බක් මහ දිවුරුමේ වැදගත්කම | දිනමිණ

බක් මහ දිවුරුමේ වැදගත්කම

දුමින්ද අලුත්ගෙදර

ආරක්ෂක අංශ ප්‍රධානීන් මාධ්‍ය හමුවේ පවසා සිටියේ ත්‍රිවිධ හමුදාවට ඉතා පහසුවෙන් මත්ද්‍රව්‍ය ව්‍යසනය අවසන් කිරීමට හැකියාව ඇති බවකි. ඊට අවශ්‍ය නීති සකස් වීම ද මේ වන විට සිදුවෙන බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා පෙන්වා දුනි.

අප්‍රේල් 03 වැනිදායින් පසු මත්ද්‍රව්‍ය මර්දනය හා නිවාරණයට පොලිසිය සමඟ ත්‍රිවිධ හමුදාව වඩාත් සක්‍රීය ලෙස දායක කරගන්නා බව ජනපතිවරයා පසුගියදා ආණ්ඩුකාරවරුන් හමුවේ පවසා තිබේ. එහිදී ජනපතිවරයා පෙන්වා දී ඇත්තේ මේ රටේ තරුණ පරපුර රැක ගැනීමේ පරම චේතනාවෙන් ‘සුජාත දරුවෝ‘ නමැති වැඩසටහනක් ක්‍රියාත්මක කරවීමේ වුවමනාව ඇති බවකි. ඒ සඳහා පොලිසිය ඇතුළු ත්‍රිවිධ හමුදාවේ සහය ලබාගැනීමේ අවශ්‍යතාවය මතු වී ඇති බවද පෙන්වා දී ඇත.

මත්ද්‍රව්‍ය පිටුදැකීමේ ජනපතිවරයාගේ වැඩපිළිවෙළ තවත් සුවිශේෂී අවස්ථාවක් පසු කරමින් අප්‍රේල් 03 වැනිදා සියලුම පාසල් දරුවන් සහභාගි කරවමින් සහ ශ්‍රී ලංකාවේ සමස්ත පාසල් ප්‍රජාව හා රාජ්‍ය සේවකයන් ද තම සේවා ස්ථානවලදීත් මත්ද්‍රව්‍යට එරෙහි ප්‍රතිඥාවක් හෙවත් දිවුරුමක් ලබා දෙනු ඇත. මෙවන් ජාතික වැඩසටහනක් දියත් කෙරෙන පළමු අවස්ථාව ද මෙය වේ. ජාතික උත්සවය කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේ පැවැත්වීමට කටයුතු යොදා තිබීම ද විශේෂත්වයකි. මත්ද්‍රව්‍ය මේ රටේ ඇති බරපතළ ව්‍යසනයක් බැව් තහවුරු වන්නේ එය නිවාරණය සුළු පටු කරුණක් නොවන නිසා ය. ජනපතිවරයාගේ ආරාධනයෙන් අගමැතිවරයා සහ විපක්ෂ නායකවරයා ද එකී ප්‍රතිඥාවට නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයට පැමිණෙනු ඇත.

පාතාලය හා දේශපාලනය

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ පාතාල ක්‍රියාකාරකයින් මේ රටේ දේශපාලනයේ තීරකයන් බවට පත් වූ පසුගිය දශක ගණනාව පුරා පුරවැසි අයිතිවාසිකම් සියල්ල උල්ලංඝනය වී තිබුණි. රාජ්‍ය අංශය ද අකර්මන්‍ය වී තිබූ යුගයක පාතාල ක්‍රියාකාරීන් හා මත් ජාවාරම්කරුවන් මෙන්ම නිදන් සොරුන් මේ රටේ ධනපතියන් වූයේ කෙසේ ද යන්න මතට එරෙහි ජනපතිගේ වැඩපිළිවෙළෙන් පසු නිරාවරණය වෙමින් තිබේ. මත් ජාවාරම්කරුවන් අවි ගබඩා පවා පවත්වාගෙන යමින් තිබූ අවදිය අවසන් කිරීමට සියල්ලන්ම එක පෙළට සිටගත යුතුය යන ජනපතිගේ උදාරතර ඉල්ලීම මල් පල දරමින් තිබේ.

