අයවැයෙන් මතුවන අනාගතවාදය | දිනමිණ

අයවැයෙන් මතුවන අනාගතවාදය

මහාචාර්ය රොහාන් සමරජීව

රජය විසින් අයකර ගන්නා ජනතා බදු මුදල් වැයකරන ආකාරය හා ජනතාවගෙන් බදු මුදල් අයකරගන්නා ආකාරය මහජනයා වෙත දැනුම් දෙන ලිඛිත සටහන අයවැය වේ. අයවැයක් තුළින් දිගුකාලීන ආර්ථික ප්‍රතිපත්ති හා නෛතික ප්‍රතිපත්ති ඉදිරිපත් කිරීම දියුණු රටක ප්‍රධාන ලක්ෂණයක් වන අතර එමගින් රටේ දිගුකාලීන ආයෝජන ක්‍රියාවලිය සවිමත් කෙරේ. කාලයක් පුරා නොවෙනස්ව ගලා යන ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් දේශීය හා විදේශීය ව්‍යවසායකයන් සැකයකින් තොරව තම ව්‍යාපෘති ආරම්භ කිරීමට දිරිමත්වීම එමඟින් සිදුවේ. දියුණු වෙමින් පවතින හා දියුණු රටවල අයවැය එරටේ අනාගත පැවැත්ම තීරණය කරන නිර්ණායකයයි. එබැවින් ප්‍රජාතන්ත්‍රවාදී රටකට අයවැය තීරණාත්මක සාධකයකි.

අප රටේද වසරක් පාසා අය-වැය ඉදිරිපත් කෙරෙන අතර පසුගිය වසරේ අගභාගයේදී සිදුවූ යම් යම් දේශපාලන අස්ථාවරවීම් හේතුවෙන් පසුගිය ඔක්තෝබර් මාසයේදී යෝජනා කිරීමට නියමිතව තිබූ 2019 අය-වැය 2019 වසරේ මාර්තු මාසයේදී ඉදිරිපත් කිරීමට සිදුවිය. එහෙත් රටේ පරිපාලන කටයුතු සඳහා මුදල් පරිහරණය අතුරු අයවැයකින් පිරිමසා ගැනීමට රජයට සිදුවිය. 2018 අයවැය ප්‍රකාශනයේදී ඉදිරිපත් කළ යෝජනා බොහොමයක් ඉන් ඔබ්බට ගෙන යාම 2019 අයවැය ප්‍රකාශනයේදීද දැකිය හැකි ප්‍රධාන ලක්ෂණයකි.

අයවැයක් සැලසුම් කිරීමේදී කෙටිකාලීන සැලසුම් සකස් නොකොට තිරසාරව පවත්වාගෙන යා හැකි ක්‍රමවේදයක් යෝජනා කිරීම වැදගත් වේ. බදු පනත් හා නීති කෙටුම්පත් කෙටිකාලීන වෙනස්කම්වලට භාජනය වේ නම් මෙරට ව්‍යාපාර සඳහා යොමුවන ආයෝජකයන් අධෛර්යමත් වනු ඇත. මක්නිසාද යත් ආයෝජකයෙක් යම් ව්‍යාපාරයක් වෙනුවෙන් කරන මූල්‍යමය යෙදවීමක ප්‍රතිලාභ ලැබෙන්නේ වසර කීපයක් ගතවීමෙන් පසුවය. ඒ අනුව ආයෝජකයා තම ඇස්තමේන්තුව ඉදිරි වසර ගණනකට සැලසුම් කරයි. එවිට ඔහු අපේක්ෂා කරන ආකාරයට ප්‍රතිලාභ ගලා එනු ලැබේ. විටින් විට බදු හා නීති වෙනස්වීම හේතුවෙන් ආයෝජකයාගේ ආර්ථික සැලසුම් අවුල් වේ. එවැනි තත්ත්වයක ව්‍යාපාර ආරම්භ කිරීමට ආයෝජකයන් ඉදිරිපත් නොවනු ඇත.

