හෙමිංවේ ලිව්වෙ බොක්සිංවලින් මගේ ලිවීම භාවනාවෙන් | දිනමිණ

හෙමිංවේ ලිව්වෙ බොක්සිංවලින් මගේ ලිවීම භාවනාවෙන්

ගාබ්‍රියෙල් ගාර්ෂියා මාකේස්

ගාබ්‍රියෙල් ගාර්ෂියා මාකේස් ප්‍රකට කොලොම්බියානු ජාතික ලේඛකයෙකි; මාධ්‍යවේදියෙකි; කෙටිකතාකරුවෙකි. නවකතා 06ක්, කෙටි නවකතා 05ක්, කෙටිකතා 05ක් ඔහු විසින් ලියා ඇත. ඒ සියල්ලට වඩා One Hundred Years of Solitude ලියා ලෝකය උඩු-යටිකුරු කළ හෙතෙම, 2014 අප්‍රේල් 17 වැනිදා මිය ගියේය.

මගේ ලිවීම පටන් ගත්තේ කා‍ටුන්වලින්. අකුරු ලියන්න, කියවන්න පුළුවන් වෙන්නත් කලින් ඉස්කෝලෙදි වගේම, ගෙදරදිත් මම කොමික් ඇන්දා. ඉස්කෝලෙ ඉහළ පංතිවල ඉන්නකොට මම ලේඛකයෙක් විදිහට ප්‍රසිද්ධ වෙලයි හිටියේ. ලොකු ම විහිළුව වුණේ, ඒ වෙනකොටත් මම කිසි ම දෙයක් ලියලා නොතිබුණ එකයි. අත් පත්‍රිකා, ලියුම් වගේ ම පෙත්සම් ලියන්න වුණොත් ඒවා ඔක්කොම ලියන්න ඕනෙ මමයි. මොකද මමනෙ ඉස්කෝලෙ ලේඛකයා. විශ්වවිද්‍යලෙට ගියාට පස්සේ මට අලුත් යාළුවො මාර්ගයෙන් නූතන ලේඛකයෝ බොහෝ දෙනෙක් අඳුනගන්න ලැබුණා. ඒ එක්කෙනෙක් ෆ්‍රාන්ස් කෆ්කාගේ කෙටිකතා පොතක් කියවන්න දුන්නා. මම නවාතැනට ගිහිල්ලා 'ද මෙටාමොෆසිස්' කියවන්න පටන් ගත්තා. පොතේ පළමු වැනි වාක්‍ය කියවලා මා ඇ‍ඳෙන් බිමට වැ‍ටුණෙ නැතුව විතරයි. මට මහා පුදුමයක් දැනුණා. කථකයා සිහිනෙන් අවදි වුණාම, තමන්ගෙ ඇඳේම දැවැන්ත කෘමියෙක් බවට පත් වෙලා ඉන්නවා. කාටවත් මේ වගේ දේ ලියන්න අවසර තියෙනවා කියලා මීට කලින් මම දැනන් උන්නෙ නෑ. දැනන් උන්නා නම් මීට කලින් මම ලිවීම පටන් ගන්නවා. ඒ වෙලාවෙම මම කෙටිකතා ලියන්න පටන් ගත්තා. ඒවා පත්තරේත් පළ වුණා.

ඊට පස්සෙ කාලෙක මුහුදුබත් වෙච්ච සේලරුවෙක් ගැන ලිපියක් ලිව්වා. ඒක ටිකක් ජනප්‍රිය වුණා. මම ඒක ලිව්වෙ සේලරුවාගේ හඬින්. ඔහු කතාව කියාගෙන ගියා. මම අහගෙන ඉඳලා, ඔහුගේ කටහඬින් ඒ කතාව ආයෙමත් ලිව්වා. ලිපි මාලාවක් විදිහට සති දෙකක් තිස්සේ ඔහුගෙ කතාව පත්තරේ පළ වුණා. ඒත් ඒක ලිව්වෙ මම කියලා කවුරුවත් දැනගෙන හිටියෙ නෑ. මොකද ඒකට යොදලා තිබ්බේ සේලරුවගේ නමයි. අවුරුදු 20කට පස්සේ මේ ලිපි මාලාව ආයෙත් මුද්‍රණය වුණා. එතකොට මිනිස්සු දැනගත්තා ඒක ලිව්වෙ මම කියලා. හැබැයි 'One Hundred Years Of Solitude' ලියලා ඉවර වෙනකන්ම කිසි ම කතුවරයෙක් ඒ ලිපි මාලාව හොඳ එකක් කියලා පිළිගන්න මැළි වුණා.

