අඛණ්ඩ පරාජයට තිත තැබීමේ වෑයමක | දිනමිණ

අඛණ්ඩ පරාජයට තිත තැබීමේ වෑයමක

තරග 5 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ තවත් තරග 2 ක් ඉතිරිව තිබියදීම තරගාවලිය 3-0 ක් වශයෙන් දකුණු අප්‍රිකාව හමුවේ පරාජයට පත්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සිය ගෞරවය හෝ ආරක්ෂා කර ගැනීමට හිමි එක් අවස්ථාවක් ලෙස සැළකෙන සිව්වැනි එක්දින තරගය අද (13 දා) පෝර්ට් එලිසබෙත්හි සාන්ත ජෝජ් පාක් ක්‍රීඩාංගණයේදී දිවා රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වේ. මේ තරගය ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 4.30 ට ඇරැඹේ.

එක්දින තරගාවලියට පෙර පැවැති තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුවත්, එක්දින තරග රටාවට අවශ්‍ය රිද්මය ගොඩ නගා ගැනීමට නොහැකි වීම මෙතෙක් පැවැති පළමු තරග පරාජයට හේතු වී තිබේ. එහෙත් ටෙස්ට් තරග 2 න් එකක් පවත්වන ලද ක්‍රීඩාංගණයක් වන සාන්ත ජෝජ් තණතීරුවේදී ශ්‍රී ලංකා පිතිකරුවන් දක්ෂතා අතරට පැමිණීමට සමත් වුවහොත් එළැඹෙන ලෝක කුසලාන තරගාවලියට හිස කෙළින් තබාගෙන අවතීර්ණ වීමේ හැකියාව ලැබෙනු ඇත.

මෙතෙක් පැවැති තරග පරාජයට ප්‍රධානතම හේතුව බවට පිතිකරුවන්ගේ අසාර්ථකත්වය හඳුන්වනු ලැබුවද පන්දු යැවීමෙන්ද ඒ හැටි කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් අසමත්වී තිබේ. පිතිකරණයෙන් මෙතෙක් පැවැති තරග 3 දී ශ්‍රී ලංකා කණ්ඩායම වාර්තා කරන ලද වැඩිම ලකුණු සංඛ්‍යාව වන්නේ ලකුණු 231 ක් පමණි. තරග 3 දීම දවා ගැනීමට සමත්ව ඇත්තේ කඩුලු 17 ක් පමණක් වීම පන්දු යැවීමේ අඩුපාඩුව පිළිබඳ තක්සේරුවක් ලබා ගැනීමට හොඳම මිනුම් දණ්ඩක් වේ.

මෙතෙක් පැවැති තරගවලදී මැද පෙළ පිතිකරුවන් ලෙසින් කණ්ඩායමට ක්‍රීඩා කරනු ලබන ඕෂද ප්‍රනාන්දු සහ කුසල් මෙන්ඩිස් හැර පිතිකරුවන් ලෙසින් කණ්ඩායමට එක්ව සිටින කිසිවකුත් ලකුණු 100 ඉක්මවා ලබා ගැනීමට සමත් නොවුහ. පන්දුවට පහරදීමේදී සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට සමත් වුවද දිගු ඉනිම කරා යෑමට ඔවුහු අසමත් වුහ.

ධනංජය ද සිල්වා, කුසල් පෙරේරා, තිසර පෙරේරා, අවිෂ්ක ප්‍රනාන්දු, උපුල් තරංග සහ නිරෝෂන් දික්වැල්ල පිතිකරුවන් හය දෙනාම රැස් කිරීමට සමත්ව ඇත්තේ ලකුණු 176 ක් පමණකි. පිතිකරුවන් 6 දෙනාගේම එකතුව ලකුණු 176 ක් බවට පත් වද්දී දකුණු අප්‍රිකානු පිලේ ආරම්භක පිතිකරු කුවින්ටන් ඩි කොක් පමණක් තනිවම ලකුණු 205 ක් රැස් කිරීම කැපී පෙනෙයි.