ශ්‍රී ලංකා පොලිසිය මේ වන විට අපරාධකරුවන් වැටලීමේ මෙහෙයුම් දියත් කර ඇති අතර ජනපතිවරයා අවධාරණය කර සිටියේ ඊට මහජන සහයද ලබා දිය යුතු බවයි. විවිධ ප්‍රදේශවලින් වාර්තා වන කප්පම් ගැනීම් රාජ්‍ය යාන්ත්‍රණයේ බිඳ වැටීමට ද ප්‍රධාන හේතුවක් ද වී තිබේ. එවැනි දේට ඉඩ නොතබා නීතිය ක්‍රියාත්මක කිරීම පොලිසියේ ප්‍රධාන වගකීමකි. ඒ සඳහා අවශ්‍ය බලය ශ්‍රී ලංකා පොලිසියට ලබා දී තිබීම යහපත් ය. මේ රටේ ජීවත්වන ජනතාවගේ අවශ්‍යතා ඉටුකර ගැනීමට ඇති බාධකය රාජ්‍ය සේවය යැයි ජනපතිවරයා පසුගියදා ප්‍රකාශ කරමින් කියා සිටියේ රාජ්‍ය සේවය දූෂිත බවයි. ඒ තත්ත්වය යළි නිවැරැදි කර ගැනීමේ අවශ්‍යතාවය මේ රට හමුවේ ඇති තවත් අභියෝගයක් බව ද පෙනෙන්නට තිබේ.

මත්ද්‍රව්‍ය ව්‍යසනයෙන් ජනතාව මුදා ගැනීමේ මෙහෙයුම් දියත් වන්නේ ඊට ත්‍රිවිධ හමුදාව වෙත නිශ්චිත කාලයක් සඳහා බලය පැවැරීමකින් ය. නීතිපතිවරයා නිර්දේශ කරනු ලබන ඇතැම් බලතල පැවරෙන ආකාරයට මත්ද්‍රව්‍ය පාලන විශේෂ විධිවිධාන පනතක් කෙටුම්පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබෙන්නේ ද ජනපතිවරයාගේ වැඩපිළිවෙළට සහය පළ කරමින් ය.

මත්ද්‍රව්‍ය පිටුදැකීමකින් තොරව තවත් වසර ගණනක් ඉදිරියට ගමන් කළේ නම්, ශ්‍රී ලංකාව ලෝකයේ මත් ජාවාරමට උරුමකම් කියන බෞද්ධ රටක් වීම නොවැළැක්විය හැකි කරුණක්ව තිබුණි. ඊට නිදසුන් මේ දිනවල පොලිසිය දියත් කර ඇති වැටලීමවලින් පෙන්නුම් කරන්නේ ය. ඒ නිසාම ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බළකායේ ද සක්‍රීය දායකත්වය ලබා ගැනීමට කටයුතු කර තිබේ. ප්‍රමාද වී හෝ ත්‍රිවිධ හමුදාව මේ කාර්යයට මැදිහත් කර ගැනීම පිළිබඳ බොහෝ දෙනෙක් ප්‍රශංසනාත්මකව කතා කරන බවක් පෙනේ. පිලිපීන රාජ්‍යයේ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට යොදාගෙන ඇත්තේ ත්‍රිවිධ හමුදා සහය යි. එනිසා ශ්‍රී ලංකාව තුළ මත්ද්‍රව්‍ය ජාවාරමුන් සහ රට තුළට ඇතුළුවන මත් ජාවාරම්කරුවන් කොටුකර ගැනීමට ත්‍රිවිධ හමුදාවට හැකියාව තිබේ.

