පාසලට යැවිය යුතු උපදේශන සේවය | දිනමිණ

පාසලට යැවිය යුතු උපදේශන සේවය

පෞරුෂ හා කායික ගැටලු ද වත්මන් පාසල් සිසුන් අතර බහුලවම පවතී. බොහෝමයක් පෞරුෂ ගැටලු භීතිකා ලෙස හැඳින්විය හැකිය. පරාජිත හැඟීම්, සමාජයට මුහුණදීමට ඇති බිය, අකමැත්ත වැනි පෞරුෂ ගැටලුවලට ශිෂ්‍යයෝ මුහුණපාති. සංකීර්ණ මෙන්ම ගතික සමාජයකට ඔරොත්තු දෙමින් තම පෞරුෂය ශක්තිමත් කරගැනීමට අවශ්‍ය ශක්තිය පාසල තුළින් ශිෂ්‍යයාට ලබාදිය යුතුය. ඒ සඳහා ශක්තිමත් පාසල් උපදේශන සේවාවක අවශ්‍යතාවය පැන නගියි.

ඕනෑම පුද්ගලයකුට තම ජීවිත කාලය තුළදී විවිධ ගැටලු හා පීඩනයන්ට මුහුණ දීමට සිදුවේ. ඇතැම් අවස්ථාවලදී තමා මුහුණ දෙන ගැටලුකාරී තත්ත්වයන් සරලව විසඳා ගැනීමට පුද්ගලයාට හැකියාව ලැබුණද ඇතැම් අවස්ථාවන්හි එම ගැටලුකාරී තත්ත්වයෙහි ප්‍රබලතාව මත පුද්ගලයා කායික, මානසික චිත්තවේගික ලෙස දුර්වලව එම ගැටලුකාරී තත්ත්වයන්ට සාර්ථකව මුහුණ දීමට හැකියාව ලැබෙන්නේ නැත. එවැනි අවස්ථාවලදී මෙම ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ දීමට, නිරාකරණය කරගැනීමට, මඟපෙන්වීමට, සමනය කර ගැනීමට සහාය වන ක්‍රම විද්‍යාවක් ලෙස උපදේශනය හඳුනාගත හැකිය.

උපදේශනය යනු “නිවැරදි තොරතුරුවලින් යුක්ත දැඩි විශ්වාසයකින්ද යුක්ත චිත්තවේගීය උදව්වක් සහ කරුණාවක් සැපයීමට ගන්නා උත්සාහයක් සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙක් (උපදෙස් දෙන්නා සහ ලබන්නා) අතර ඇතිවන අන්තර් ක්‍රියාකාරිත්වය යනුවෙන් ස්ටැන්ලි ජොන්ස් දක්වයි. වර්තමානය වනවිට උපදේශනය වෙනමම මනෝ විද්‍යා විෂයක් ලෙස වර්ධනය වී ඇත. උපදේශනයේ ප්‍රධාන ක්ෂේත්‍රයන් කිහිපයක් හඳුනාගත හැකිය. එනම්,

* අධ්‍යාපනික උපදේශනය
* මනෝ විද්‍යාත්මක උපදේශනය
* වෘත්තීය උපදේශනය
* පවුල් උපදේශනය

ආදියයි. නූතන සංකීර්ණ මිනිස් සමාජයෙහි දේශපාලනික, ආර්ථික, සමාජ, සදාචාර තත්ත්වයන් ඉතා ශීඝ්‍රයෙන් වෙනස් වෙමින් පවතී. සමාජයේ සාරධර්ම පිරිහීයාම, සදාචාරය මිනිසුන් කෙරෙන් දිනෙන් දින ඈත්වීම පැහැදිලිවම දක්නට ලැබේ. වත්මන් සමාජය විද්‍යා තාක්ෂණ දියුණුවෙන් ඉහළ තලයකට පිවිසිය ද ඊට සාපේක්ෂව ගුණදහම් ආදියෙහි දියුණුවක් සිදුවී ඇති බවක් විද්‍යාමාන නොවේ. මෙවැනි සංකීර්ණ සමාජයෙන් බෙහෙවින්ම පීඩාවට පත්වන්නේ දරුවන්ය. කවර සමාජ පන්තියකට අයත් දරුවකු තුළ වූවද තනිව විසඳා ගත නොහැකි දැඩි පීඩාකාරී ගැටලු පැවතිය හැකිය. මෙම තත්ත්වයන්ගෙන් දරුවන් මුදාගැනීමට මනා ලෙස සංවිධානය වූ අධ්‍යාපනික උපදේශන සේවයක් සෑම පාසලකටම කාලීන අවශ්‍යතාවයක් බවට පත්ව ඇත. පාසල්වල ශිෂ්‍යයෝ විවිධාකාර ගැටලුවලට මුහුණ දෙති.