පෙර අයවැය

මෙවර අයවැය යෝජනාව මඟින් රටේ පවතින බදු පනත් හා නීති කෙටුම්පත් ස්ථාවරත්වයකට පත්වීමේ පෙරනිමිති පළවී තිබුණි. එය රට තුළ ව්‍යවසායකයන් දිරිමත් කරන ප්‍රවණතාවයකි.

වත්මන් රජය අය වැය ඉදිරිපත් කිරීමේදී යම් චක්‍රයක් තුළ ගමන් කරන බවත් පෙනෙන්න තිබේ. 2016 අයවැය හා සම්බන්ධව 2017 අයවැය සකස් කොට තිබුණි. 2017 හා සම්බන්ධව 2018 සකසා තිබුණි. 2018 හා සම්බන්ධව 2019 අයවැය යෝජනා කොට තිබේ. මේ අනුව බලනවිට පෙර අයවැයත් සමඟ සහසම්බන්ධතාවක් මේ අයවැය පද්ධතිය හරහා දැකිය හැකිය. මීට පෙර ඉදිරිපත් වූ අය වැය තුළින් ඇතැම් කාරණා ක්‍රියාත්මක නොවූවද, සමහර යෝජනා සිතූ සේ සාර්ථක නොවූවද මෙම රජය ගෙන ආ අයවැය සමස්තයක් වශයෙන් ජනතාවගේ සිත සුව පිණිස සැකසුණු බව පෙනේ.

පසුගිය අය-වැය යෝජනාවලදී ගෙන ආ එහෙත් ක්‍රියාත්මක නොවූ යෝජනා මෙවර අය-වැය හා සම්බන්ධ කොට මෙම වසරේදී ක්‍රියාත්මක කිරීම රජයේ වගකීම හා යුතුකම වේ. අය-වැයකින් ජනතාවට පොරොන්දු වූ යමක් ඉටුනොකළේ නම් එය ජනතා විශ්වාස බිඳදැමීමකි. එනිසා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි දේ යෝජනා කිරීම මිස ජනතාවගේ සිත සැනසීමට පොරොන්දු දීම රජයක් විසින් නොකළ යුත්තකි.

විද්යුත් මෝටර් රථ

පසුගිය වසරේ අය-වැය ලේඛනයේ දී කෘෂි රක්ෂණ සංකල්පය හා විද්‍යුත් මෝටර් රථ සඳහා පුනර්ආරෝපණ මධ්‍යස්ථාන ඉදිකිරීම ගැන විශාල වශයෙන් කතා බහට ලක්වුණි. එහෙත් එම කාරණා දෙකම ක්‍රියාත්මක කිරීමට රජය අපොහොසත් වී තිබේ. මේ වසරේදීද ඒ සඳහා ප්‍රමුඛස්ථානයක් දී තිබෙන බව පෙනේ. එහෙත් ඒවා ප්‍රායෝගිකව ඉටුකිරීමට රජය කැපවිය යුතුය. ඉන්ධනවලින් ධාවනය කරන මෝටර් රථ හා දෙමුහුන් මෝටර් රථ සඳහා නිෂ්පාදන බදු ඉහළ දැමීමට රජය යෝජනා කර ඇත. ඒ අතර විද්‍යුත් මෝටර් රථ සඳහා නිෂ්පාදන බදු පහළ දැමීමට තීරණය කර තිබේ. ඉන්ධන දහනය මඟින් පරිසරය අධික ලෙස දූෂණය වන අතර ඉන්ධන ආනයනය සඳහා ද විශාල මුදලක් වැයවේ. විද්‍යුත් මෝටර් රථ පරිහරණයට ජනතාව යොමුකිරීමෙන් එකී කාරණා දෙකම වළක්වා ගත හැකිය. එහෙත් විද්‍යුත් මෝටර් රථ ධාවනය සඳහා අවශ්‍ය බැටරි චාර්ජ් සෙන්ටර් තවමත් රටපුරා ස්ථාපිත වී නැති තත්ත්වයක් මත විදුලි මෝටර් රථ දීර්ඝ ධාවනයේ යෙදවීමට පුළුවන්කමක් නැත. මේ හේතුවෙන් පාරිභෝගිකයෝ විදුලියෙන් ක්‍රියාකරන මෝටර් රථ පරිහරණය ප්‍රතික්ෂේප කරනු ලබති. එබැවින් රජය විසින් පළමුව කළ යුත්තේ ‘බැටරි චාර්ජ් සෙන්ටර්’ රටපුරා ඉදිකොට පාරිභෝගිකයාට පහසුකම් සැපයීමය. එම කාර්ය සඳහා ප්‍රථමයෙන් රජය ආදර්ශවත් වී පෞද්ගලික ව්‍යාපාරිකයන් ඒ සඳහා දිරිගැන්වීම් කළ යුතුය. නැතහොත් මෙදා අය වැය තුළින්ද විදුලි මෝටර් රථ සංකල්පය අසාර්ථක වනු නිසැකය.

