තෝමසුවන් පරදවා රාජකීයයෝ ජය ගනිති | දිනමිණ

තෝමසුවන් පරදවා රාජකීයයෝ ජය ගනිති

ෆවුස් මොහොමඩ්

අන්තර් පාසල් පළමු පෙළ ලීග් රග්බි පිටියේ වත්මන් ශූර කොළඹ රාජකීය විදුහල් පිල මෙවර තරගාවලියේදි ද සිය විශිෂ්ටත්වය පෙන්නුම් කිරීමේ අනාවැකි පළ කරමින් සම්ප්‍රදායික ප්‍රතිවාදියා වන ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් පිල ලකුණු 17-10කින් පරදවා දෙපිල අතර වාර්ෂිකව හුවමාරු වන මයිකල් ගුණරත්න කුසලානය පිට පිට තුන්වැනි වරටත් අත්කර ගැනීමට සමත්විය.

සාන්ත තෝමස් විදුහල් පිටියේ පෙරේදා පස්වරුවේ පැවැති මේ තරගයේ ආරම්භයේ සිටම ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක නිරතවූ රාජකීයයෝ ගෝලයක් සහ උත්සාහක දිනුම් දෙකකින් තරගය නිමා කරද්දී තෝමසුවන්ට රැස් කිරීමට හැකිවූයේ ගෝලයක් සහ දඬුවම් පහරක් පමණි.

පසුගිය සති අන්තයේ දී ආරම්භ වූ මෙවර පාසල් රග්බි ලීග් තරගාවලියේ පළම තරගයෙන් කුරුණෑගල මලියදේව විදුහල් පිල ලකුණු 62-6කින් පරදවා තරගාවලිට කදිම ආරම්භයක් ලබාගත් රාජකීයයෝ පෙරේදා තරගය ජයගැනීමත් සමග සමස්ත ලකුණු සටහනේ පෙරමුණට පත්වූයේ පළමු කොටසේ ‘ඒ‘ කාණ්ඩයේ එකම අපරාජිත කණ්ඩායම බවට ද පත්වෙමිනි.

කෙවින් සමරසේකර සහ කළිඳු නන්දිල තැබූ අගනා උත්සාහක දිනුම් 2කින් ලකුණු 10-0කින් පළමු භාගය නිමාවනවිට පෙරමුණ ගත් රාජකීය විදුහල් පිල දෙවැනි භාගයේදි නායක තුලේබ් හසන් තැබූ විශිෂ්ට උත්සාහක දිනුම දුලාන් ගුණවර්ධන ගෝලයක් බවට පත් කිරීමෙන් ලකුණු 17-0කින් ඉදිරියට ගියේය. අවසන් භාගයේදි දඬුවම් පහරක් සාර්ථක කරගත් ජාන් ද සොයිසා සාන්ත තෝමස් විදුහල් පිලට ලකුණු 3ක් ගෙන දුන් අතර පසුව නායක හරිත් සේනානායක තැබූ උත්සාහක දිනුම ගෝලයක් බවට පත් කිරීමට සමත්විය. නමුත් රාජකීයයන් අත තිබූ තරගයේ වාසිය ආපසු හැරවීමට එය ප්‍රමාණවත් වූයේ නැත.

දෙවැනි වටයේ තරග නිමාවට පත්වනවිට රාජකීය විදුහල් පිල තරග 2ම ජයගෙන සමස්ත ලකුණු11ක් ලබා පළමු කොටසේ ‘ඒ‘ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට සමත්වෙද්දී සමස්ත ලකුණු 7ක් ලැබූ වෙස්ලි විදුහල් පිල දෙවැනි ස්ථානයට පත්ව සිටියේය. සමස්ත ලකුණු 12ක් ලබා පළමු කොටසේ ‘බී‘ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට අපරාජිත ඉසිපතනය සමත්ව සිටින අතර සමස්ත ලකුණු 11ක් ලබා සිටින සාන්ත ජෝශප් විදුහල් පිල දෙවැනි ස්ථානයේ පසුවන්නේ ද අපරාජිතවය.

 

නව අදහස දක්වන්න