* අධ්‍යාපනික ගැටලු
* මානසික ගැටලු
* පෞරුෂ හා කායික ගැටලු
* පවුල් ආශ්‍රිත ගැටලු
* වෘත්තීය ගැටලු

ආදිය ඉන් කිහිපයකි. මෙම ගැටලු ශිෂ්‍ය ශාස්ත්‍රීය සාධනය මෙන්ම පෞරුෂ සංවර්ධනය අඩපණ කිරීමටද හේතුකාරක විය හැකිය.

ශිෂ්‍ය ගැටලු

පාසල් ශිෂ්‍යයන් මුහුණ දෙන අධ්‍යාපනික ගැටලු ලෙස ලිවීම, කියවීම හා අවබෝධය පිළිබඳ ගැටලු, ඉගෙනීමේ දුෂ්කරතා, අවධානයෙන් යුතුව යමක් කිරීමේ අපහසුතාව, සෙමෙන් ඉගෙනුම, ඉගෙනීම කෙරෙහි මවුපියන් ඇතිකරන අධික පීඩනය, විභාග සඳහා මුහුණදීමට ඇති බිය (විභාග භීතිකාව), පාසල කෙරේ ඇති බිය (පාසල් භීතිකාව), පාසල් විනය, පරිපාලනය හා ගුරුවරුන් පිළිබඳව ශිෂ්‍යයන්ට ඇතිවන ගැටලු, ඉගැන්වීම් ක්‍රම පිළිබඳව ශිෂ්‍යයා මුහුණ දෙන ගැටලු, ඉගෙනුම් පසුබටතාව ආදී බොහෝ ගැටලු හඳුනාගත හැකිය. තරගකාරී අධ්‍යාපන රටාවත් සමඟ නිර්මාණය වී ඇති බොහෝ ගැටලුවලින් ශිෂ්‍යයන් අධික ලෙස පීඩනයට පත්ව ඇත. එහෙයින් පාසල් උපදේශන සේවාවක අවශ්‍යතාව මතුව ඇත. වෘත්තියෙන්ම ගුරුවරයාටද මූලික උපදේශනය සඳහා භූමිකාවක් පවතී.

මානසික පීඩා

තමන්ගෙන් ඉගෙන ගන්නා ශිෂ්‍යයන් පිළිබඳ මනා අවබෝධයක් ගුරුවරයා සතුවිය යුතුය. පොදු අධ්‍යාපනික ගැටලු සඳහා ගුරුවරයාටද විසඳුම් ලබාදිය හැකිය. විශේෂයෙන්ම පාඩම් කළ යුතු ආකාරය, මතක තබාගැනීමේ ක්‍රම, කෙටි සටහන් සකස් කරගත හැකි ආකාරය, විභාගවලට සාර්ථකව මුහුණ දිය හැකි ආකාරය ආදිය පිළිබඳ දැනුවත් කිරීම ගුරුවරයාට සිදුකළ හැකිය. ඉතා සංකීර්ණ අධ්‍යාපන ගැටලු සඳහා පෞද්ගලිකව උපදේශනය සැපයීමට සිදුවේ. එහෙයින් පාසලක් තුළ උපදේශන සේවාවක් අත්‍යවශ්‍ය බව පැහැදිලිය.

මානසික ගැටලුවලින් පීඩා විඳින දරුවන්ද වත්මන් පාසල් පද්ධතියෙන් හමුවේ. නිරන්තරයෙන් අවිනිශ්චිතතාවලට මුහුණදීමට සිදුවීම හා අති සංකීර්ණ ගැටලුකාරී අවස්ථාවන්ට මුහුණදීමේ ප්‍රතිඵලයක් ලෙස මානසික පීඩා ඇතිවිය හැකිය. මානසික රෝගවලට ගොදුරුවන දරුවන්ද වත්මන් පාසල් පද්ධතියෙන් හමුවේ. මානසික රෝග ප්‍රධාන කොටස් දෙකක් යටතේ හඳුනාගත හැකිය.

