මහින්දානන්දට එරෙහිව නඩුව - නිතිපති උපදෙස් පතයි | දිනමිණ

මහින්දානන්දට එරෙහිව නඩුව - නිතිපති උපදෙස් පතයි

ක්‍රීඩා අමාත්‍යාංශයේ රුපියල් මිලියන 39කට අධික  මුදලක් අවභාවිත කිරිම සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ ඇතුලු තිදෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවට අදාළව නිතිපති උපදෙස් සඳහා සිහි කැඳවීමක් යොමු කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක අද (13) නියෝග කළේය.

සිද්ධියට අදාළව හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ පාර්ලිමේන්තු සැසිවාරයට සම්බන්ධ වන බවට පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් එවන ලද ලිපියක් අධිකරණයට ඔහු වෙනුවෙන් පෙනි සිටි නිතඡවරයා ඉදිරිපත් කළේය.

එමෙන්ම මහින්දානන්ද අලුත්ගමගේට පනවා ඇති විදේශ ගමන් තහනම ඉදිරි නඩු දිනයදා දක්වා මුදා හිරින ලෙස අධිකරණයෙන් සිදු කළ ඉල්ලීමට මහේස්ත්‍රාත්වරයා අවසර ලබා දුන් අතර දේශපාලඥයින්ට විදේශ ගමන් තහනම් පනවන ලෙස ඉල්ලීම මෙන්ම තහනම් පැනවීමද පල රහිත බව පෙන්වා දුන්නේය.

මෙරට දේශපාලඥයින්ට වි‍දෙස් ගමන් තහනම් පැනවීම අවශ්‍ය නැහැ.

මේ අය මේ රට දාලා යන්නේ නැහැ. මේ අය රට හැර යන බවට ඉල්ලීම් කරමින් විදේහ ගමන් තහනම් පැනවීමෙන් පලක් වන්නේ නැතැයි මහේස්ත්‍රාත්වරයා කියා සිටියේය.

පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර මේ වන විට ඇප මත සිටින  සතොස හිටපු සභාපති වරයකු වන නලින් රුවන්ජීව ප්‍රනාන්දු සහ චමින්ද හර්ෂජිත් යන දෙදෙනා අද අධිකරණයේ පෙනි සිටියේය.

පසුගිය ජනාධිපතිවරණ සමයේදී  ක්‍රීඩා අමාත්‍යාංශයේ මුදල් වැය කර කැරම් බෝඩ් දහසක් සහ දාම් බෝඩ් දහසක්  මිලදී ගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ශාඛා කාර්යාල වලට ක්‍රිඩා උපකරණ ලබා දී ඇති බවට හිටපු සතොස සභාපතිවරයාට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය චෝදනා ගොනු කර තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කර ලබන අගෝස්තු මස 23 වනදා  අධිකරණයට වාර්තා කරන ලෙස මහේස්ත්‍රාත්වරයා මුල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාසයට නියෝග කළාය.

(සුභාෂිණි ‍සේනානායක)

නව අදහස දක්වන්න