වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩක සම්මානය හඹා යන කලන පෙරේරා | දිනමිණ

වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩක සම්මානය හඹා යන කලන පෙරේරා

රාජකීය - සාන්ත තෝමස් 140 වැනි නිල් මහ සටන කඩුලු 7කින් ජයගනිමින් වසර 12කට පසුව දෙපිල අතර හුවමාරු වන ඩී.එස්.සේනානායක පළිහ අත්කර ගැනීමට සාන්ත තෝමස් විදුහලට මං විවර කර දුන් වමත් වේගපන්දු යවන කලන පෙරේරා තරගයේ වීරයා සහ දක්ෂතම පන්දු යවන්නා ලෙස සම්මාන ද්විත්වයම හිමි කරගත්තේය.

හෙතෙම මෙවර සන්ඩේ ඔබ්සර්වර් - මොබිටෙල් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය හඹා යන ක්‍රීඩකයන් අතර ඉදිරි පෙළේ පසුවෙයි. ලබන ජූලි මස 28 වැනිදාට 19 වැනි වියට පා තබන මේ සුපිරි තුන්ඉරියව් ක්‍රීඩකයා 140 වැනි නිල් මහ සටනේ වඩාත්ම කැපී පෙනෙන ක්‍රීඩකයා බවට පත්වූයේ පන්දුවෙන් පමණක් නොව පිත්තෙන් ද දස්කම් පාමින් සාන්ත තෝමස් පළමු ඉනිමේදි ලකුණු 62ක් රැස් කිරීමෙනි.

රාජකීය විදුහල් පිලේ පළමු ඉනිමේදී ලකුණු 54කට කඩුලු 6ක් උදුරා ගත් කලන දෙවැනි ඉනිමේදිත් ලකුණු 102කට කඩුලු 3ක් දවාලමින් තරගය පුරා කඩුලු 9ක් අත්කර ගත්තේය. ඔහුට තව එක් කඩුල්ලක් දවාගැනීමට අවස්ථාව ලැබුණේ නම් නිල් මහ සටන ක්‍රිකට් ඉතිහාසයේ වසර 70කට පසුව තරගයකදී කඩුලු 10ක් වාර්තා කළ පළමු පන්දු යවන්නා ලෙසත්, සාන්ත තෝමස් විදුහල් පිල වෙනුවෙන් වසර 85කට පසුව එවැනි දස්කමක් පෑ පළමු පන්දු යවන්නා ලෙසත් වාර්තා පොත අලුත් කිරීමට ඉඩ තිබිණි.

ඔබ්සර්වර් - මොබිටෙල් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය මෙන්ම වසරේ ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය සඳහා පාඨක ඡන්ද ලැයිස්තුවේ තුන්වැනි තැනට පත්වී සිටින්නේ ඡන්ද 2766ක් ලබා ගනිමිනි.

මෙවර නිල් මහ සටනේදී ඉනිමක කඩුලු 5ක් දවාලීමට කලන සමත්වූයේ පිට පිට තුන්වැනි වරටය. මීට පෙර 2017දී සිය මංගල නිල් මහ සටනේදී ඉනිමක කඩුලු 5ක් දවාලීමට සමත්වූ කලන අනතුරුව 2018 වසරේ තරගයේදීත් ඉනිමක කඩුලු 5ක් බිඳ දැමුවේය.

පානදුර ලයිසියම් ජාත්‍යන්තර විදුහලේ අවුරුදු 13න් පහළ සහ 15න් පහළ කණ්ඩායම් නියෝජනය කරමින් ක්‍රිකට් ක්‍රීඩාවේ අත්පොත තැබූ කලන අනතුරුව සාන්ත තෝමස් විදුහලට එක්වීමෙන් පසුව එම විදුහලේ අවුරුදු 17න් පහළ සහ 19න් පහළ කණ්ඩායම්වලට නැතිවම බැරි ක්‍රීඩකයකු බවට පත්විය.

මෙවර පාසල් තරගවාරයේදී කෑගල්ල සාන්ත මේරි විදුහල් පිල සමග පැවැති තරගයේ දෙවැනි ඉනිමේදී එක් ලකුණකට කඩුලු 8ක් දවාලමින් වාර්තාවක් බිහි කළ කලන පෙරේරා 2017 වසරේදි අවුරුදු 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේදී දෙහිවල එස්. ද එස්. ජයසිංහ විදුහල් ඉනිමේ ලකුණු 3ක් පමණක් ලබාදී කඩුලු 10ම බිඳ දැමීමට සමත් විය. මෙරට පාසල් ක්‍රිකට් ඉතිහාසයේ අවුරුදු 17න් පහළ තරගයක ඉනිමකදී කඩුලු 10 ක් දවාගත් පළමු පන්දු යවන්නා ඔහු විය. එම තරගයෙන් සාන්ත තෝමස් විදුහල කඩුලු 9 ක ජයක් ලැබූ අතර තරගය නිමාවූයේ පැයක් ඇතුළතදීය.

ජාතික ක්‍රිකට් පිලේ කදිම අනාගත ආයෝජනයක් වනු ඇතැයි අනාවැකි පිට අනාවැකි පළකරමින් සිටින මේ විශිෂ්ට යොවුන් වේග පන්දු යවන්නා කාලයක් ජාතික පිලේ වමත් වේග පන්දු තුරුම්පුව බවට පත්වූ චමින්ද වාස්ගේ අඩුව පුරවාලනු ඇතැයි ද අනාවැකි පළවී තිබේ.

සැබැවින්ම කලනගේ ක්‍රිකට් වීරයා ද වාස්ය. ඔහු යටතේ පුහුණුව ලබමින් උපදෙස් රැසක් ලබාගැනීමට හැකිවූ බව කලන පෙරේරා කියා සිටින්නේ අපමණ සතුටිනි.

පන්දුවේ වේගයට වඩා මානසිකත්වය සහ ශාරිරික යෝග්‍යතාව ඉහළින් පවත්වා ගැනීමට අවධානය යොමු කරන ලෙස චමින්ද වාස් ලබා දුන් උපදෙස් ඒ අයුරින්ම ඉටු කරමින් අනාගතයේදී ජාතික කණ්ඩායම නියෝජනය කිරීම ඔහුගේ එකම බලාපොරොත්තුව බවට පත්වී ඇත.

‘විශිෂ්ට තුන්ඉරියව් ක්‍රීඩකයෙක් වෙන්නයි බලාපොරොත්තුව. ඒ වගේම වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා විදිහට සම්මානයක් දිනාගැනීමටත් ආසාවක් තිබෙනවා.‘ කලන කියයි.

ෆවුස් මොහොමඩ්


නව අදහස දක්වන්න