මාධ්‍යවේදියෙක් විදිහට ගෙවපු ජීවිතයට මම ඉතාම කැමතියි. ඒකෙන් මට ලිවීම සම්බන්ධයෙන් ලොකු උදව් ලැබුණා. ඒත් පත්තරේ කර්තෘට, ආයතනයට ඕන විදිහට ලියන එකෙන් මගේ නිදහස ඇහිරුණා. නවකතාකරුවෙක් වුණ එකෙන් ආර්ථිකව අති සාර්ථක වෙන්න පුළුවන් වුණ අතරෙම, මට කැමැති දේ ලියන්නත් පුළුවන් වුණා. පුවත්පත් ලිපියකට වඩා නවකතාවකින් ලොකු දෙයක් කරන්න පුළුවන් කියලත් මම හිතන්නෑ. මේ දෙකේ මහ ලොකු වෙනසක් මට පේන්නෙත් නෑ. ලියන්න ගන්න මූලය, අමුද්‍රව්‍ය, භාෂාව ඔක්කොම එකයි. හැබැයි පුවත්පත් ලිපියකදී එක වැ‍රැදි තොරතුරකින් සියල්ලම බිමට කඩාගෙන වැටෙන්න පුළුවන් වගේම ප්‍රබන්ධයකදී එක නිවැ‍රැදි තොරතුරකින් සියල්ලටම සුජාතභාවයක් ලැබෙනවා. මේ සියල්ල ලේඛකයගේ කැපවීම මතයි ‍රැඳිලා තියෙන්නේ. මිනිසුන් විශ්වාස කරන්න පොලඹවන්න පුළුවන් තාක්කල්, නවකතාකරුවකුට තමන් කැමැති ඕනම දෙයක් ලියන්න පුළුවන්. මාධ්‍යවේදියෙක් විදිහට වැඩ කිරීමෙන් මට ප්‍රබන්ධයට ඕන කරන යථාර්ථය ඇතුළේ වැඩ කරන්න ලැබුණා. නවකතාකරුවෙක් විදිහට වැඩ කරන එකෙන් පුවත්පත් ජීවිතේට සාහිත්‍යමය වටිනාකමක් ලැබුණා.

ඉස්සරට වඩා දැන් ලියන එක අමාරුයි. මම පත්තරේ වැඩ කරන කාලේ ලියන හැම වචනයක් ගැනම සවිඥානක වුණේ නෑ. ඒ කාලෙ, අවමයෙන් සතියට ලිපි තුනක්වත් අනිවාර්යෙන්ම ලිව්වා. ඊට අමතරව කර්තෘ සටහන් දෙක-තුනක් දෛනිකව ලිව්වා; චිත්‍රපට විචාර ලිව්වා. හැමෝම ගෙදර ගියාට පස්සේ, රෑට මම කන්තෝරුවෙ ඉඳන් ම නවකතා ලියනවා. ලිනෝටයිප් මැෂින්වල සද්දෙට මම කැමැතියි. හරියට නිකං වැහි බිංදු වැටෙනවා වගෙයි. මැෂින් එකේ සද්දෙ නතර වුණ ගමන්ම මහ නිශ්ශබ්දකමක් ඉතිරි වෙනවා. ඊට පස්සෙ මට ලියන්න බැරුව යනවා. ඒත් දැන් ඒ තත්ත්වය වෙනස්. හොඳටම වැඩ කරන දවසක, උදේ 9.00 ඉදන් හවස දෙක-තුන වෙනකන් ලිව්වත් වැඩි ම වුණොත් කුඩා ඡේදයක් හරි, වාක්‍ය හතර-පහක් විතරයි ලියැවෙන්නේ. ඒ ටිකත් ඊළඟ දවසෙ උදේ ඉරලා දානවා.

