ලෙඩ නිවාඩු! | දිනමිණ

ලෙඩ නිවාඩු!

ලෙඩ නිවාඩු නිසා ඊයේ අපේ පාසල් පද්ධතිය අකර්මණ්‍ය විය. ඇතැම් දරුවෝ උදෑසන පාසලට ගොස් ඒ සැණෙන් පෙරළා ගෙදර ආහ. තව දරුවන්ට පාසල් නොයන ලෙස උපදෙස් ලැබී තිබිණි. තවත් දරුවන්ට කැමැති දෙයක් කරන හැටියට උපදේශනයක් ලැබී තිබිණි. එක දිනක් ‍පාසල් පද්ධතිය අකර්මණ්‍ය වීම ජාතික අපරාධයකි. වෘත්තීය සමිති මෙහි වගකීම ආණ්ඩුව දෙසට හරවන අතර; අමාත්‍යාංශය එහි වගකීම වෘත්තීය සමිති භාරගත යුතු යැයි කියා සිටී. ගුරුවරුන්ගේ වැටුප් හා දීමනා වැඩි කරන කාලයක හා එම වෘත්තියට අදාළ පුහුණුවීම් හා පහසුකම් වැඩි කරන කාලයක මෙබඳු වර්ජනයක් ක්‍රියාත්මක වීම හැම අතෙකින් ම පුදුම සහගත ය.

වෘත්තීය සමිති තිහක් වර්ජනයට එක් වී සිටියහ. ඔවුන්ගේ ඉල්ලීම් කිහිපයක් තිබේ. එක; ගුරු සේවයේ හා විදුහල්පති සේවයේ වැටුප් විසමතා නිවැරැදි කර දීම ය. දෙක; ගුරු සේවයට අදාළ වාර්තා සකස් කිරීම ඇතුළු ලේඛන වැඩ නවතා දැමීම ය. තුන; අධ්‍යාපනය සඳහා ජාතික ආදායමෙන් 6% ක ප්‍රතිපාදන වෙන්කිරීම ය. මේ සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු නොවන්නේ නම් අඛණ්ඩ වැඩ වර්ජනයකට යන බවට ද ඇතැම් වෘත්තීය සමිති අනතුරු හඟවා තිබේ.

පළමුව විමසා බැලිය යුත්තේ මේ ඉල්ලීම් සාධාරණ ද? ඒවා විසැඳීම සඳහා ගෙන යන ක්‍රියාමාර්ග යුක්ති සහගත ද යන්න ය. රාජ්‍ය සේවය තුළ වැටුප් විසමතා ඇති ක්ෂේත්‍ර ගණනාවක් තිබේ. සමස්තයක් ලෙස සියලු ක්ෂේත්‍රවල වැටුප් විසමතා ඉවත් කිරීමට රජය වැඩපිළිවෙළක් යොදා තිබේ. ගුරු සේවයේ හා විදුහල්පති සේවයේ වැටුප් විසමතා ඉවත් කිරීමට අදාළ යෝජනා සහිත වාර්තාව කොමිෂන් සභාව වෙත යවා ඇති බව කියැවේ. ඒ අනුව තවත් සුළු කාලයකින් වැටුප් විසමතා ඉවත් කිරීමට නියමිත බව පෙනී යයි. එම සුළු කාලය ඉවසා සිටිය ‍නො හැකිව වැඩ වර්ජනය කැඳවා ඇති බව පෙනෙයි. ඇතැම් වෘත්තීය සමිති හිතුවක්කාර තීන්දු හා තීරණ ගන්නා බව ද මෙයින් පෙනී යයි.

අධ්‍යාපනය සඳහා ජාතික ආදායමෙන් 6% ක් වෙන්කළ හැකි නම්; එය ඉතා වැදගත් ය. එහෙත් එය සිදුවිය යුත්තේ රටේ ආර්ථික කළමනාකරණයත් සමඟ ය. රටේ ආර්ථිකය දෙස බලන විට එය ශක්තිමත් නැති බව පෙනී යයි. විශාල විදේශ ණය කන්දරාවක් හා ඊට අදාළ පොලියක් රජය වාර්ෂිකව ගෙවා දැමිය යුතුය. ඒ අතර සෞඛ්‍යය, අධ්‍යාපනය වැනි සේවා නොමිලේ පවත්වාගෙන යා යුතුය. මෙවර අයවැය මහජන හිතකාමී එකක් වුව වැය කොටස ඉතා වැඩි ය. අය කොටස අඩු ය. අලුත් සමෘද්ධිලාභීන් ලක්ෂ හයකට දීමනා ලබාදිය යුතුය. රාජ්‍ය සේවක වැටුප් තවත් රුපියල් දෙදහස් පන්සියයකින් වැඩිකර ඇත. විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප් හා ආරක්ෂක අංශවල දීමනා ද ඉහළ දමා ඇත. පවතින ආර්ථික තත්ත්වය යටතේ මෙබඳු පහසුකම් ලබාදීම ගැන රජයට කෘතඥතාව පළවිය යුතුය.

