2019 අයවැය යෝජනා ජාතික වාණිජ මණ්ඩලයේ ඇගැයීමට | දිනමිණ

2019 අයවැය යෝජනා ජාතික වාණිජ මණ්ඩලයේ ඇගැයීමට

ජයසිරි මුණසිංහ

අධ්‍යාපන, සෞඛ්‍ය, ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන සහ උතුරු නැ‍ඟෙනහිර හා පසුගාමී පළාත්වල දියුණුවට රජය මෙවර අයවැයෙන් අගනා යෝජනා ගොන්නක් ඉදිරිපත් කිරීම අගය කරන බව ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලයේ සභාපති අසේල ද ලිවේරා මහතා ප්‍රකාශ කෙළේය.

කොළඹ ඩී. ආර්. විජයවර්ධන මාවතේ පිහිටි ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩල ශ්‍රවණාගාරයේ ඊයේ (12) දහවල් පැවැති මාධ්‍ය හමුව අමතා අදහස් දක්වමින් ලිවේරා මහතා එසේ කීය.

වසර 2015 සිට රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීම, අයවැය පරතරය අඩුකර ගැනීම ඉලක්කකොට රටේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති අඛණ්ඩව ‍ඉදිරියට ගෙන යෑමට කටයුතු කළ රජය, මෙවර ද ඉන් බැහැර නොවී සිටීම වටිනා කටයුත්තකැයි ද ලිවේරා මහතා සඳහන් කෙළේය.

ජාතික අයවැයෙන් රටේ කෙටි කාලීන, මැදි හා දිගුකාලීන සංවර්ධනය ඇතිකිරීමට ඉවහල් වන යෝජනා ගණනාවක් ද, ජනතාවට සුබසාධනය අත්කර දීමට නව යෝජනා ද මෙවර අයවැයෙන් රජය ඉදිරිපත්කොට ඇතැයි ද ඒ මහතා කීය.

ඒ මහතා ඇතුළු වාණිජ මණ්ඩලයේ ප්‍රධානීහු මෙසේ ද සඳහන් කළහ.

රු. මිලියන 48,000 වෙන් කරමින් ගම්පෙරළිය වැඩසටහන හරහා ග්‍රාමීය යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා යොමුවීම ජාතික වාණිජ මණ්ඩලයේ අගය කිරීමට භාජනය වේ. තවද රු. මිලියන 500 ක් වෙන්කරමින් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ තරුණ ව්‍යවසායකත්වය වැඩිදියුණු කිරීම සඳහා ගන්නා උත්සාහය මෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ මූලික අවශ්‍යතාවයක් වන මුදල් ප්‍රතිපාදන සඳහා වූ ඇපකර ශ්‍රී ලංකා මහ බැංකුව තුළින් ලබාදීමට කටයුතු කිරීම ජාතික වාණිජ මණ්ඩලයේ ඇගයීමට ලක්වේ.

කෘෂි ආර්ථීක ජීවන රටාව නඟාසිටුවීම වස් මොරගහකන්ද සහ කළු ගඟ බහුකාර්ය යෝජනා ක්‍රම තුළින් රු. මිලියන 12,000 ක් මුදල් ප්‍රතිපාදන ලබාදීමෙන් කිරීමට නියමිත වැඩසටහන් වාණිජ මණ්ඩලයේ ඇගයීමට ලක්වේ. තවද රු. මිලියන 500 ක් මුදල් ප්‍රතිපාදන වෙන්කරමින් සමාජ සුබසාධන අරමුණ යටතේ නාගරික හා ග්‍රාමීය වතු ආශ්‍රිත, උතුරු හා නැ‍ඟෙනහිර ප්‍රදේශවල අඩු ආදායම්ලාභීන්ගේ නිවාස අවශ්‍යතා සපුරාලීමට පියවර ගැනීම ද යහපත් බව ජාතික වාණිජ මණ්ඩලයේ අදහසයි.