1950-51 දී මගේ ලේඛන ජීවිතේ බොහොම වැදගත් දෙයක් වුණා. මම ඉපැදුණු ඇරකටාකා නගරෙට ඈත් එක්ක යන්න එන්න කියලා අම්මා කතා කළා. අපි ගියේ මගේ ළමාවිය ගෙවුණ ගෙදර විකුණන්න. එතකොට මට වයස 22යි. ගෙදරට ඇතුළු වෙච්ච ගමන් මට ලොකු කම්පනයක් දැනුණා. මොකද මම අන්තිමටම ඒ ගෙදර ජීවත් වුණේ අවුරුදු 08 දී. කිසිම දෙයක් වෙනස් වෙලා තිබ්බෙ නෑ. ඒත් මම ඔහේ නිකම් ගම දිහා බලන් ඉන්නවා නෙමෙයි, හරියට ගම ගැන ලියලා තියෙන යමක් කියවනවා වගෙයි කියලා මට දැනුණා. මම දැක්ක හැම දෙයක්ම කලින් ලියලයි තිබුණේ. මට තිබ්බෙ ඔහේ වාඩිවෙලා ඒ ලියලා තියපුවා කියවන්නයි. දකින දේ ගැන ලියන්න ඕනා කියන හැඟීම පැන නැග්ගේ එතැනින්. ඒ ගමනෙන් පස්සෙ ගෙදර ඇවිත්, මගේ පළමු වැනි නවකතාව 'ලීෆ් ස්ටෝම්' ලිව්වා. මගේ ළමා කාලයේ වුණ හැම දෙයකම සාහිත්‍යමය වටිනාකමක් තියෙනවයි කියලා ඒ ගමනෙන් පස්සේ මට දැනුණා. හැබැයි ඒක අගය කරන්න පටන් අරගෙන තිබ්බෙ දැන්. ලේඛකයෙක් වෙන්න ඕනා කියලා, මා නවත්තන්න කාටවත් බැහැ කියලා මට දැනුණේ 'ලීෆ් ස්ටෝම්' ලියපු වෙලාවෙයි. ඒ වෙනකොට මට ඉතිරි වෙලා තිබ්බෙ ලෝකෙ හොඳ ම ලේඛකයා වෙන එක විතරයි. ඒ, 1953 දී. හැබැයි පළවෙනි කතෘභාගය හම්බ වුණේ පොත් පහක් ලියලා ඉවර කළාටත් පස්සේ.

'ලීෆ් ස්ටෝම්' ලිව්වෙ මට ඉස්සර පොත් දෙමින් ලියන්න උදවු කළ යාළුවෙක් වෙනුවෙන්. සෑම ලේඛකයෙක් ම කවුරුහරි වෙනුවෙන් ලියන්නෙ කියලයි මම පොදුවේ හිතන්නේ. 'ලීෆ් ස්ටෝම්' ලියද්දි මගේ යාළුවා ඒකට කැමැති වෙයි කියලා මම දැනගෙන හිටියා. ලියද්දි මම කවුරුම හරි ගැන හිතනවා. ඒ අය කැමැති වෙන්න පුළුවන් ඡේද ගැන පවා හිතනවා. අන්තිමට ඔක්කොම පොත් මගේ යාළුවො වෙනුවෙන් ලියපුවා. හැබැයි 'One Hundred Years Of Solitude' ලිව්වට පස්සේ ඔක්කොම උඩු-යටිකුරු වුණා. මිලියන ගාණක කියවන්නො අතරින් ඒ පොත ලිව්වෙ කාටද කියලා මට හිතාගන්න බැරි වුණා. ඒ හැඟීමෙන් මා අවුල් වුණා. මගේම මතයක් නිශේධනය වුණා. ඒක හරියට මිලියන ගණනකගේ ඇස් ඔබේ දිහාට යොමුවෙලා තියෙනවා, ඒත් ඒ අය හිතන්නෙ මොනවද කියලා අනුමාන කරගන්නවත් බැහැ වගෙයි.