පිතිකරුවන්ගේ දක්ෂතා එවන් කනගාටුදායක තත්ත්වයක පවතිද්දී පන්දු යැවීමෙන් තිසර පෙරේරා හැර එකම පන්දු යවන්නකු හෝ එක් තරගයක කඩුලු 2 කට දවා ගැනීමට අසමත්වීම විශේෂත්වයකි. අද තරගයේදී වෙනසක් අපේක්ෂා කරන්නේ නම් නායක ලසිත් මාලිංග, අකිල ධනංජය මෙන්ම තිසර පෙරේරා පන්දුවෙන් සිය උපරිමය ඉටු කළ යුතුය. උද්ගතවී තිබෙන ගැටළුව හේතුවෙන් ලසිත් මාලිංගට ලබා දී තිබෙන නායකත්වය වෙනස් කිරීමේ සාකච්ඡාද මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින අතර නායකත්වයේ ඔටුන්න ලෝක කුසලාන තරගාවලිය දක්වා රඳවා ගැනීමට නම් මාලිංගට අද තරගයේ සිට දක්ෂතා අතරට පැමිණීම වඩා වැදගත් වනු ඇත.

අද තරගයේදී ශ්‍රී ලංකා පිලට මුහුණ දීමට සිදුවන තවත් ගැටළුවක් වන්නේ සිය ප්‍රබලතම පිතිකරුවකු වන කුසල් පෙරේරා ආබාධයක් හේතුවෙන් කණ්ඩායමෙන් ඉවත්ව සිටීමයි. තෙවැනි එක්දින තරගය අතරතුරදී තුවාල ලැබීම නිසා මෙම තරගාවලිය යටතේ ඉදිරියේදී පැවැත්වෙන කිසිදු තරගයකට ක්‍රීඩා කිරීමේ අවස්ථාව කුසල්ට අහිමි වී තිබේ. එමෙන්ම ආබාධ හේතුවෙන් පළමු තරග 3 ට ක්‍රීඩා නොකළ දකුණු අප්‍රිකානු පිලේ ප්‍රබලතම ක්‍රීඩකයන් වන හෂීම් අම්ලා, පෝල් ඩුමිනි මෙන්ම ඒඩ්න් මාක්‍රම් කණ්ඩායමට එක්ව සිටීම ශ්‍රී ලංකා නායකයාගේ නළලත රැළි ගන්වන සිදුවීමක් වනු නොඅනුමානය.

ශ්‍රී ලංකා පිල - ලසිත් මාලිංග (නායක), අවිශ්ක ප්‍රනාන්දු, උපුල් තරංග, නිරෝෂන් දික්වැල්ල, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, තිසර පෙරේරා, අකිල ධනංජය, ඇන්ජලෝ පෙරේරා, ඕෂධ ප්‍රනාන්දු, කමිඳු මෙන්ඩිස්, ප්‍රියමාල් පෙරේරා, ඉසුරු උදාන, විශ්ව ප්‍රනාන්දු, කසුන් රජිත, ලක්ෂාන් සඳකැන්

දකණු අප්‍රිකානු පිල - ෆෆ් ඩු ප්ලෙසිස් (නායක), හෂීම් අම්ලා, කුවින්ටන් ඩි කොක්, පෝල් ඩුමිනි, ඉම්රාන් තහීර්, ඒඩන් මාක්‍රම්, ඩේවිඩ් මිලර්, ලුන්ග් එන්ගිඩි, අන්රික් නෝර්ජ්, ඇන්ඩ්ල් පෙලුක්වායෝ, ඩ්වයින් ප්‍රෙටෝරියස්, කගීසෝ රාබාඩා, ටබ්‍රාස් ශම්සි, ඩේල් ස්ටේන්, රසී ඩුසෙන්.


නව අදහස දක්වන්න