ඵලදායීතාවය රාජ්‍ය සේවය පිණිසයි | දිනමිණ

ඵලදායීතාවය රාජ්‍ය සේවය පිණිසයි

ඵලදායීතා ශිල්ප ක්‍රම හා මෙවලම් භාවිතය තුළින් මහජනතාවට කාර්යක්ෂම සහ ගුණාත්මක සේවාවක් ඉටු කිරීම සඳහා රාජ්‍ය සේවකයින් පෙළ ගැස්වීමේ අරමුණින් ළුලදායීතා ලේකම් කාර්යාලය විසින් මෙම තරගාවලිය වසරක් පාසා පවත්වනු ලබයි.

දකුණු පළාතේ ගාලු දිසාවේ අභිමානවත් ඉමදුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ස්ථාපිත වන්නේ 1998 වර්ෂයේ දීය. එහි ප්‍රථම ප්‍රාදේශීය ලේකම් වන්නේ එම්. කරුණාරත්න මහතාය. එතැන් පටන් මේ දක්වා මෙම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට නායකත්වය ලබා දුන් ප්‍රාදේශීය ලේකම්වරුන් ගණන 18 කි.

විවිධ රාජ්‍ය ආයතන සහ පුද්ගලික ආයතන වලින් සමන්විත මෙම ඉමදුව ප්‍රදේශයේ ප්‍රධාන ජීවනෝපාය ලෙස ගොවිතැන හැඳින්විය හැකිය. මෙවැනි ආර්ථික පසුබිමක් ඇති මෙම ප්‍රදේශයට නායකත්වය ලබා දීම සඳහා 2013 වර්ෂයේ පැමිණි නියමුවා වන්නේ ජී.ජී. ලක්ෂ්මී කාන්ති මහත්මියයි. එම නායකත්වය යටතේ ඉමදුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මෙම ජයග්‍රහණය කරා පියමන් කර ඇත. මෙම ජයග්‍රහණයට සමස්ත කාර්ය මණ්ඩලයේ කැපවීම සම්බන්ධයෙන් වත්මන් ප්‍රාදේශීය ලේකම්රිය කතා කරන්නේ ඉතා ඉහළිනි.

"අපි නව තාක්ෂණික ක්‍රමවේදවලට වැඩ කළා. වෙනස්වීම් ඉක්මනින් කළා. ඒ තුළින් ජනතාවට විශිෂ්ට හා කාර්යක්ෂම සේවාවක් සැලසීම අපේ අරමුණ වුණා. අපේ කාර්ය මණ්ඩලය නිරතුරුවම එම වෙනස්වීම්වලට අනුව වෙනස් වුණා. ඒ අනුව එකම කණ්ඩායමක් ලෙස වැඩ කටයුතු කළ නිසා අද අපි මේ ජයග්‍රහණය ලබා ගත්තා."

ඉමදුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මෙම ජයග්‍රහණය ලබා ගැනීම සඳහා විශේෂ වෙනස්කම් කිහිපයක් සිදුකර ඇත. ඉතාම කෙටි කාලයක් තුළදී කාර්යාලයට පැමිණෙන සේවාලාභීන්ගේ අවශ්‍යතා පිළිගැනීමේ කවුන්ටරය මඟින් හදුනාගනිමින් අවශ්‍ය අංශ වෙත යොමු කිරීම හා අවශ්‍ය උපදෙස් හා අකෘති පත්‍ර ලබාදීමෙන් කාලය හා ශ්‍රමය මෙන්ම නාස්තිය ද වළක්වා ගැනීමට කටයුතු කර ඇත. සේවාවක් ලබා ගැනීමට පැමිණෙන සෑම පුද්ගලයකුම ඉදිරියේ ඇති පිළිගැනීමේ කවුන්ටරයෙන් ලියාපදිංචි කර ගනු ලබන අතර එහි දී සේවාව අවශ්‍ය ශාඛාව වෙත අදාළ පුද්ගලයා යොමු කරනු ලබයි. එසේ ඔහු යන විට නව පරිගණක ක්‍රමවේදයක් හරහා අදාළ ශාඛාව තමා හමුවීමට කෙනකු පැමිණෙන බව දැනගෙන ඇත. එය ප්‍රාදේශීය ලේකම්වරයා අසල ඇති පරිගණකයේ දිස්වෙන අතර කාර්යය නිම වු පසු කාර්යය නිම වු බවට පණිවිඩය ද සඳහන් කරනු ලබයි.