'ලීෆ් ස්ටෝම්' ලිව්වට පස්සේ මගේ ළමා කාලය ගැනයි, ගම ගැනයි ලියන්න ඕනා කියන අදහස ඔළුවෙ කැරකුණා. ඒත් එක්කම දේශපාලන කාරණා ගැන නොලියා, අතීත මතක අස්සේ හැංගිලා ඉන්න හදනවා කියන වරදකාරී හැඟීමත් මගේ හිත යටක තිබ්බා. දේශපාලනයයි, සාහිත්‍යයි ගැන ඉතා ම සමීප කතිකාවක මම යෙදිලා හිටියේ මේ කාලෙ තමයි. මේ කාරණා දෙක අතරේ තියෙන හිඩැස වහලා දාන්න, මම ගොඩක් උත්සාහ කළා. ඊට පස්සේ No One Writes to the Colonel, In evil Hour, Big Mama's Funeral ලිව්වා. මේ හැම කෘතියක්ම ලිව්වෙ එක ම කාලෙ නිසා, සමානකම් ගොඩක් තිබ්බා. මේ හැම කතාවකම තිබ්බෙ එකම ගම, මායා ගතියක් නැතිව. දේශපාලනයෙන් තොරව ලිව්වා කියලා හිතන් හිටියට, මම ලියලා තියෙන දේ බහුතරය දේශපාලනිකයි කියලා අන්තිමට තේරුණා. In Evil Hour ලියලා අවුරුදු පහක් යනකන් මම කිසි දෙයක් ලිව්වෙ නෑ. ඊළඟට ලියන්න ඕනා මොකක්ද කියනෙක මම දැනගෙන හිටියට, ඒකට අදාළ හඬ හොයාගන්න බැරිව අතරමං වෙලයි හිටියේ. ඒත් හදිසියේම දවසක මට නවකතාවට ගැළපෙන 'හඬ' මගේ ආච්චිගෙ කටහඬ ඇතුළෙන් ඇහුණා. ආච්චි අපිට කතා කිව්වා. ඒවා හරිම විචිත්‍රයි; ඒ තරමටම අද්භූතයි. හැබැයි ඈ ඒ කතා කිව්වේ හරි ම සාමාන්‍ය විදිහට. කතා කියන කිසි ම වෙලාවක, ආච්චි එයාගෙ මූණෙ හැඟීම් මාරු කළේ නෑ. ඈ කතා කිව්වේ අමුතු ගඩොල් මූණකින්. මීට කලින් 'One Hundred Years Of Solitude' ලියන්න උත්සාහ කළාට, ඒක හරි ගියේ නෑ. එතකොට ලියන්න ගිය කතාව ගැන මම විශ්වාස කළේ නෑ. ඒකයි පරහට හිටියේ. මම ලියන්න යන කතාව මුලින්ම මම විශ්වාස කරලා, ඒක ඇතුළේ ජීවත් වීම අනිවාර්යයි කියනෙක තේරුණේ; ගොඩක් පස්සේ. එහෙම තේරුණාට පස්සේ මාස 18ක් තිස්සේ එක දිගට ලියන්න ගත්තා.

ලියනකොට පාවිච්චි කරන උපායමාර්ග ගොඩක් තියෙනවා. අලියෙක් අහසෙ පියාඹනවා කියලා ලිව්වා කියලා නිකමට හිතන්න. හැබැයි ඒක විශ්වාස කරවන තැනකට ගේන්න නම් ලියන්න ඕනා, අලි 425 ක් අහසේ පියාඹනවා කියලයි. 'One Hundred Years Of Solitude'කියන්නෙ මේ වාගේ සිද්ධිවලින් පිරුණු නවකතාවක්. ඒක තමයි මගේ ආච්ච් කතා කියද්දි පාවිච්චි කරපු ක්‍රමය. මං බොහොම පොඩි කාලෙ අපේ ගෙදරට විදුලි කාර්මිකයෙක් ආවා. ආධාරකයක් විදිහට පාවිච්චි කරන බඳ පටියක් එයාගෙ ළඟ තිබුණා. මට මේක හරි පුදුමයක්. මේ මනුස්සයා අපේ ගෙදරට ඇවිත් යන හැම වෙලාවකම, ගේ පුරාම සමනල්ලු ඉතිරි කරලා යනවා කියලා ආච්චි කිව්වා. පොතට එනකොට මම මේ කතන්දරය ටිකක් වෙනස් කළා. කතාවෙ චරිතයක් වටේ කහ පාට සමනල්ලු කැරකෙනවා. මෙතැනදි නිකන්ම සමනල්ලු නොකියා , මම ඒකට විශේෂණයක් එකතු කළා. මේ සමනල්ලු කහ පාටයි කියලා නොකිව්වා නම්, මිනිස්සු ඒක විශ්වාස කරන එකක් නෑ කියලා මට හිතුණා.

