රාජ්‍ය සේවක මූලික වැටුප සැලකිය යුතු ලෙස වැඩි වෙලා | දිනමිණ

රාජ්‍ය සේවක මූලික වැටුප සැලකිය යුතු ලෙස වැඩි වෙලා

කමනි අල්විස්

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීම තුළින් ලබන වසරේදී කාර්යාල කාර්ය සහායකයකුගේ මාසික මූලික වැටුප රුපියල් විසිහතරදහස දක්වාත් හෙදියකගේ මූලික වැටුප රුපියල් තිස්දෙදහස් පන්සිය විසිපහක් ලෙස සහ ලේකම්වරයකුගේ මූලික වැටුප අනුඅටදහස් හයසිය පනහ දක්වාත් ඉහළ යන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවැසීය.

දසවසරක රාජපක්ෂ පාලනය තුළදී අඩුම තරමින් රජයේ සේවක වැටුප රුපියල් දාහකින්වත් ඉහළ නොදැමූ බව පෙන්වා දුන් මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ වාසනාවට එක්සත් ජාතික පෙරමුණට ප්‍රථමවතාවට තනි ආණ්ඩුවක් ලෙස මෙවර අයවැය ඉදිරිපත් කිරීමට හැකිවීම සතුටට කරුණක් බවත් පැවසීය.

පෙර අයවැය ඉදිරිපත් කළේ නීල හරිත අයවැයක් ලෙසින් එක්සත්ජාතික පක්ෂ පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්වී බවත් මන්ත්‍රීවරයා මෙහිදී සිහිපත් කළේය.

මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා මේ බව පැවසුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ඊයේ (12) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදීය. එහිදී තවදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රී රාජකරුණා මහතා මෙසේද ප්‍රකාශ කළේය.

විපක්ෂය චෝදනා කරන්නේ අයවැය හොඳයි. ක්‍රියාත්මක කිරීමට කාලය නොමැති බවයි. කාලය තිබෙනවා. ලබන වසර වනතුරු මැතිවරණයක් නෑ. අධිකරණයෙන්ද තීන්දුවක් ලබා දී තිබෙනවා. ජනාධිපතිවරණය ප්‍රථමයෙන් පැමිණෙනවා. එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා ජනාධිපතිවරණයෙන් ජය ගන්නවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසන්නේ අපේක්ෂකයා ජනාධිපති බවයි. මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ මහත්වරු පවසන්නේ අපේක්ෂකයා පත්වන්නේ පොහොට්ටුවෙන් බවයි. එක්සත් ජාතික පෙරමුණට දැවැන්ත සහායක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොටසකගෙන් ලැබෙනවා. එයට හේතුව පැරණි හොරුන්ට එකතුවීමට ඔවුන් තුළ තිබෙන අකමැත්ත සහ අයවැය ලේඛනයේ සාර්ථකත්වයයි.

අලුතින් සමෘද්ධි ප්‍රතිලාභ හයලක්ෂයකට ලබාදීම සඳහා ප්‍රතිලාභ ලැබිය යුතු පිරිස ප්‍රාදේශීය ලේකම්වරු හඳුනාගෙන තිබෙනවා. අයවැයෙන් පසු ඔවුන්ට එම ප්‍රතිලාභ ලබාදෙනවා.

වසර 2015 දී සියයට එකොළහක අඩු මට්ටමක තිබුණ රටේ දළ දේශීය නිෂ්පාදනය මේ වසරේදී සියයට පහළව දක්වා ඉහළ ගොස් තිබෙනවා. සුරාබදු ආදායම් සැබෑ ලෙස ලබාගැනීම, වරායේ ආදායම් වැඩිකර ගැනීම මෙයට හේතුවී තිබෙනවා. රජයේ ආදායම් දෙගුණයක් වී තිබෙනවා.

රාජපක්ෂවරු දේශපාලනය කළේ රණවිරුවන් විකුණගෙනයි. ප්‍රාදේශීය සභා ඡන්දයේදී රණවිරුවන්ගේ නාමයෙන් දේශපාලන වාසි ලබාගත්තා. එසේ වුවද රණවිරුවන්ට අවැසි පහසුකම් ලබා දී නෑ. රණවිරුවන්ට පහසුකම් සහන රැසක් මෙවර අයවැයෙන් ලබා දුන්නා. එසේ ලබා දුන්නේ දේශපාලන කෝණයකින් නොවෙයි. වර්තමාන රජය රණවිරුවන්ට උපරිමයෙන් සළකනවා.

