agri Produce Export ( Pvt ) Ltd හි මහජන උපදෙස් සපයන්නෙකු වන එස්.එම්.කේ මලින්ද ප්‍රකාශ කළහ.

 

Vision Care optical Services

වයසත් එක්ක අපි බොහෝ දෙනෙක් රෝගීන් බවට පත් වීම සාමාන්‍ය ස්වභාවයයි. රෝගීන් වු විට ඇගේ සිදු වන වෙනස් වීම් සමඟ ඇස්වලත් යම් වෙනස්වීම් සිදු වනවා. අපේ මේ ප්‍රදර්ශන කුටිය තුළින් පැමිණෙන ඕනෑම කෙනෙකුට නොමිලේ තමන්ගේ ඇසේ ඇති වී තිබෙන වෙනස්කම් බලා ගෙන පරීක්ෂා කර ගැනීමට පුළුවන්කර තිබෙනවා. ඇස්වල යමස් දුර්වලාවන් තිබේ නම් අපේ ළඟම තිබෙන Vision Care මධ්‍යස්ථානයකට හෝ අවශ්‍ය ‍වෛද්‍යවරයෙකු වෙත යැවීම සිදු කරනවා. පසුකාලීනව ඇස් දුර්වල කර ගෙන දුක්විඳිනවට වඩා කල් වේලා ඇතුව ඇවිල්ලා ඇස් පරීක්ෂා කර ගෙන සිටියොත් හොඳයි.

අපි මේ ප්‍රදර්ශනයෙහි සිටින දවස් තුනෙහි අපේ කුටිය වෙත පැමිණෙන අයට ප්‍රමිතියෙන් යුක්ත ඇස් කණ්ණාඩි, සන් ග්ලාස්

මිල දී ගැනීම සඳහා මෙන් ම ශ්‍රවණ පරීක්ෂාව සඳහා 15% ක වට්ටමක් ලබා දෙනවා. ඒ වාගේ ම මෙම දින තුනෙහි අපි කරන පරීක්ෂාවන් සියල්ලම නොමිලේ තමයි සිදු කරන්නේ . යනුවෙන් Vision Care Head of Academy හි දෘශ්ටි විශේෂඥයෙකු වන විද්‍යා ජයරත්න මහතා ප්‍රකාශ කළහ.

 

Asiri Hospital

අපේ මෙම කුටිය තුළ Asiri Hospital ජාලයේ ඇතුළත් සෑම මධ්‍යස්ථානයකම සේවාවන් ඉටු කරනවා. මෙම ස්ථානයට පැමිණෙන පුද්ගලයින්ට තමන්ගේ රුධිර පරීක්ෂාවක් නොමිලේ සිදු කර ගැනීම, අධික රුධිර පීඩන තත්ත්වය මැන ගැනීම නොමිලේ සිදු කර ගැනීමට පුළුවන්කම තියෙනවා.එලෙස පරීක්ෂා කරලා තමන්ගේ සෞඛ්‍ය තත්ත්වයට කුමන හෝ ගැටලුවක් එල්ල වී පවතිනවා නම් ඒ පිළිබඳව වෛද්‍ය උපදෙස් ලබා දීමත් අපි සිදු තරනවා. ඒ වෛද්‍ය උපදෙස් ලබා දීමත් සිදු කරන්නේ ශ්‍රී ලංකාවේ පළපුරුදු, දක්ෂ වෛද්‍යවරුන් විසිනුයි. මෙවැනි දියවැඩියා මධ්‍යස්ථානය, මව සහ දරුවාගේ සෞඛ්‍ය තත්ත්වය සොයා බලන මධ්‍යස්ථානය,AOI යනාදී අපගේ වෛද්‍ය මධ්‍යස්ථානවලිනුත් උපදෙස් ලබා දීම අප සිදු කරනවා. මෙවැනි විශාල සෞඛ්‍ය ප්‍රදර්ශනයකට ඉදිරිපත් වීමට ලැබීම මඟින් අපගේ මහජනතාවට පුළුල් සේවාවක් සිදු කිරීමට අවස්ථාව හිමි වීම පිළිබඳව Asiri Hospital ජාලයේ අපි සැවොම ස්තූතිය පළ කළ යුතු වනවා. යනුවෙන් Asiri Hospital හි ජේෂ්ඨ අලෙවි කළමණාකරුවකු වන ශාලිත එදිරිවීර මහතා ප්‍රකාශ කළහ.

