සුගම බසක රස පවසන යටගිය දවස රජරට වහර බස | දිනමිණ

සුගම බසක රස පවසන යටගිය දවස රජරට වහර බස

“මගේ ලෝකයේ සීමාව මගේ ලෝකයේ භාෂාවයි.”ඒ, විසි වැනි සියවසේ ශ්‍රේෂ්ඨත ම විද්වතකු වූ ලුඩොවයික් විට්ගන්ස්ටයින් පඬිතුමන්ගේ ප්‍රකාශයකි . එහි ප්‍රකටීභූත සංකල්පය විමසිය යුතු නැති තරමටම සරල ය. සුගම ය. එහෙත්, වඩාත් ගැඹුරු ය. පුළුල් ය. විශිෂ්ටාර්ථ දනවන සුලු ය.

එයින් ගම්‍ය වනුයේ භාෂාවක වටිනාකම පමණක් නොවේ. එහි රුව ගුණ තේජස සහ දිග පළල වපසරියයි. එමෙන් ම, එහි සමාජ බලපෑම හා පුද්ගල උපයෝගීතාව යි. එපමණක් ද නොවේ. භාෂාව හා සමාජය අතර පවත්නා පුද්ගලානුබද්ධ සම්බන්ධතාව මෙන් ම, මානව පරපුරේ පැවැත්ම කෙරෙහිලා කේන්ද්‍රකොට ගැනෙන භාෂාවේ අත්‍යන්ත ඥාතීත්වයයි.

ඒ අනුව ගත් කල යම්කිසි භාෂාවක් පිළිබඳ විධිමත්ව සොයා බැලීම, සංවිභාගශීලීව පිරික්සීම හෝ ගවේෂණය කිරීම වූ කලී තත් මානව පරපුරේ පැවැත්ම කෙරෙහි ලා වන සාධනීය කාර්යභාරයකි. එය සම්පරීක්ෂාවෙන් විමසීම කරණකොටගෙන, එකී භාෂාව හැදෑරීමෙහිලා මෙන් ම, ඉන් පල ලැබීමෙහි ලා අත්‍යවශ්‍ය පහසු ඉඩ ප්‍රස්ථාවන් හෙළිදරව් කෙරේ.

භාෂාවක සමාජ කේන්ද්‍රස්ථානය තහවුරු කෙරෙනුයේ එවිට ය. තත්කාලය තුළ සාමාජිකයන් අතර සංසරණය කෙරෙන භාෂාවක් හෝ භාවිතයෙන් ඈත්ව යමින් තිබෙන අස්පර්ශනීය සංස්කෘතිය මෙවලමක් ලෙස පවත්නා භාෂාවක් හෝ යළි යළිත් දෘඪතරව ජනගත කෙරෙනුයේ එවිට ය. මන්ද යත්, එය සමාජානුයෝජනයෙහිලා උපයුක්ත සංස්කෘතිකාංගයක් ලෙස සමාජගත කෙරෙන බැවිනි.

“භාෂාවක වචන මිණි මුතුවලටත් වඩා අගනේ ය. විටෙක එය එහි අරුතටත් වඩා වටනේ ය.” බර්ග් එසින්ටන් හෙළිදරව් කළ ප්‍රකාශය යථාර්ථවාදී සුභාෂිතයක් වන්නේ මෙහිදී ය.

ඒ අනුව ව්‍යවහාරයෙන් ඈතට යන සහස් සංඛ්‍යාත වදන්වල අගය කෙබඳු විය හැකි ද?

කලාසූරී රත්න බී. ඒකනායකයන් මේ කෘතියෙන් සිදුකොට ඇත්තේ එසේ ඈතට යමින් පවත්නා භාෂාවේ අගය යළි යළිත් අප අධ්‍යාත්මය කෙරෙහි කැඳවීම ය. කාලයත් සමඟ අපට අමතක වෙමින්, ව්‍යවහාරයෙන් ගිලිහෙමින්, ක්‍රමයෙන් ක්ෂය වෙමින් යන වටිනා වදන් රැසක් එක්කොට ඒ සඳහා අරුත් විවරණ සැපයීමයි. ඔහේ යන්නංවාලේ යන මිනිස් සමාජයකට එය කදිම මාර්ගෝපදේශයක් නොවේ ද?