ආරක්ෂක අංශ ප්‍රධානීන් මාධ්‍ය හමුවේ පවසා සිටියේ ත්‍රිවිධ හමුදාවට ඉතා පහසුවෙන් මත්ද්‍රව්‍ය ව්‍යසනය අවසන් කිරීමට හැකියාව ඇති බවකි. ඊට අවශ්‍ය නීති සකස් වීම ද මේ වන විට සිදුවෙන බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා පෙන්වා දුනි. එනිසා ශ්‍රී ලංකා පොලිසියට සහාය දක්වමින් ත්‍රිවිධ හමුදාව දැනටමත් මෙහෙයුම්වලට අවතීර්ණ වී ඇති බවයි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා අවධාරණය කළේ. ශ්‍රී ලංකාව වටා ඇති මුහුදු තීරයත් මත් ජාවාරම්කරුවන්ට තෝතැන්නක් වී තිබීම ප්‍රශ්නකාරී බව පවසන අද්මිරාල්වරයා පෙන්වා දෙන්නේ, ධීවර කර්මාන්තය මුවාවෙන් මත් ජාවාරම සිදුවිය හැකි බව ය.

මුහුදු මාර්ග අවහිර කිරීම

රට තුළට මත්ද්‍රව්‍ය ගලා ඒමේදී ප්‍රධාන වන්නේ මුහුදු මාර්ග භාවිතය යි. ධීවර කර්මාන්තයේ යෙදෙන 3200කට වඩා වැඩි බහුදින ධීවර යාත්‍රා මඟින් රට පුරා ඇති ධීවර වරායන් 17ක් පමණ ඔස්සේ මත් ජාවාරමට සහය දැක්වීමේ අවදානමක් ද ඇති බව පවසන අද්මිරාල්වරයා පෙන්වා දුන්නේ, උතුරේ සහ ඉන්දීය ධීවරයන්ගේ ගැටලුව වගේම අද මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන්, දැඩි අවධානය යොමුවිය යුතු බව යි. පසුගිය කාලය පුරා මෙරටට මත්ද්‍රව්‍ය ගෙන්වීමට යොදා ගත් මුහුදු මාර්ග අවහිර කිරීමට නාවික හමුදාව දැනටමත් කටයුතු කරමින් සිටී. එය මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්යය සාධක බළකායට ලැබෙන පිටුබලයකි.

යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා සඳහන් කළේ, මෙරටට මත්ද්‍රව්‍ය ගෙන්වනු ලබන මහා පරිමාණ ජාවාරම්කරුවන්ට සහ ඒවා බෙදාහරින්නන්ට මෙන්ම මත්ද්‍රව්‍ය භාවිත කරන පිරිසට තේරෙන භාෂාවෙන් පිළිතුරු ලබාදීමට යුද හමුදාව සූදානම් බවකි. යුද්ධය අවසන් කළ වීරෝදාර හමුදාවට මේ රට අභ්‍යන්තරයේ ඇති ඕනෑම ව්‍යසනයකට සාර්ථකව මුහුණ දීමට හැකි බව එකී ප්‍රකාශයෙන් ගම්‍ය වේ. ඊට අවශ්‍ය සේනාධිනායකයාගේ නියෝගය පමණක් බව ද ඉන් පිළිඹිබු වෙයි. මත්ද්‍රව්‍ය මැඩලීමේ කාර්යයට ගුවන් හමුදා සහය ද සෘජුව ලබා දෙන බව පවසන ගුවන් හමුදාපතිවරයා, සියලුම තාක්ෂණික ක්‍රම ඒ සඳහා භාවිත කරන බව ද පැවසී ය. එය මේ රටින් මත්ද්‍රව්‍ය තුරන් කිරීමට වඩාත් යහපත් එළඹුමක් වනු ඇත. ප්‍රතිචාරයකි. ගොඩබිමින්, මුහුදෙන්, ගුවනින් පැමිණ ශ්‍රී ලංකාව වෙලා ගන්නා මත් රකුසා තුරන් කිරීමට එමගින් නොබෝ දිනකින් ඉටුවනු ඇත.