අයවැය යෝජනා තුළින් බුද්ධි ප්‍රවර්ධනය සඳහා ආයෝජනය කරමින් රු. මිලියන 32,000 ක් පාසල් යටිතල පහසුකම් දියුණු කිරීම උදෙසා ද, තවත් රු. මිලියන 25,000 ක් විශ්වවිද්‍යාල යටිතල පහසුකම් ප්‍රවර්ධනය සඳහා ද යොමු කිරීම, ඉතා අගනා පියවරක් වේ. තවද සෞඛ්‍ය යටිතල පහසුකම් ප්‍රවර්ධනය සඳහා ද මුදල් ප්‍රතිපාදන වෙන්කිරීම යහපත් බව සඳහන් කළ යුතුය.

ඉතා කෙටි කාලයක් තුළ යෝජිත ව්‍යාපෘති සියල්ල අවසන් කිරීමේ අභියෝගාත්මක කර්තව්‍යයකට රජය මුහුණ දී සිටින අතර ඒ සඳහා වූ ආයතික ධාරිතාවය සහ කාර්යක්ෂමතාවය ඉහළ නංවමින් ඉලක්කගත අරමුණු කරා යොමුවීම ඉතා වැදගත් බව ජාතික වාණිජ මණ්ඩලයේ අදහසයි.

ආයෝජන දිරිගැන්වීමේ අරමුණු ඇතිව ඇ. ඩො. මිලියන 100 ට ඉහළ සහ ඇ. ඩො. බිලියන 1ට ඉහළ මෙන්ම මධ්‍ය පරිමාණ ආයෝජන සඳහා ලබා දී ඇති බදු සහන ජාතික වාණිජ මණ්ඩලයේ ඇගයීමට ලක්වේ. තවද Ease of Doing Business Index, ගෝලීය තරඟකාරීත්ව දර්ශකය, ආර්ථික නිදහස පිළිබඳ දර්ශකය, ගෝලීය දූෂණ මැඬලීමේ දර්ශකය, Logistics Performance Index යන දර්ශක වෙත යහපත් ලෙස ළඟාවීම ආයෝජන සඳහා ඉතාමත් වැදගත් බව අපගේ අදහසයි.

රාජ්‍ය ආදායම පසුගිය වර්ෂයට සාපේක්ෂව 20% කින් ඉහළ දමමින් රජයේ පුනරාවර්ථන වියදම් සහ ආයෝජන වියදම් හසුරවා ගැනීමට දරන උත්සාහය ජාතික වාණිජ මණ්ඩලයේ නිරීක්ෂණයට ලක්වේ. අයවැය පරතරය 4.4% ක් ලෙස ‍පවත්වා ගැනීම මන්දගාමී ආර්ථික වර්ධන වේගයක් තුළ අභියෝගාත්මක කරුණක් වේ. අපේක්ෂිත පොලී ගෙවීම්, මුළු රාජ්‍ය ආදායමින් 35% ක් තරම් වන අතර මුළු බදු ආදායම තුළ වක්‍ර බදු ඉහළ අගයක් ගැනීම ද අභියෝගාත්මක කරුණු ලෙස ජාතික වාණිජ මණ්ඩලයේ නිරීක්ෂණයට ලක්වේ.

මූල්‍ය හිඟය පියවා ගැනීම අරමුණු කරගත් ක්‍රියාපටිපාටියේදී දේශීය මූලාශ්‍ර වෙත යොමුවීම ඉතාමත් වැදගත් බව ජාතික වාණිජ මණ්ඩලයේ අදහසයි. ණය ආපසු ගෙවීම් රු. බිලියන 665 ක අගයක් ගන්නා අවස්ථාවක මෙම ක්‍රියාපටිපාටිය, විනිමය අනුපාතය ගැටලුව සමනය කිරීම සඳහා ඉවහල් වනු ඇති බව අපගේ විශ්වාසයයි.

නව අදහස දක්වන්න