එනම්, නියුරෝෂියා ආබාධ හා සයිකෝෂියා ආබාධ යනුවෙනි. සමාජ භීතිකා, ආතතිය, කාංසාව, විෂාදය, ක්ලමථය ආදී නියුරෝෂියා රෝග තත්ත්වලට ඇතැම් දරුවෝ ගොදුරු වෙති. කායිකව ඇතිවන වෙනස්කම්වලට සමානුපාතිකව මානසිකව ඔරොත්තු දීමේ හැකියාව අඩුවීම, පවුලෙන් පාසලෙන් සමාජයෙන් බලාපොරොත්තු වන ඉහළ අපේක්ෂා ඉටුකිරීමට නොහැකිවීම, අනපේක්ෂිත හදිසි අනතුරු ඇතිවීමෙන් කම්පන තත්ත්වයට පත්වීම ආදී බොහෝ හේතුකාරණා මත පදනම්ව මානසික පීඩාකාරී තත්ත්ව උද්ගත විය හැකිය. පාසල් උපදේශන සේවාව මගින් මෙම මානසික රෝග ඇතිවීමට පෙර වළක්වාගත හැකිය. බොහෝ නියුරෝෂියා ආබාධ සඳහා පිළියම් යෙදීමට පාසල් උපදේශනය තුළින් හැකියාව ලැබේ. සයිකෝෂියා ආබාධ සඳහා පිළියම් යෙදීමට මනෝ වෛද්‍යවරුන්ගේ සහාය ලබාගැනීමට සිදුවේ. පාසල් උපදේශන සේවාවක් පවතී නම් මානසික පීඩාවලින් මිදී සාර්ථකව තම අධ්‍යාපන කාර්යයෙහි යෙදීමට ශිෂ්‍යයන්ට හැකියාව ලැබේ.

පවුල් පරිසරය ආශ්‍රිතවද බොහෝ ගැටලුවලට මුහුණපෑමට දරුවන්ට සිදුව ඇත. අතීතයේ දී විස්තෘත පවුල බහුල ලෙසම සමාජය තුළ ස්ථාපිත වී තිබිණි. වර්තමාන නාගරික සමාජයේ න්‍යෂ්ටික පවුල් ව්‍යුහය බහුලව ඇත. විස්තෘත පවුල්වලට සාපේක්ෂව න්‍යෂ්ටික පවුල් තුළින් සීමාසහිත සම්බන්ධතා විද්‍යාමාන වේ. මෙම න්‍යෂ්ටික පවුල තුළ පැන නගින බොහෝ ගැටලු තුළින් දරුවන් පීඩනයට පත් වේ. මව හා පියා රැකියාවල නිරතවීම නිසා දරුවන්ට ලැබිය යුතු ආදරය, සෙනෙහස, ආරක්ෂාව නොලැබීයාම, මව හා පියා අතර නිතර නිතර ආරවුල් ඇතිවීම, මව හෝ පියා පවුල අතහැර යාම, දික්කසාද වීම, මවුපියන් මිය යාම, මවුවරුන් මැදපෙරදිග රැකියා සඳහා විදේශගත වීම, පවුලේ අවශ්‍යතා ඉටුකරගත නොහැකි ලෙස පහළ ආදායමක් ලැබීම, පවුලේ සාමාජිකයන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම ආදී බොහෝ ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණදීමට දරුවන්ට සිදුවේ. පාසල් උපදේශන සේවයක් පවතී නම් පාසල් සිසුන් මුහුණ දෙන මෙම පීඩාකාරී තත්ත්වයන් සමනය කර ගැනීමට දායක විය හැකිය.

