පාරම්පරික ගොවිතැනට නව පණක් දෙන දඬුබැඳිරුප්ප සමඟි කාන්තා සමිතිය | දිනමිණ

පාරම්පරික ගොවිතැනට නව පණක් දෙන දඬුබැඳිරුප්ප සමඟි කාන්තා සමිතිය

ගලේවෙල මධ්‍යම සමූහ පී.ජී.ගුණතිලක

ගලේවෙල දඬුබැදිරුප්ප 'සමඟි'කාන්තා ගොවි සමිතියේ සාමාජිකාවන් වගා කළ කුරක්කන් වගාවේ අස්වැන්න නෙළීම පසුගිය දා (1) සිදු කෙරිණි.

මෙම සමීතිය පිහිටුවීමේ අරමුණ එම ගමේ කාන්තාවන්ට ස්වයං රැකියාවක් කරමින් අභාවයට යමින් තිබෙන අපේ පාරම්පරික ගොවිතැනට නව පණක් ලබා දී ගිලිහෙමින් පවතින ගම්වලට සමඟිය සහ ජීවනය ඇතිකිරීමයි. ඊට අමතරව එකිනෙකාගේ අනෙයා්න්‍ය සහයෝගය ලබාගෙන රයින් ඔවුන්ගේ ආර්ථිකය නඟා සිටුවීම එහි ප්‍රධාන ඉලක්කයයි.

මෙහිදී කුරහන් අස්වැන්න නෙළන අතරතුර අදහස් දැක්වූ එම සමිතියේ ලේකම් ඩබ්ලිව්.එම්.සුමනා කුමාරිහාමි මහත්මිය (41) මෙසේ පැවැසුවාය. මේ සමිතිය අරම්භ කළේ 2016 ජූනි මාසයේයි. මේ සඳහා මූලිකම කටයුත කළේ ස්වයං රැකියාවක් කර විශාල ආර්ථික දියුණුවක් ලබාගෙන දේවහූව ජනපදයේ අනුලා සුරවීර මහතිමියයි. ඇය නිෂ්පාදනය කරන කුරහන් පිටි නිෂ්පාදනවලට අවශ්‍ය කුරක්කන් වගා කළේ අපේ ගමේ ඉඩමකයි. ඒ අනුව අපි කිහිපදෙනකුට ඇයගේ අත්දැකීම් බෙදා ගැනීමට ආරාධනා කළා. අනතුරුව මෙම සමීතිය පිහිටුවා ගත් අතර, එහි සාමාජිකයන් 25ක් පමණ දැනට ඉන්නවා. පසුගිය වසර දෙකේ දී අනුලා මහත්මිය අපට ස්වයං රැකියාවලින් ජීවිතය ජය ගන්නා අන්දමත්, ප්‍රායෝගිකව කියා දුන්නා. සෑම මාසයකම අපේ සමිතිය රැස්වී තම තමන්ගේ අත්දැකීම් බෙදා ගන්නවා. ඒ අනුව ඇය අපට බිම්මල් වගාව, කෙසසෙල් පඬරැල්වලින් භාණ්ඩ නිෂ්පාදනය, මඤ්ඤොක්කා, පොළොස්, කාමරන්කා, කුරක්කන් ආදියෙන් කෑමබිම නිෂ්පාදනය කරන අයුරු කියා දුන්නා. අපේ සමිතියේ කිහිපදෙනෙක් මෙලෙස ඒවායින් ප්‍රයෝජන ගන්නවා. ආදායම් ලබනවා. ඒ අතරතුර මෙවැනි වගා කටයුතුවලත් නිරත වෙනවා. ලබන යල් කන්නයේ අපි තල වගාකිරීමට අදහස් කරගෙන ඉන්නවා. අපිට තිබෙන ලොකුම අභියෝගය ජල ප්‍රශ්නයයි. වගා ළිඳක් ඉදිකර දීමට රජයේ හෝ රාජ්‍යනොවන සංවිධානයක් උදව්කරනවා නම් අපිට ලොකු ශක්තියක්.

මේ පිළිබඳ අදහස් දක්වන අනුලා සුරවීර මහත්මිය මෙසේ පැවැසුවාය. කාන්තාවන් නිවෙස්වලට වී නිකරුණේ ගතකරන කාලයෙන් බිඳක් ස්වයං රැකියාවකට යොමුකර ජීවිතය ජය ගන්නා හැටි කියාදීමට මෙම සමිතිය ආරම්භ කළා. එයින් ඔවුන්ට තමන්ගේ ශක්තිය හා විස්වාසය ඇතිකරගෙන ආර්ථිකය නඟාසිටුවීමට අපේක්ෂා කරනවා. මගේ අත්දැකීම් ඔවුන් අතර බෙදාදීම සමාජ සේවයක් ලෙස සලකා එම සියලු කටයුතුවලට මම දායකත්වය ලබා දෙනවා. මම ප්‍රාදේශීය, දිස්ත්‍රික්, පළාත් හා ජාතික මට්ටමින් පැවැත් වූ ව්‍යවසායකයන්ගේ තරගවලින් ජයග්‍රහණ රාශියක් ලබා ගෙන තිබෙනවා.

මෙහිදී තවත් සුවිශේෂි සිද්ධියක් විය. දඬුබැඳිරුප්ප පෙරපාසලේ සිසුන්ට කුරක්කන් අස්වැන්න නෙළන අන්දම නැරඹීමට අවස්ථාව ලබා දීමයි. එහිදී සිසුන් දැනුවත් කිරීමට එහි සිටි කාන්තාවෝ පියවර ගත්හ. එය බාල පරම්පරාවට නැවුම් අත්දෑකීමක් වූවාට සැකයක් නැත. රාජයේ මැදිහත්වීමක් නොමැතිව පැවැති මෙවැනි ආදර්ශමත් වැඩසටහන් පිළිබඳෙ බලධාරීන්ගේ අවධානය යොමුකළහොත් එය රජයේ අපි වවලයි අපි කන්නේ ව්‍යාපෘතියට ශක්තියක් වනු නිසැකය.

නව අදහස දක්වන්න