2020 - ලංකාව බිම් බෝම්බවලින් තොරයි | දිනමිණ

2020 - ලංකාව බිම් බෝම්බවලින් තොරයි

(ක්‍රිසන්ති විතාරණ)
 
බිම් බෝම්බ ඉවත් කිරීමේ කර්තව්‍ය සාර්ථකව සිදු  කරමින් වසර 2020 වන විට ශ්‍රී ලංකාව බිම් බෝම්බ වලින් තොර රටක් ලෙස ජාත්‍යන්තරයේ සනිටුහන් වනු ඇති බව ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු,   පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීම්, උතුරු පළාත් සංවර්ධන, වෘත්තිය පුහුණු හා නිපුණතා සංවර්ධන හා තරුණ කටයුතු  අමාත්‍යංශයේ ලේකම්, ජාතික බිම්බෝම්බ කටයුතු මධ්‍යස්ථානයේ ජාතික අධ්‍යක්ෂ වී. සිවඥාණසෝති මහතා පවසයි. 
 
ඒ මහතා මෙසේ ප්‍රකාශ කළේ ඊයේ (13) කොළඹ දී  ශ්‍රී ලංකා ජාතික බිම් බෝම්බ කාර්යය උපාය මාර්ග (2016- 2020) සැලැස්ම එළි දැක්වීමේ අවස්ථාවට එක්වෙමිනි.  
 
මේ අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ බිම් බෝම්බ ඉවත් කිරීමේ මෙහෙයුම් කටයුතු සඳහා සහය දක්වන රටවල තානාපතිවරුන්, නියෝජිතයින්, රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන වල නියෝජිතයින් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ. 
 
යාවත්කාලීන වූත් ශක්තිමත් වූත් බිම් බෝම්බ කාර්යය උපාය මාර්ග සැලැස්මක් තිබීම ඉතා වැදගත් බවත් වසර 30ක අර්බුදයෙන් පසු උතුර හා නැගෙනහිර විශාල ප්‍රදේශයක් බිම් බෝම්බ අනතුරට මුහුණ දුන් බවත් වී. සිවඥාණසෝති මහතා මෙහිදී පැවසීය. එය පැවැති අර්බූදයට වඩා ව්‍යසනයක් වූ බව ප්‍රකාශ කළ ඒ මහතා වර්ග කිලෝ මීටර් 1302ක භූමි ප්‍රමාණයක් ඊට අයත් බවට ඇස්තමේන්තු කළ බව සඳහන් කළේය. දිස්ත්‍රික්ක වශයෙන් ගත් කළ උතුරේ දිස්ත්‍රික්ක පහක් සහ නැගෙනහිර දිස්ත්‍රික්ක තුනක් බිම්බෝම්බ වැඩිම ප්‍රදේශ හඳුනා ගනු ලැබූ බව ඔහු පැවසීය. 
 
කෙසේ වුවත් මේ වන විට මේ අතරින් බොහෝ ප්‍රදේශ බිම් බෝම්බ වලින් නිදහස් ප්‍රදේශ බවට පත් කිරීමට හැකි වූ බව සිවඥාණසෝති මහතා අවධාරණය කළේය. ඒ අනුව බිම් බෝම්බ ඇති බවට අනුමාන කළ  වර්ග කිලෝ මීටර් 1302ක් වූ භූමි ප්‍රමාණය මේ වන විට වර්ග කිලෝමීටර් 25දක්වා අඩු කිරීමට හැකිව ඇති බව ඔහු පැවසීය. ඒ වෙනුවෙන් සහය ලබා දුන් ජපානය, අමෙරිකා එක්සත් ජනපදය, ජර්මනිය, කැනඩාව, එක්සත් රාජධානිය, නෝර්වේ, ඔස්ට්‍රේලියාව ඇතුලු සියළු පාර්ශවයන්ට ස්තූතිය  පිරිණමන බව ද මෙහිදී ප්‍රකාශ කළේය. 
 
විශේෂයෙන් නෝර්වේ රජය විසින් ලබා දුන් ඩොලර් බිලියන 7ක  අනුග්‍රහය සිහිපත් කළ යුතු බව ද ශ්‍රී ලංකා යුද හමුදාව, හෙලෝ පදනම, මැග්, ඩෑෂ්, ෂාප් සංවිධාන විසින් බිම් බෝම්බ ඉවත් කිරීම සම්බන්ධයෙන් දක්වන ලද සහයෝගය අගය කරන බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

නව අදහස දක්වන්න