රණවිරුවන්ගේ කීර්තිනාමය වනසමින් රණවිරු මුවාවෙන් මිනීමැරුම්, හොරකම්, අපරාධ සිදුකර තිබෙනවා නම් එම අයට රටේ නීතියට අනුව දඬුවම් ලැබෙනවා.

අපේ රටේ අධිකරණ ස්වාධීනයි. අපට විශ්වාසයි. එමනිසා අපේ ගැටලු අපේ රටේදීම විසඳිය යුතුයි යන මතයේ අප සිටිනවා. ජාත්‍යන්තරයෙන් ලබාගන්නේ අවශ්‍ය තාක්ෂණික සහායයි. මන්නාරමෙන් හමුවුන ඇටකටු එතෙර යවන්න සිදුවුණා. එයට හේතුව අති දියුණු තාක්ෂණය අප රටේ නැති නිසයි. එම ඇටකටු පිළිබඳ සත්‍ය හෙළිවීමෙන් රණවිරුවන් අපවාද වලින් බේරුණා. තාක්ෂණික සහාය කියන්නේ අපේ රටේ නැති දියුණු තාක්ෂණයයි. ජාත්‍යන්තර ඇඟිලි ගැසීම් අප රටට නෑ. අපේ අධිකරණවලට ඕනෑම නීතිමය ගැටලුවක් විසඳීමට පිළිවන්. ස්වාධීන අධිකරණ සේවාව ලබාදුන්නේ අපේ රජයයි. එමනිසා එහි ප්‍රතිඵල භුක්තිවිඳීමට හැකි වී තිබෙනවා.

මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න සහ මන්ත්‍රී රජකරුණා ලබා දුන් පිළිතුරු මෙසේය.

ප්‍රශ්නය - අයවැයට ටීඑන්ඒ සහාය ලබා නොදෙන බව මාවෙයි සේනාධිරාජා මන්ත්‍රීවරයා පවසනවා.

පිළිතුර - දින පනස්දෙකේ රට අරාජිකව තිබුණ අවස්ථාවෙන් පසු ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්ථාපිත කිරීමට ඔවුන් සහාය දුන්නා. ඔවුන්ගේ ඉල්ලීම උතුර සංවර්ධනයයි. සැබවින්ම එය විය යුතුයි. විපක්ෂය අපට එල්.ටී.ටී.ඊ ලේබල් ගහනවා. නමුත් පිල්ලෙයාන් කරුණා අම්මාන් ඔවුන් ළඟ ඉන්නේ. විපක්ෂයට ටීඑන්ඒ මන්ත්‍රීවරයකු මුදලට ගැනීමට හැකිනම් එය සිදු කරනවා. එවිට විපක්ෂයට කිසිම ගැටලුවක් නෑ. මගේ පෞද්ගලික මතයත් අනිවාර්යෙන්ම උතුර නැගෙනහිර සංවර්ධනය විය යුතු බවයි.

ප්‍රශ්නය - ටී.එන්. ඒ අයවැය සම්මතයට තීරණාත්මක සාධකයක් නේද?

පිළිතුර - ටී.එන්.ඒ. පමණක් නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිහිපදෙනෙක් අයවැයට සහාය දෙනවා. ගැටලුවකින් තොරව අයවැය සම්මත වෙනවා.

ප්‍රශ්නය - ඩොලරයේ වැඩිවීම නැවත බලපානවා.

පිළිතුර - ඩොලරය හා බලපාන කාරණා තිබෙනවා. එසේ නැතිව හාල් පොල්වලට ඩොලරය අදාළ නෑ. ආනයන අපනයන සඳහා බලපානවා. ඉන්ධන වැනි දේ බලපානවා.

ප්‍රශ්නය - පුංචි කාර් සිහිනයට කුමක් වෙයිද

පිළිතුර - විදුලියෙන් ධාවනය වන කුඩා මෝටර්රථවල මිලගණන් ඉහළ නොයන බවයි මගේ විශ්වාසය. බී.එම්.ඩබ්ලිව්, රේන්ජ් රෝවර්, මර්සිඩීස් බෙන්ස් වාහන සඳහා තමයි බදු වැඩිවන්නේ.

නව අදහස දක්වන්න