ලියන එක එයාට බොක්සිං ක්‍රීඩා කරනවා වගෙයි කියලා එක පාරක් හෙමිංවේ කිව්වා. මට ලියනවා කියන්නෙ එක ම භාවනාවක්. හොඳ ශරීර සෞඛ්‍යයක් වගේ ම නිදහස් මනසක් නැතිව මට ලියන්න බෑ. බීමතින් ලිවීම මට කවදාවත් කරන්න බැහැ. මම පූර්ණකාලීනව ලියන්න පටන් ගත්තේ අවුරුදු 40 දී. උදේ 9.00 ඉදන් හවස 2.00 වෙනකන් ලියනවා. පත්තරේ වැඩ කරන කාලෙ නොනැවතී ලියලා පුරුද්දට මෙච්චර පොඩි වෙලාවක් විතරක් ලියන එක ගැන මට තිබ්බෙ වරදකාරී හැඟීමක්. මම හැන්දෑවෙත් ලියන්න පටන් ගත්තා. ඒත් හැන්දෑවෙ ලියපුවා ආයෙමත් උදේට සංස්කරණය කරන්න සිද්ධ වුණා. ඊට පස්සේ මම තීරණය කළා උදේ 9.00 ඉඳන් හවස2.30 වෙනකන් විතරක් ලියන්න. හැන්දෑව වෙනත් දේ කරන්න පාවිච්චි කළා. මට ලියන්න පුළුවන් පුරුදු වටපිටාවක විතරයි. හෝටල් කාමර ඇතුළේ, අනුන්ගේ යතුරු ලියනවලින් මට ලියන්න බෑ. ඒ කියන්නෙ ගෙදරින් පිට කිසි ම තැනකදි ලියන්න බෑ.

අමාරුම දේ පළමු වැනි ඡේදය ලිවීම. සමහර වෙලාවට පළමු වැනි ඡේදය ලියන්න මාස ගණන් විතර වැය කරලා තියෙනවා. පළමු වැනි ඡේදය ලිව්වට පස්සේ, ඉතිරි ඔක්කොම ගලාගෙන එනවා. ඕනම නවකතාවක ප්‍රශ්න ඔක්කොම පළමු වැනි ඡේදය හරියට ලියාගන්න එකෙන් විසැඳෙනවා. නවකතාවේ තානය, හැඩය, භාෂාව මේ ඔක්කොම පළමු වැනි ඡේදය ඇතුළේ තියෙනවා. තරුණ ලේඛකයෝ බහුතරයක් උනන්දු වෙන්නේ තමන්ගෙ ලිවීමට වඩා , තමන් ගැන ලියන විචාර ගැනයි. ඒක හරි මෝඩකමක්. තමන් ගැන ලියැවෙනවට වඩා ලිවීමයි වැදගත්. ජනප්‍රියත්වය වෙලාවකට හරි ම හිසරදයක්. ඒකෙන් තමන්ගෙ පෞද්ගලිකත්වය අහිමි වෙනවා. ජනප්‍රියත්වය අහිමි කර නොගෙන, දිගටම ලියන්න සිද්ධ වෙන එක හරි කරදරයක්. මගේ මරණයෙන් පස්සේ මගේ පොත් ඔක්කොම මුද්‍රණය වුණා නම්, මම කැමැතියි.

කාංචනා අමිලානි

ආශ්‍රිත කියැවීම් :

https://bit.ly/2F6SIX2
https://bit.ly/2TICyLC
https://bit.ly/2i693wo
https://bit.ly/2HaG4Ff


නව අදහස දක්වන්න