මේ මගේ දරුවා | දිනමිණ

මේ මගේ දරුවා

තාරක කල්දේරා

තාරක කල්දේරා ඩිජිටල් අලෙවිකරණ අංශයේ වෘත්තිකයෙකි. නිදහස් ලේඛකයෙකි. කෙටි චිත්‍රපටකරුවෙකි. තිර නාටක රචකයෙකි. කල්පාවසාන සාදය ඔහුගේ පළමු නවකතාවයි. ඉයුලෝසියා යනු එහි ම දිගුවක් වූ දෙවැන්නයි. එළැඹෙන 16 වැනිදා ඉයුලෝසියා ජනගත වේ. මේ සංවාදය ඒ නිමිත්තෙනි.

නොපැවැත්මේ ඉඳන්, පැවැත්ම දක්වා තියෙන ලෝකයක් ඔබ නිර්මාණය කරලා තියෙනවා. ඉයුලෝසියාව ගලාගෙන යන්නෙ ඒ නිර්මාණය කළ ලෝකය ඇතුළෙයි. නවකතාව ලියාගෙන යනකොට, මේ කාල්පනික ලෝකය, ඔබ ඒ ලෝකයට ඇදගන්න උත්සාහ කළේ නැද්ද?

ඒක දුක හිතෙන ප්‍රශ්නයක්. මම වතාවක් මෙහෙම කියලා තියෙනවා. 'ලිවීම යනු ගැහැනියකගේ හිස් පිට පුරා කොටන ටැටූවක් මෙනි. ඈ ද වේදනාවෙනි, ඔබ ද වේදනාවෙනි. අවසානයේ දී, මහාර්ඝ නිර්මාණය අල්ලා බැලීමට ඔබ අත දිගු වෙත් ම, ඇඳුම් එකිනෙක සිරුර වසාගෙන, මුදල් ද දිගු කොට, ඈ යන්නට යන විට දැනෙන අතහැර යාම! එය ලිවීම ය.'

මම ආදරය කරන මගේ ෆැන්ටසි චරිත, ලියන්න කලින් මගේ ම විතරයි. හැබැයි ලියන්න ගත්තහම ඒ චරිත, කළල අවස්ථාවේ සිට වර්ධනය වෙනකොට, ඒ චරිත තව දුරටත් මගේ නොවෙයි, ඒ අය ඒ අයගෙමයි කියන එක මම තේරුම් ගත්ත දෙයක් . ඒ ලෝකයත්, ඒ ලෝකයේමයි.

ඒ අත්දැකීම මා ඒ ලෝකයෙන් නෙරපා හැරීමක්. මං ඉස්සරටත් වැඩිය ආසයි ඒ ලෝකෙට යන්න. ඒකෙ ජීවත් වෙන්න. ඒත් දැන් මට ඒක තහනම් කලාපයක්. ඒ නිසා මම යතුරු සිදුරෙන් බලා හිඳින්නෙක් වෙලා. මම දවස පුරා හොරෙන් ඒ ලෝකෙ දිහා බලා ඉන්නවා. ඊට පස්සෙ ලියැවෙන්න ඉඩ දෙනවා. ඒත් ඒක බලාපොරොත්තු කඩකිරීමක්. උදාහරණයකට කිව්වොත්, ත්‍යාගෙ ලිංගික නැමියාව දැකලා, මගේ බලාපොරොත්තු කඩ වුණා. මම ලේඛකයා වෙලත් 'ඇයි මෙහෙම වුණේ' කියන ප්‍රශ්න ඉතිරි වුණා.

මේ නවකතාවෙන් මිනිස්සු සහ යන්ත්‍ර උත්තුංග කරලා, දෙවියන් වලාකුළුවලින් පහළට ඇදලා දාන්න උත්සාහ කරන්නෙ ඇයි?

ශිෂ්ටාචාරගත වෙච්ච වෘක්කයා අන්තිමට බල්ලෙක් වෙනවා. බල්ලා කියන්නේ අන්තිමට මිනිසාගේ සිතැඟියාවට අනුව නිර්මාණය කරපු එකෙක්. මිනිස් පරිකල්පනය ඇතුළෙ ඉන්න සත්තු, යන්ත්‍ර, දෙවියෝ, පිටසක්වල ජීවීන් ආදී මෙකී නොකී චරිත සියල්ලක් ම ස්වභාවික නෑ. ඒවා විවිධ මිනිස් මනෝභාව. වෙස් මුහුණු. ඒවා ඇතුළෙ ඉන්නෙ මිනිස්සුමයි.

