වේල්ස් කුමර-සා.සෙබස්තියන් 15-16 මොරටුවේදී රන් සටනේ | දිනමිණ

වේල්ස් කුමර-සා.සෙබස්තියන් 15-16 මොරටුවේදී රන් සටනේ

නිරෝෂාන් ප්‍රියංකර මොරටුව ක්‍රීඩා - ඩිල්වින් මෙන්ඩිස්

ජාතික තලයට ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක් බිහිකිරීමේ පුරෝගාමීන් වන මොරටුවේ වේල්ස් කුමර විදුහල සහ සාන්ත සෙබස්තියන් විදුහල අතර මොරටු මහ රන් සටන වාර්ෂික ක්‍රිකට් තරගය මේ මස 15-16 දෙදින මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මොරටු පුරවයට පාසල් මහා ක්‍රිකට් අසිරිය එක්කරන රන් සටන මෙවර පැවැත්වෙන්නේ 69 වැනි වරටය.

මෙතෙක් පැවැති තරග 68 අතුරින් ජයග්‍රහණ 6ක් සහිතව වැඩි ගෞරව අත්කර ගැනීමට වේල්ස් කුමරුවන් සමත්ව ඇති අතර සාන්ත සෙබස්තියන් ක්‍රීඩකයෝ තෙවරක් මේ තරගය ජයගෙන තිබේ. අනෙක් තරග අවසන් වී ඇත්තේ ජය පරාජයෙන් තොරවය.

1933 වසරේ ආරම්භ වූ මේ මහා ක්‍රිකට් තරගයේ පළමු ජය වාර්තා කිරීමට 1935දී වේල්ස් කුමරය සමත්වූ 1962 වසරේ සාන්ත සෙබස්තියන් පිල පළමු ජය අත්කර ගත්තේය. 1938 සිට 1953 දක්වා කාලය මේ තරගය නොපැවැත්විණි. 1977 වසරේ ජයග්‍රහණයෙන් අනතුරුව වසර 42කට පසුව ශූරතාවයේ පහස වේල්ස් කුමරයට අත්කර දීමේ අරමුණින් පිටියට පිවිසි කණ්ඩායමේ නායකයා ලෙස තුන් ඉරියව් ක්‍රීඩක සුවත් මෙන්ඩිස් කටයුතු කරයි. ප්‍රින්ස් ප්‍රනාන්දු උප නායකයායි. 2011 වසරේ අවසන් වරට තරගයේ ජය හිමිකරගත් සාන්ත සෙබස්තියන් විදුහල එම කිරුළ රැක ගැනීමේ අරමුණනින් තුන් ඉරියව් ක්‍රීඩක නුවනිදු ප්‍රනාන්දුගේ නායකත්වයෙන් තරගයට එක්වන අතර උප නායකා වන්නේ තශික් පෙරේරායි.

රන් සටනට සමාගමීව පැවැත්වෙන 34 වැනි එක්දින තරගය 17 වැනිදා සොයිසා ක්‍රීඩාංගණයේදීම පැවැත්වේ. මෙතෙක් පැවැති තරග අතුරින් 17ක් ජය ගැනීමට සාන්ත සෙබස්තියානුවන් සමත්ව ඇති අතර වේල්ස් කුමරයට තරග 13ක ජය හිමිව තිබේ. තරග 2ක් ජය පරාජයෙන් තොරවද එක් තරගයක් ලකුණු සම වීමෙන්ම නිමාවී තිබේ.

මෙවර තරගයේ සත්කාරක පාසල ලෙස වේල්ස් කුමර විදුහල කටයුතු කරයි.

නායක සුවත් මෙන්ඩිස් සමගින් මෙවර පාසල් තරග වාරයේ කඩුලු 100 සීමාව පසුකරමින් පිතිකරුවන්ට හිසරදයක් වී ඇති කෞමාල් නානායක්කාර සහ කාවින්ද ද මැල්, ලක්ෂාන් පෙරේරා, ප්‍රින්ස් ප්‍රනාන්දු පන්දු යවන්නන් ලෙස කණ්ඩායම ශක්තිමත් කරන අතර නයකයා හා උප නායකයා සමගින් තරිඳු අමරසිංහ, විනුජ රන්පුල්, දේවක පීරිස් පිතිකරුවන් අතර ඉදිරියෙන් සිටිති. මෙවර තරග වාරයේ කැපී පෙනෙන පිතිකරු බවට පත්ව සිටින්නේ තරිඳු අමරසිංහය. ඔහු ඉසිපතන විදුහලට එරෙහිව වේල්ස් කුමර පිටියේ පැවැති තරගයේදී ලකුණු 155ක් රැස් කිරීමට සමත් විය.

මෙවර තරග වාරයේ ලකුණු 1000 සීමාව පසුකර ඇති දුනිත් ජයතුංග සාන්ත සෙබස්තියන් විදුහලේ කැපී පෙනෙන පිතිකරු බවට පත්වූ අතර නායක නුවනිදු සමගින් නිශිත අභිලාෂ් ද පිතිකරණ අංශය ශක්තිමත් කරති. විනුජ රණසිංහ සමගින් තශික් පෙරේරා, ජනිශ්ක පෙරේරා, කළණ සංදීප්, ප්‍රවීන් කුරේ සහ නදීර ප්‍රනාන්දු කණ්ඩායමේ පන්දු බළඇණිය ශක්තිමත් කරති.

මෙවර පාසල් ක්‍රිකට් තරග වාරයේ දෙදින තරගාවලියේදී මේ කණ්ඩායම් දෙකම අර්ධ අවසන් පූර්ව වටයට පිවිසි ඇති බැවින් මේ තරගය ඉතා උණුසුම් මුහුණුවරක් ගනු ඇත.

 


නව අදහස දක්වන්න