අධ්‍යාපනය සම්බන්ධයෙන් වර්තමාන රජය දක්වන උනන්දුව පැසසිය යුතු තැනක තිබේ. මීට සතියකට පමණ ඉහත දී නව පාසල් ගොඩනැගිලි දෙසීයක් අගමැතිවරයා අතින් විවෘත විය. පන්ති කාමරය ඩිජිටල් මාධ්‍යයට හැරවීමේ ක්‍රමානුකූල වැඩසටහනක් ද අධ්‍යාපන අමාත්‍යාංශය ක්‍රියාත්මක කරයි. පාසල් විෂය මාලාවට අලුත් විෂයයන් විසිහයක් හඳුන්වා දී ඇත. වෘත්තීය අධ්‍යාපනය පාසලට හුරුකිරීම දියුණු තත්ත්වයකි. ලෝකයේ දියුණුම රටවල් වෘත්තීය අධ්‍යාපනයට මූලික තැන ලබා දෙයි. වසර දහතුනක් යනතුරු දරුවාට අනිවාර්ය අධ්‍යාපනයක් ලබාදීම රජයේ ප්‍රතිපත්තිය වී ඇත. අධ්‍යාපනය සම්බන්ධයෙන් අලුත් ප්‍රබෝධයක් පවතින බව පැහැදිලිය. 2025 වන විට සියලු ගුරුවරුන් උපාධිධාරී ගුරුවරුන් බවට පත්කිරීමේ ඉලක්කයක් ද රජයට තිබේ. මේ සියල්ල සාධනීය ලක්ෂණ බව පෙනෙයි.

අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළ වෘත්තීය සමිති ගුරුවරුන්ගේ වැටුප හා දීමනා ගැන පමණක් නො ව; ලෝකයට ගැළපෙන නූතන අධ්‍යාපනයක් ගැන ද සිය අවධානය යොමු කළ යුතුව තිබේ. ගුරු පුහුණුව, පහසුකම් ලබාදීම, තාක්ෂණය භාවිතය වැනි අංශවලදී වත්මන් රජය පෙර පැවැති රජයන්ට වඩා ඉදිරිගාමී කටයුතු රාශියක් ඉටුකර තිබේ. ගුරු පුහුණුව මෙහිලා විශේෂ වෙයි. ගුරු පුහුණු වැඩසටහන් රාශියක් මේ වන විටත් ක්‍රියාත්මකය. අගමැතිවරයා අධ්‍යාපනය සම්බන්ධයෙන් දක්වන උනන්දුව ද, අධ්‍යාපන අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් දක්වන කැපවීම ද බොහෝ දෙ‍නකුගේ ඇගයීමට ලක් වී ඇත. ගුරු මාරුවීම්, පාසල්වලට ළමුන් ඇතුළත් කිරීම් ආදිය ද විධිමත් ආකාරයකට දැන් සිදුවෙයි. දේශපාලන ඇඟිලි ගැසීම් ඇතොත්; ඒ ඉතා කලාතුරෙකින් ය.

දිවයින පුරා පාසල් දසදහසක පමණ වැඩ වර්ජනය පැවැත්විණි. ඒ අතර උද්ඝෝෂණ හා විරෝධතා කිහිපයක් ද කොළඹට ආසන්න ප්‍රදේශවලදී දැකගන්නට ලැබිණි. ඒවායෙහි දේශපාලන ස්වරූපයක් ද දැකගන්නට තිබිණි. එක අතෙකින් අයවැය විවාදය පැවැත්වෙයි. තව අතෙකින් මැතිවරණ ගැන උණුසුමක් ද පවතී. මෙබඳු අවස්ථාවක වැඩවර්ජන හා විරෝධතා පැවැත්වීමේ යටි අරමුණ දේශපාලන වශයෙන් රජය අපහසුවට පත්කිරීම යැයි කෙනකු තර්ක කළහොත් එය පහසුවෙන් බැහැර කළ නො හැකි ය. ඇතැම් ගුරුවරුන්ගේ අදහස වී ඇත්තේ ද වර්ජනය අයුක්තිසහගත බව ය. සමහර ගුරුවරුන් රාජකාරිය සඳහා පාසලට පැමිණ නැවත නිවෙස් බලා ගිය බව ද වාර්තා වී ඇත. සියලු ගුරුවරුන් වර්ජනයට එකඟ නැති බව එයින් පෙනී යයි.

මව පියා හා ගුරුවරයා දෙවියන්ට සමාන වෙති යැයි කියමනක් තිබේ. ගුරු-උතුමා, ගුරු-දෙවියා යන ගෞරවාන්විත වචන සමාජයට එකතු වන්නේ ද ඉහත පිළිගැනීම මත යැයි සිතන්නට පුළුවන. ගුරුවරයා උත්තම පුරුෂයකු කොට සැලකීම සෑම සමාජයකම සිරිත වී තිබේ. දියුණුම රටවල ගුරුවරුන් වර්ජන කරන්නේ නැත. විරෝධතා පවත්වන්නේ ද නැත. ඔව්හු පරපුරකට ආදර්ශ සපයමින් සිය වෘත්තියෙහි නිරත වෙති. අපේ රටේ ගුරුවරයා වර්ජනයට, විරෝධතාවලට පමණක් නොව; වෙනත් යහපත් නො වන ක්‍රියාකාරකම්වලට ද ප්‍රකට ය. මේවා පසුපස වෘත්තීය සමිති පවතින බවක් ද පෙනෙයි. ඊයේ පැවැති වර්ජනය හා විරෝධතාව පොදු සමාජයේ ගර්හාවට ලක්වූ බව දැකගන්නට ලැබිණි. ගුරුවරයා ද, ඔවුන්ගේ වෘත්තීය සමිති ද මීට වඩා වගකීමකින් කටයුතු කළ යුතුය.


නව අදහස දක්වන්න