වැටුප් ගැටලු විසදද්දී වෘත්තීය සමිති ජනතාව නොමග යවනවා | දිනමිණ

වැටුප් ගැටලු විසදද්දී වෘත්තීය සමිති ජනතාව නොමග යවනවා

වැටුප් විසමතා ගැටලුවලට විසඳුම් ලබා දීමට සියලු කටයුතු සූදානම් කර ඇති මොහොතක ඇතැම් වෘත්තීය සංගම් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් දඩමීමා කර ගනිමින් ගෙන යන වැඩවර්ජන සහ උද්ඝෝෂණ පිටුපස ඇත්තේ පටු දේශපාලන අරමුණු සහ ආණ්ඩුව සහ ජනතාව අතර විරසකභාවයක් ඇති කිරීමේ නිරර්ථක උත්සාහයක් පමණක් බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

මෙසේ ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් දඩමීමා කැර ගනිමින් පටු දේශපාලන වාසි ඉටු කැර ගැනීමට ඇතැම් වෘත්තීය සංගම් ගෙන යන වැඩපිළිවෙළ බුද්ධිමත් ජනතාව අවබෝධ කැර ගත යුතු බවද අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

වැටුප් විසමතා ගැටලුවලට විසඳුම් ලබා දීමට සියලු කටයුතු සූදානම් කැර ඇති මොහොතක එය තම වෘත්තීය සංගම්වල ජයක් ලෙස පෙන්වා ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් නොමඟ යැවීමේ උත්සාහයක මෙම වෘත්තීය සංගම් යෙදී සිටින බවද අමාත්‍යාංශය පවසයි.

ගුරු සේවයේ වැටුප් විෂමතා ඉවත් කිරීමට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශය සකස් කළ යෝජනාවලිය මේ වනවිටත් රාජ්‍ය අංශයේ වැටුප් සමාලෝචනය සම්බන්ධයෙන් වන විශේෂ කොමිසන් සභාව වෙත යොමුකර අවසන් අතර, ඉදිරියේ දී ඊට අදාළ නිර්දේශ ලැබීමෙන් අනතුරුව අදාළ වැටුප් විසමතා ඉවත් කිරීමට පියවර ගැනීමට නියමිත බවද එම අමාත්‍යාංශය සඳහන් කරයි.

අංක 03/2016 දරන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ විධිවිධාන මත සියලු රජයේ සේවකයන්ගේ වැටුප් පරිමාණ සංශෝධනය කෙරුණු අතර, ගුරු සේවයේ වැටුප් ද ඒ අනුව සංශෝධනය කළ බවත්, ඒ අනුව, 2016 වර්ෂයට පෙර උපාධිධාරී ගුරුවරයකුට ලැබුණු මූලික මාසික වැටුප රුපියල් 16120ක් ව පැවති අතර, ‍මේ වනවිට එය රුපියල් 33330ක් ලෙස දෙගුණයකින් ඉහළ නංවා තිබෙන බවත් අධ්‍යාපන අමාත්‍යාංශය පෙන්වා දෙයි. වැටුප් සංශෝධන කිසිවක් නොවූ අයුරින් හඞනගන වෘත්තීය ව්‍යාපාරවලට අමතක ව ගොස් ඇති මෙම කරුණ නැවතත් සිහිපත් කරන බවත්, මීට අමතරව ගුරු සේවයේ සිදුකළ යුතු වැටුප් සංශෝධන ඉදිරියේ දී එපරිද්දෙන් ම සිදුකිරීමට නියමිත බවත්, ගුරු - විදුහල්පති සේවාවේ ඇති අනෙකුත් වැටුප් විෂමතාවලට ද සාධාරණ විසඳුම් ඒ අනුව මෙරට සියලු ගුරුවරුන්ට හා විදුහල්පතිවරුන්ට හිමිවනු ඇති බවත් සඳහන් කරයි.

වැටුප් විෂමතා ඉවත් කිරීමට අදාළ ව 2018 සැප්තැම්බර් මස අධ්‍යාපන අමාත්‍යාංශය රාජ්‍ය අංශයේ වැටුප් සමාලෝචන විශේෂ කොමිසන් සභාව වෙත යොමු කරන ලද යෝජනාවලිය අනුව, දැනට සේවයේ සිටින උපාධි සහ අදාළ පුහුණුව නොමැති ගුරුවරුන්ට උපාධිය සහ වෘත්තීය සුදුසුකම් ලබාදීම. ඒ අනුව 2025 වසර වනවිට අධ්‍යාපනවේදී උපාධිධාරීන් පමණක් ගුරු සේවයට බඳවාගැනීම සහ ඔවුන් වෙත ආකර්ෂණීය වැටුපක් ලබාදීම, දැනට ක්‍රියාත්මක ගුරු සේවා ව්‍යවස්ථාවේ පවතින පන්ති හා ශ්‍රේණි වෙනුවට ගුරු සේවය පන්ති තුනකින් යුත් සේවාවක් බවට පත්කිරීම, ඒ සඳහා සැලකිය යුතු කාලයක් ගතවන බැවින් පවතින වැටුප් විෂමතාවන්ට පිළියමක් ලෙස දැනට පවතින සමාන සුදුසුකම් සහිත සේවාවන්ට අනුරූපී ව ගුරු සහ විදුහල්පති සේවාවන්ගේ වැටුප් තත්ත්වයන් පිළිබඳ අතුරු වැටුප් යෝජනාවක් ඉදිරිපත් කිරීම, ගුරු සහ විදුහල්පති සේවාව අනෙකුත් සේවාවන්ගෙන් වෙන් කර එය සුවිශේෂ සේවාවක් ලෙස පවත්වාගෙන යාම වෙනුවෙන් සංවෘත අධ්‍යාපන සේවාවක් ඇතිකිරීම, ගුරුභවතුන්ට සහ විදුහල්පතිවරුන්ට නිරන්තර වෘත්තීය සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ ඔවුන් වෙනුවෙන් වෘත්තීය නිපුණතා රාමුවක් සකස් කර ශ්‍රේණි අනුව වෘත්තීය දීමනාවක් ලබාදීම යන කරුණු ඇතුළත්ව තිබෙන බවත් පවසයි.

 

අදහස් 1ක් ඇත

මූලික වැටුප දෙගුන කිරීමෙන් වැටුප වැඩිවූයේ නැත.. එල්ලා ඇති ගෙවීම් මූලික වැටුපට එකතු විනි..

නව අදහස දක්වන්න