දඟ, ළමා ආකාරයේ රොබෝවන් ඇත්තට ම නිහඬ සිනමාවේ චාලි චැප්ලින් වගේ චරිත. ස්ලැවෝයි ජිජැක් වරෙක කියන විදිහට, එය මනසේ ඉඩ් ස්වභාවය දක්වනවා. එහෙම විකාරරූපී චරිත මේ කතාවේ ඉන්නවා. වගකීම සහ ආශාව අතර නිවැරැදිව ස්ථානගත වෙච්ච චරිත, සුපිරි අහම සහ ඉඩ් එක අතර හොඳ ගනුදෙනුවක ඉන්න, මායාකාරයන් වගේ චරිතත් ඉන්නවා.

ඒත්, සුපිරි අහමේ භයංකාර ඉල්ලීම්වලින් වැඩිපුර ම අගතියට පත්වෙන්නෙ දෙවිවරු. ඔවුන් වගකීම නිර්මාණය කරන්නත් ඕනේ. වගකීම ගන්නත් ඕනේ. දෙවිවරු කියන්නෙ ම වරදකාරී හැඟීම්වලින් පිරුණු අය.

ග්‍රීක දේව කතා, ප්‍රවාද, ආගමික ප්‍රතිරූප එකට පටලලා, ප්‍රශ්න කරලා, අඹරලා හදන ඉයුලෝසියාව, විද්‍යා ප්‍රබන්ධයක් විදිහට පාඨකයා පිළිනොගෙන, එහි නියම අවසානය ඔබෙන් ඉල්ලා හිටියොත්, මොකක්ද ඒකට දෙන උත්තරය?

ඇත්තට ම ඉයුලෝසියාව විද්‍යා ප්‍රබන්ධයක් නෙමෙයි. ToE කියන භෞතික විද්‍යාත්මක කතන්දරයට යන්න කලින්, අපි විශ්වය පිළිබඳ සංකල්පීය පැත්ත විවරණය කර ගන්න ඕනෙ. ඉපැ‍රැණි විශ්ව න්‍යායවේද සෑම එකක ම, විශ්වය ලිංගිකරණය කරලා තියෙන්න. විශ්වය ගැහැනු-පිරිමි ආකාරවලට බෙදා වෙන් කරලා, ඒ ආකාරයෙන් දකින්න උත්සාහ කරලා තියෙනවා.

මෙහි දී අපි මූලික කර ගන්නා දාර්ශනික ප්‍රශ්නය විද්‍යාවටත් අදාළයි. උදාහරණයකට ගත්තොත්, මහා පිපිරුමෙන් විශ්වය ආරම්භ වුණා ද? ග්‍රීක මිථ්‍යා කතන්දරවල එන ව්‍යාකූලතාවයෙන් හෝ නොපැවැත්මෙන් විශ්වය පැවැත්මට ආව ද? මෙය ඉතා නිර්ශ්චිත රේඛීය ප්‍රශ්නයක්. ඉයුලෝසියාව තුළ අපි ප්‍රශ්නය දිහා ආයෙත් බලනවා. මුලින් ආවෙ පැවැත්ම ද? නොපැවැත්ම ද? අපි බලමු.

ප්‍රබන්ධ ලෝකයේ ඔබට වීරයෙක් ඉන්නවද? ඔහු හෝ ඇය වීරයෙක් වුණේ ඇයි?

එක වීරයෙක් කියලා නෑ. ගැහැනිය ගැන ලියන හැටි දැක්කහ ම, ලෝරන්ස් මට වීරයෙක්. සුන්දර විදියට කෙටි කතා ලියන එක සම්බන්ධයෙන් චෙකොව් මට වීරයෙක්. මාකේස්, මුරකමි වගේ අය, සාහිත්‍යයේ මැජික්කරණය සම්බන්ධයෙන් මට වීරයෝ. කැමූ වීරයෙක්; ක්ලාක් වීරයෙක්; තුර්ගනිව් වීරයෙක්. වීරයො ගොඩයි. හින්දු දේව මණ්ඩලය වගේ, ග්‍රීක දේව මණ්ඩලය වගේ, ඕනෑ ම ආකාරයේ කෙනකුට තමන්ගේ කරගත හැකි පරමාදර්ශවල එකතුවක්.

යන්ත්‍රවලට ස්වාභාවික වරණයක් දෙන්න හිතුවෙ ඇයි? ඉයුලෝසියාවෙ රොබෝවන් උපදින්නෙ ගස්වලින්. විදුලි ඵල හැදෙන්නෙත් ගස්වල. යන්ත්‍ර, ලෝකය දිග්විජය කරනවා දකින්න ඔබ යටි හිතින් ආසා කරනවද?

