බෝයිං 737 මැක්ස් ලංකාවට අවදානමක් ද ? | දිනමිණ

බෝයිං 737 මැක්ස් ලංකාවට අවදානමක් ද ?

ශ්‍රී ලංකා ගුවන් කලාපය හරහා  "බෝයිං 737 මැක්ස් යානා පියාසර කිරීම සිදු නොවන බව" ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.

ඒ ඉන්දියාව ඔවුන්ගේ ගුවන් කලාපය හරහා "බෝයිං 737 මැක්ස් ගුවන් යානා පියාසර කරවීම තහනම් කර තිබීම හේතුවෙන්.

එම අධිකාරිය නිවේදනය කළේ, අදාළ ගුවන් යානා භාවිතය අත්හිටුවීමට ලෝකයේ රටවල් කිහිපයක් ගෙන ඇති පියවර සම්බන්ධයෙන් අධ්‍යයනයක් කළ බවය.

බෝයිං 737 මැක්ස් ගුවන් යානා භාවිත කරන සමාගම් 06ක් ශ්‍රී ලංකාවේ ගුවන් ගමන්වල නිරතව සිටින  අතර මේ වන විට එම සමාගම් අදාළ ගුවන් යානා භාවිතය අත්හිටුවා ඇති බව ද සිවිල් ගුවන් සේවා අධිකාරිය පැවසීය.

ඒ අනුව, ශ්‍රී ලංකාවට පැමිණෙන හෝ ඉන් පිටව යන මගීන්ට මේ අවස්ථාවේ අවදානමක් නොමැති බව එම අධිකාරිය පවසයි.

කෙසේ වෙතත්, ඉතියෝපියානු ගුවන් යානය අනතුරට ලක් වීම සහ ඊට පසුව ඇති වූ තත්ත්වය කෙරෙහි සිවිල් ගුවන් සේවා අධිකාරිය තවදුරටත් අවධානයෙන් පසු වන බව ඔවුන් නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

ඉතියෝපියානු ගුවන් අනතුරෙන් පසු බෝයිං 737 මැක්ස් ගුවන් යානා භාවිතය අත්හිටවූ රටවල් අතරට යුරෝපා සංගමය සහ ඉන්දියාව ද එක්ව තිබේ.

ඒ අනුව, ගුවන් මගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා යුරෝපා සංගමය සහ ඉන්දියාව ඔවුන්ගේ ගුවන් කලාප හරහා බෝයිං 737 මැක්ස් ගුවන් යානා පියාසර කරවීම තහනම් කර තිබේ.

එම රටවල්, එක්සත් රාජධානිය ඇතුළු අදාළ ගුවන් යානා තහනම් කරන ලද රටවල දීර්ඝ ලැයිස්තුවට එක්වූ නවතම සාමාජිකයන්ය.

මෙම තත්ත්වය නිර්මාණය වූයේ, පසුගිය ඉරිදා ඉතියෝපියානු ගුවන් සමාගමට අයත් බෝයිං 737 මැක්ස් ගුවන් යානයක් කඩා වැටී පුද්ගලයින් 157 දෙනෙකු ජීවිතක්ෂයට පත් වීමෙන් පසුවය.

මාස 05කට අඩු කාලයක් තුළ එම මාදිලියේ ගුවන් යානයක් කඩා වැටුණු දෙවන අවස්ථාව එය විය.

කෙසේ වෙතත්, ඇමෙරිකානු බලධාරීන් පවසන්නේ, එම ගුවන් යානා වර්ගය මගී ප්‍රවාහනය සඳහා ආරක්ෂාකාරී එකක් බවය.

(බී.බී.සිය ඇසුරෙනි)

නව අදහස දක්වන්න