පෞරුෂය ගොඩනැගීම

පෞරුෂ හා කායික ගැටලු ද වත්මන් පාසල් සිසුන් අතර බහුලවම පවතී. බොහෝමයක් පෞරුෂ ගැටලු භීතිකා ලෙස හැඳින්විය හැකිය. පරාජිත හැඟීම්, සමාජයට මුහුණදීමට ඇති බිය, අකමැත්ත වැනි පෞරුෂ ගැටලුවලට ශිෂ්‍යයෝ මුහුණපාති. සංකීර්ණ මෙන්ම ගතික සමාජයකට ඔරොත්තු දෙමින් තම පෞරුෂය ශක්තිමත් කරගැනීමට අවශ්‍ය ස්වශක්තිය පාසල තුළින් ශිෂ්‍යයාට ලබාදිය යුතුය. ඒ සඳහා ශක්තිමත් පාසල් උපදේශන සේවාවක අවශ්‍යතාවය පැන නගියි. එසේම නව යොවුන් වියේ සිටින දරුවන් ලිංගික ගැටලුවලටද මුහුණ දෙයි. ස්වයං වින්දනය, සමලිංගික ඇසුර, සමාජ රෝග, ගැබ් ගැනීම් ආදී බොහෝ ගැටලුවලට ඇතැම් පාසල් ශිෂ්‍යයෝ මුහුණපාති. මෙම ගැටලු අධ්‍යාපන කටයුතු කෙරෙහි අහිතකර ලෙස බලපායි. පාසල් උපදේශන සේවාව හරහා දැනුවත් කිරීම්, පොදු දේශන, සාකච්ඡා ආදිය සංවිධානය කර දරුවන් එම ගැටලුකාරී තත්ත්වයන්ගෙන් මුදාගත යුතුය. අවශ්‍ය අවස්ථාවලදී කණ්ඩායම් හා කේවල උපදේශන වාර පවත්වා දරුවන් නිවැරදි මාවත කරා යොමු කළ හැකිය. මේ ‍සඳහා පාසල් උපදේශන සේවාව අත්‍යවශ්‍යම සම්පතකි.

වෘත්තීය උපදේශන

වත්මන් පාසල් සිසුන් වෘත්තිය ගැටලුවලටද මුහුණ දෙයි. උගත්කමට සරිලන රැකියාවක් ලැබේද? රැකියාවලට බඳවා ගන්නා ආකාරය කුමක්ද? විවිධ රැකියා සඳහා ඉල්ලුම් කිරීමට අවශ්‍ය අධ්‍යාපනික හා අතිරේක සුදුසුකම් මොනවාද? රැකියාවකට අවශ්‍ය වෘත්තීය පුහුණුවක් ලබාගන්නේ කුමන ආයතනවලින්ද යන ගැටලු තවමත් සිසුන් තුළ පවතී. මේ නිසා පාසල්වල වෘත්තීය මාර්ගෝපදේශනයක අවශ්‍යතාවය ද ඉස්මතු වේ. වෘත්තීය උපදේශනයේදී තම කුසලතා හා ලැදියාවක් හඳුනා ගැනීමට හා ඒවා තක්සේරු කිරීමට අදාළ සහාය ශිෂ්‍යයාට ලබාදිය යුතුය. එසේම රැකියා අවස්ථා, අනාගත සේවාදායකයා සතුවිය යුතු සුදුසුකම්, හැකියා කුසලතා සහ පෞරුෂ ගුණාංග පිළිබඳ තොරතුරු ලබාදිය යුතුය. මේ සඳහා පාසල් උපදේශන සේවාවක් අත්‍යවශ්‍ය වේ.

දැනුම, කුසලතා, ආකල්පවලින් හෙබි පූර්ණ පෞරුෂයකින් යුතු සිසු පරපුරක් සමාජයට දායාද කිරීම පාසල් සතු ප්‍රමුඛතම වගකීමකි. ඒ සඳහා සිසුන් මුහුණදෙන මෙම ගැටලුවලින් ඔවුන් මුදාගෙන ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සඳහා ඔවුන් සක්‍රීයව දායක කරගත යුතුයි. මෙහිදී වඩාත් ශක්තිමත් පාසල් උපදේශන සේවාවක කාලීන අවශ්‍යතාව ඉස්මතු වේ.

කථිකාචාර්ය ගයනි කුමාරි කරුණාතිලක,
මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යා පීඨය, පොල්ගොල්ල

ඡායාරූප-විමල් කරුණාතිලක


නව අදහස දක්වන්න