"ඒ වගේම අපි අමතර වියදමක් දරන්නේ නැතිව අන්තර්ජාල හා පරිගණක භාවිතය තුළින් අපේ වැඩ පහසු කර ගත්තා. විශේෂයෙන්ම ඒ සඳහා මානව සම්පත වුණේ අපේ ම නිලධාරීන්. අප කාර්යාලය සතුව අන්තර්ඡාලය හරහා පණිවිඩ හුවමාරු ක්‍රමයක් හඳුන්වා දී තියනවා. ඒ අනුව අපේ සියලුම ක්ෂේත්‍ර නිලධාරීන් විනාඩි කිහිපයක් තුළ කැඳවීම වගේම ඔවුන්ට පණිවිඩ ලබා දීමේ හැකියාවක් අප සතු වෙනවා. ඒ වගේම අපි මෙවර සාමාන්‍යයෙන් ලංකාව පුරාම දැව බලපත් අතින් ලියා ලබා දෙන ක්‍රමයක් තියෙන්නේ. අපි විශේෂ අනුමැතියක් තුළ දැන් එය පරිගණකගත කරනවා. ඒ තුළින් කිසිවකුට ඒවා වෙනස් කිරීමේ හැකියාව නැති වෙනවා. ඒ වගේම තොරතුරු ලබාදීමේ නිලධාරියෙක් අප සතුයි. ඒ අනුව තොරතුරු පනත අනුව ඕනෑම අයකුට ඉතා ඉක්මනින් අදාළ තොරතුරු ලබා දිය හැකියි." මෙසේ කියන්නේ ඉමදුව ප්‍රාදේශීය ලේකම් ලක්ෂ්මී කාන්තී මහත්මියයි.

කාර්යාලය තුළ නිලධාරීන්ට මානසික පීඩනයකින් හෝ ආතතියකින් තොරව සේවය කිරීමට අවශ්‍ය පහසුකම් සලසා දීම නිසාවෙන් නිස්සරණාධ්‍යාශයෙන් මහජනතාව වෙත සිය උපරිම සේවය ලබා දීමට අප කැප වී සිටිනවා.

අංශ අතර සුහදත්වය වර්ධනය කරමින් රාජකාරී කිරීමට නිදහසේ අවස්ථාව සපයා දීම, ඒ ඒ අංශයන්හි නිලධාරීන්ගෙන් සැදුම්ලත් කව විසින් අංශයේ සිදුවන කටයුතු සොයා බලා නොපිරිහෙලා ඉටු කිරීම මහජනතාව වෙත සපයන සේවාවන් (E-Technology)තාක්ෂණය මඟින් සිදු කිරීමත්, ආකෘති පත්‍ර ප්‍රමාණය අඩු කිරීමත්, ඒවා සරල කිරීමත් ආදී වශයෙන් සපයන සේවාවන් ගුණාත්මකව හා ප්‍රමාණවත්ව කාර්යක්ෂමව සපයා දීම මෙම ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් සිදුකරනු ලබයි.

කාර්යාලයීය නිලධාරීන්ගේ සහයෝගය ලබා ගැනීම තුළින් කාර්යාලයීය උද්‍යානය සකස් කිරීම නිසා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වටපිටාව සුන්දර මනරම් පරිසරයක් බවට පත්ව තිබේ. ථලදායීතා සංකල්ප අනුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අංශ එකමුතු, සුහද, සහෘද්ධ, ශක්ති, ප්‍රගති, හරිත ලෙස කව 06 කට බෙදා ඇත. ඒ අතරින් ආයතනයේ හරිත කවය මඟින් ක්‍රියාත්මක කරනු ලබන සුපිරිසුදු පරිසරයක් - නිරෝගීමත් මතු පරපුරක් යන තේමාව යටතේ ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය එකතු කිරීමේ ව්‍යාපෘතිය හා පොලිතින් ප්ලාස්ටික් දුරලීමේ ව්‍යාපෘතිය මගින් කොට්ඨාසයේ මතු පරපුර සඳහා පරිසරය සුරක්ෂිත කිරීමේ තිරසාර වැඩසටහනක් සිදුකරනු ලබයි. එමඟින් කොට්ඨාසයේ විද්‍යුත් අපද්‍රව්‍ය එකතු කිරීමේ මධ්‍යස්ථාන ඇති කිරීම හා කොට්ඨාසයේ මහජනතාව මේ පිළිබඳව දැනුවත් කිරීම මේ ව්‍යාපෘතිය යටතේ සිදුකරනු ලබයි. කාර්යාල පරිසරය පොලිතින් ප්ලාස්ටික් වලින් තොර කලාපයක් බවට පත්කරමින් මනා ආදර්ශයක් මේ සඳහා සපයනු ලබයි.

ඉමදුව ප්‍රජාවගේ අදහස් හා යෝජනා ලබා ගනිමින් නිරන්තරයෙන් ක්‍රියාවලි වැඩිදියුණු කරමින් මහජනතාවට සපයනු ලබන මෙම සේවාවන් සහ සමාජ සුබසාධන කටයුතු අගය කිරීම නිසාවෙන් දිවයිනේ දෙවන ස්ථානය ඉමදුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට හිමි වී ඇති බව අභිමානයෙන් සඳහන් කරන බව ඉමදුව ප්‍රාදේශීය ලේකම්වරිය පවසයි.

සටහන සහ ඡායාරූප ලංකින්ද නානායක්කාර ඉමදුව සමූහ


නව අදහස දක්වන්න