ඒක අහම්බෙන් ඔළුවට ආපු විකාර අදහසක්. මට ඒ අදහසෙන් ගැලවෙන්න ම බැරි වුණා. එහෙම එකක් ඔළුවට ආවෙ ඇයි කියලා තාම මට හිතාගන්න බෑ. ඒ නිසා මම ඒ චිත්තරූප දෙක තුනට චරිත ඔස්සේ වර්ධනය වෙන්න ඉඩ දුන්නා. ලිවීම තුළ ඒ ලෝකය කෙමෙන් කෙමෙන් පුළුල් වුණා.

ෆැන්ටසි කතාවක් හදන කෙනා, දෙවියන්වහන්සේ වීම යනු කුමක් ද යන්න විඳිනවා. මොකද අපි ලෝකයක් නිර්මාණය කරන නිසා. ෆැන්ටසි රචකයා, කිසිවකු ජයග්‍රහණය නොකරනවා නම්, ලෝකය එහෙම ම තියෙනවා නම් කැමැතියි. ලෝඩ් ඔෆ් ද රිංග්ස් ගන්න. ඒක, අතිශය ගල් ගැහුණු, දියුණු නොවන, පසුගාමී ලෝකයක් . සංරක්ෂණවාදී ලෝකයක්. එම ලෝකයට කාර්මීකරණය අරගෙන එන, විප්ලවකාරී සෞරොන් හරියට පුනරුද යුගයේ චින්තකයෙක් වගේ. ඒත්, ලේඛකයා සිය ෆැන්ටසි ලෝකය ආරක්ෂා කර ගන්න විප්ලවකාරයා පරද්දනවා. තමන්ගේ සිහින ලෝකය ඒ විදියට ම ඉතුරු කර ගන්නවා. ඒ විතරක් නෙමෙයි, විප්ලවකාරයා විකෘති අමානුෂික අයෙක් විදියට ජයග්‍රහණය කළ සංරක්ෂණවාදී දේශපාලනයේ ඉතිහාසයේ ලියනවා. ඒ නිසා මම අවංක වුණොත්, කවුරුත් ජයග්‍රහණය කරනවට මම කැමැති නැහැ.

සාම්ප්‍රදායික ලාංකේය විද්‍යා ප්‍රබන්ධ රචනා රාමුවෙන් එළියට පැනලා, අනාගතමය ලිවීමකට ට්‍රැක් මාරු කරන්න හිතුවෙ ඇයි? පාඨකයා ඔබ ඔය තරමටම විශ්වාස කරනවද?

මම ලියන්නෙ මං වෙනුවෙන් කියලා මම හිතනවා. ලිවීමේ අත්දැකීම අපූර්ව එකක්. සුන්දර, භයානක, වෙහෙසකාරී, ජීවිතයේ වැදගත් ම දෙයක්. ලියලා ඉවර වෙලා මම පාඨකයාගේ ඇහෙන් ආයෙ පොත කියවනවා. ඒ නිසා මම සහ පාඨකයා අතර වෙනසක් තියෙනවට මම කැමැති නෑ. මගේ පර්යාලෝකයට සමපාත සියල්ලන්ට ම මෙය හොඳ හෝ නරක, නමුත් කියැවීමේ අත්දැකීමක් වේවි. සමපාත නොවන අයට මගේ ලිවීමේ සාරයක් පේන්නෙ නැති වේවි. එය බොහොම සාමාන්‍ය දෙයක්. කිසි ම කෘතියක් විශ්වීය ඇගැයීමකට ලක් වෙන්නෙ නෑ. ඒ නිසා මම, අවදානම බාර ගන්නවා.

ප්‍රබන්ධයක් ලියලා ඉවර වුණාට පස්සෙ, ඔබේ ශරීරයෙන් හෝ ආත්මයෙන් සුළු කොටසක් හෝ අහිමි වුණා කියලා හැඟීමක් ඇති වුණාද? එහෙම හැඟීමක් ලේඛකයකුට ඇති වෙන්න පුළුවන්ද?

කෙටියෙන් කියන්නම්. ගැහැනියකට සිය දරුවා ප්‍රසූත කිරීම, සිය ශරීරයේ කොටසක් අහිමි වීම සහ ඒ හා සමඟ ‘මේ මගේ දරුවා’ය යන්න එන අයිතිවාසිකමක්. ලිවීම කියන්නෙත් එහෙම දෙයක් වෙන්න ඇති. මං ඇත්තට ම දන්නෙ නෑ.

සංවාදය කාංචනා අමිලානි


නව අදහස දක්වන්න