 

Sri Lanka Collage of Paediatricians

 

අපේ මෙම Sri Lanka Collage of Paediatricians මගින් අපි ස්වේච්ජාවෙන් ඉදිරිපත් වෙමින් ශ්‍රී ලංකාවේ හදවත් රෝගී දරුවන්ව මිය යන්නට නොදී ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් තමයි සිදු කරන්නේ. ශ්‍රී ලංකාවේ අවුරුද්දකට සංජනනීය හෘදයාබාධවලින් යුක්ත දරුවන් 3000 ක් පමණ උපත ලබනවා. කොළඹ ළමා රෝහල සහ ලංකාවේ රෝහල් 03 ක පමණයි දැනට හෘදයාබාධ සහිත දරුවන්ගේ ශල්‍යකර්ම සිදු කරන්නේ.එලෙස ශල්‍යකර්ම සිදු කිරීම මගින් අපිට බේරා ගන්න හැකි වන්නේ දරුවන් 1600 ක් පමණ ප්‍රමාණයක් පමණයි. 1500 ක් පමණ දරුවන් මරණයට පත් වීමේ අවධානමක් තියෙනවා.

ලංකාවේ දක්ෂ වෛද්‍යවරු සිටියත්, ශල්‍යකර්ම සදහා අවශ්‍ය ශල්‍යගාර සහ උපකරණ හිගතාවක් පවතිනවා. අපි දැනට ශල්‍යාගාර සහිතව තට්ටු 12 කින් යුක්ත ගොඩනැගිල්ලක් ඉදිරීමට සදහා බිලියන 2 ක මුදලක් වැය වනවා. දැනට අපිට මිලියන 750 ක පමණ මුදලක් අපි සොයා ගෙන තියනවා. ඉතිරි මුදල සොයා ගැනීමට තමයි අපි මේ ප්‍රදර්ශනයට එක් වුණේ . මම කියන්නේ පුළුවන් හැම කෙනෙක්ම අපිට පුළුවන් විදිහට උදව් කරන්න කියලයි . යනුවෙන් රසායනාගාර නිලධාරිණියක වන ප්‍රදීපා නවරත්න ප්‍රකාශ කළහ.

විශේෂයෙන්ම මෙම ප්‍රදර්ශනය කොළඹින් පිට ප්‍රදේශවල ආදායම් තත්ත්වයින්වලින් අපහසුතාවන්ට ලක් වී සිටින මිනිසුන්ට වටිනා අවස්ථාවක් විය. විශාල මුදලක් වැය වන වෛද්‍ය පරික්ෂණ සදහා මෙන්ම වෛද්‍ය උපදෙස් සදහා මෙම ප්‍රදර්ශනය ඔවුනට මිල කළ නොහැකි අවස්ථාවක් වූ බව කිය යුතුම ය. ඇති හැකි පුද්ගලයින්ට වඩා ආර්ථික අපහසුතාවන්ගෙන් පෙළෙන මිනිසුන්ට නොමිලේ වෛද්‍ය පහසුකම් හිමි කර දීමේ දැවැන්ත පුණ්‍ය ක්‍රියාව හේතුවෙන් මෙම Medicare 2019 ජාතික සෞඛ්‍ය ප්‍රදර්ශනය සංවිධානය කළ පිරිසට ගෞරවනීය ස්තූතිය පුද කළ යුතු ය.

 

සටහන- මදාරා මුදලිගේ

ඡායාරූප- සරත් පීරීස්

නව අදහස දක්වන්න