කතුවරයා සැබෑ ගැමියෙකි. සැබෑ ගොවියෙකි. ගම, ගැමි ජනයා හා ගැමි ජන විඤ්ඤානය පිළිබඳ යථාරූපී අවබෝධයක් සහිත විද්වත් බහුශ්‍රැතියෙකි. එමෙන් ම, ස්වකීය හාත්පස පරිසරය තුළින් අත්විඳි අනේකවිධ ජීවන අත්දැකීම් පිළිබඳ ගවේෂණාත්මක ඥානය සහිත පර්යේෂණකාමී විද්‍යාර්ථියෙකි. එපමණක් ද නොවේ. ඔහු ස්වකීය මාතෘ භූමියට මුළු හදින් ආදරය කරන දේශීයත්වය අගයන්නෙකි. හේන, කුඹුරු, වැව, පැල, පිල, කමත, ඕවිට, ලන්ද මෙන්ම මහා වන බූටෑව ද ඔහුගේ වරිග සඳහන් ය. එබන්දෙක් තුළ සිය බස පිළිබඳ හිත් පතුලෙහි වැඩෙන හැඟීම සහ දැනීම කවරාකාර දැයි නිශ්චිත ලෙස සිතා බැලීම දුෂ්කර නොවේ.

ඔහු විසින් මීට පෙර සම්පාදනය කරන ලද මෙබඳුම කෘති කිහිපයකි. “වැව්බැඳි රටේ වියැකෙන විත්ති”, “වැව්බැඳි රටේ වියැකෙන වදන්”, “අස්පර්ශ සංස්කෘතියේ දේශීය උරුමය”, “යටගිය දවස නුවරකලාවිය”, “යටගිය දවස රජරට විත්ති” ආදිය ඒ අතරින් කිහිපයකි. රජරට, වැව්බැඳි රාජ්‍යයේ, නුවර කලාවියේ කොටු ගම්මානවලට ආවේණික ගැමි ජන වහර කේන්ද්‍ර කොටගත් ජන ශ්‍රැතිකාංග රාශියක් එහිදී ඔහුගේ විචාරාක්ෂියට හසුවෙයි. නිදසුන් ලෙස “වැව්බැඳි රටේ වියැකෙන විත්ති” කෘතිය ඒ සඳහා සංනිදර්ශන වෙයි. “මඟුල් පරක්කුව”, “මළගමක විත්ති”, “ගවයා දෙවියෙකු වූ හැටි”, “රිදී නම්බුවෙන් උපන් රිදී නැන්දා,” “කායියක විත්ති”, “මූකලානේ මී කැඩීම”, “දඩයමේ යාම” හා “දිවුල් හොද්ද” ආදී පරිච්ඡේද 27ක් ඔස්සේ ඔහු අප එකී තීර්ථ චාරිකාවෙහිලා කැඳවාගෙන යයි.

“යටගිය දවස රජරට වහර බස” නම් වූ මේ කෘතිය ද, වැළලෙමින් පවත්නා අප අතීතය සිහිගන්වන්නකි. ඒ සඳහා ප්‍රාණය හා ජීවය කැඳවන්නකි. වඩාත් බොල්, බොළඳ, ඕලාරික සමාජ රටාවක් තුළ ජීවත් වන අපට එකී අතීතයෙන් ලැබිය හැකි දැනුම, අවබෝධය හා වින්දනය මෙතරම් දැඩි ලෙස තක්සේරු කළ නොහැකි යැයි මම විශ්වාස කරමි.

කවිය, ගීතය, නවකතාව, කෙටිකතාව හා පුවත්පත් කලාවේදය ද ස්පර්ශ කොටගත් ස්වකීය ලිවිසැරියෙහි සන්ධිස්ථානයක් ලෙස සැලකිය හැකි මෙකී ග්‍රන්ථය සුවහසක්, ශාස්ත්‍රෝන්නතිකාමී විද්‍යාර්ථීනට මෙන් ම, පාසල් සිසුන් ඇතුළු පාඨක ජන ප්‍රජාවටත් වඩාත් ඵලදායක කෘතියක් වනු නිසැක ය.

ඒ අනුව, කලාසූරී රත්න බී. ඒකනායකයන් විද්වත් පර්යේෂකයකු ලෙස ස්වකීය කාර්යභාරය නොපිරිහෙලා ඉටුකොට ඇති බව අවධාරණය කරනු කැමැත්තෙමි.

මහාචාර්ය සේන නානායක්කාර
මානව ශාස්ත්‍ර අධ්‍යයන අංශය
ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය


නව අදහස දක්වන්න