‘පිලිපීනයේ මත්ද්‍රව්‍ය වැරැදිවලට දඬුවම මරණ දඬුවම, ඉන්දියාව පමණක් නොව අමෙරිකාව පවා මරණ දඬුවම ලබා දෙන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට. ඒ නිසා අපත් එය අනුගමනය කරනවා‘ යැයි ජනපතිවරයා පැවැසුවේ පසුගිය දිනක මාතර දිස්ත්‍රික්කයේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනකට සහභාගී වෙමිනි. එහිදී ජනපතිවරයා පෙන්වා දුන්නේ, වසර 30ක් කුරිරු යුද්ධයෙන් බැට කෑ ජනතාව මත් ජාවාරමේ කෘර හස්තයෙන් ගලවා ජාතිය නිදහස් කර ගැනීමට ත්‍රිවිධ හමුදාවට නියෝග කරන්නේ ය යන්නය. එහි නායකත්වය තමන් දරන බව ද ජනපතිවරයා පෙන්වා දුන්නේ රාජ්‍ය නායකයා වශයෙන් සැබෑ නායකත්වය පෙන්වමිනි.

තරුණ අසහනය

කම්කරු පන්තිය ප්‍රමුඛ පීඩිත ජනයා පෙළා දමන මත්ද්‍රව්‍ය උවදුර මේ වන විට පවුල් සංස්ථාවලට ද අභියෝගයක් වී තිබේ. තරුණ පිරිස් තුළ ඇති සමාජ අසහනය ද එක පැත්තකින් මත්ද්‍රව්‍ය සඳහා මඟ විවර කරන්නකි. මත්ද්‍රව්‍ය සමාජයෙන් මුලිනුපුටා දමනවාත් සමඟ තරුණ පරපුරේ ඇති ඇත්ත ප්‍රශ්නවලටත් විසඳුම් සෙවීම කාලෝචිත ය. විරැකියාවෙන් තරුණ පරපුර පීඩාවට පත් වන්නේ නම් ඊට පිළියම් අවශ්‍ය ය. වැඩ කරන ජනයාගේ හෙට දවස කල එළි කරන්නට පියවර ගත යුතු ය. ජනපතිවරයාගේ ක්‍රමානුකූල එළඹුම් මෙරට ජනයාට පූර්ණ නිදහස ලබා දීමේ අභිප්‍රායෙනි.

මත්ද්‍රව්‍ය ජාවාරම් සහ ඒවා බෙදාහැරීම් පිටුදැක රටේ මානව සම්පත සක්‍රීය කිරීමේ දී වැඩි බරක් පැටවෙන්නේ රාජ්‍ය නායකයාට ය. ජාවාරම්කරුවන් ආරක්ෂා කළ යුගය අවසන් කර ඔවුන්ට දඬුවම් කර ජාවාරම මෙරටින් තුරන් කිරීමට පියවර ගැනීම මහජනයාගේ ප්‍රශංසාවට හේතු වී ඇත. මත්ද්‍රව්‍ය ජාවාරමට සමාවක් නොදෙන බැව් ජනාධිපතිවරයා පැවසූ වාර අප්‍රමාණ ය. රාජ්‍ය යාන්ත්‍රණය මෙන්ම පෞද්ගලික අංශ ද මත් විරෝධයට එළඹීම මෙරට ගිලී ඇති ප්‍රපාතයෙන් ගොඩගැනීමට ඉවහල් වනු නොඅනුමානය. එනිසා ජනපතිවරයාගේ උත්සාහයට සහය පළ කිරීම සියලු පුරවැසියන්ගේ වගකීමක් ද වන්නේ ය.

ඡායාරූපය ජනාධිපති මාධ්‍ය ඒකකය

නව අදහස දක්වන්න