පසුගිය වසරේදී අඩක් නිම කළ යෝජනා මේ වසරේදී සම්පූර්ණ කිරීම රජයේ වගකීමක් වන අතර ඒ සඳහා දක්ෂ කාර්යක්ෂම නිලධාරින් පත්කිරීම සිදුකළ යුතුය. මක්නිසාද යත් ගියවර යෝජනා අසාර්ථක වීම අදාළ අංශ භාර නිලධාරින්ගේ අදක්ෂතාව නිසා සිදුවූ බැවිනි. ශ්‍රී ලංකාවේ බොහෝ ව්‍යාපෘති ක්‍රියාත්මක නොවීමට හේතුවී තිබෙන්නේ රාජ්‍ය නිලධාරින් දේශපාලනීකරණය වීම හා මාසික වැටුප් ලබන ස්ථිර සේවකයන් වීම හේතුවෙනි. තමන් නියෝජනය කරන දේශපාලන පක්ෂය බලයේ නොසිටිනවානම් ඔව්හු පවතින රජයේ සංවර්ධන ක්‍රියාවලියට සහාය නොදෙති. ස්ථිර සේවයේ නියැළෙන සේවකයන්, වැඩ කළත් නොකළත් රැකියාව අහිමි නොවන බවත්, වැටුප් ලැබෙන බවත් දන්නා නිසා රාජකාරි පැහැර හැරීම ඇතැම් රාජ්‍ය සේවකයන්ගෙන් දක්නට ලැබේ. මෙවැනි ආකල්ප වෙනස්වන තුරු රටේ සංවර්ධනයට බාධා සිදුවන අතර එය ඉතා ඛේදනීය තත්ත්වයකි.

වෘත්තීය පළපුරුදු සහිත දක්ෂ කාන්තාවන් විවාහයෙන් හෝ දරු ප්‍රසූතියෙන් පසු රැකියාවෙන් ඉවත් වීම සුලබව සිදුවන්නකි. ඒ නිසා ඔවුන්ට සහන සැලසීමේ අපේක්ෂාවෙන් දරු ප්‍රසූතියෙන් පසු අවශ්‍ය නිවාඩු ලබාදීම ගැන අවධානය යොමුකර තිබේ. ඊට අමතරව සේවකයන් 250 ට වැඩි ආයතන සදහා දිවා සුරැකුම් ළමා මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට “එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා” වෙතින් “රැකවරණ සහන” ණය යටතේ විශේෂ ණය සේවාවක් හඳුන්වා දී තිබේ. පෞද්ගලික අංශයට ඒ සඳහා ඉදිරිපත් විය හැකිය. එමඟින් කාන්තාවන්ට තිබෙන සංකීර්ණ ගැටලුවක් වන දරුවන් නිවසේ තනිකර යාමේ ප්‍රශ්නයට විසඳුමක් ලැබෙනු ඇත.

කාන්තාවන්ට විවිධ වෘත්තීය පුහුණු ලබාදී රට තුළ කාන්තා ශ්‍රම බළකාය 40% ක් 50%ක් දක්වා ඉහළ තලයකට ගෙන ඒමට රජය ක්‍රියාකිරීමට අපේක්ෂිතය. එය ඉතා ප්‍රශස්ථ ක්‍රියාවකි. නිරපරාදේ අහිමි වන කාන්තා ශ්‍රමය රටේ සංවර්ධනයට දායක කරගැනීමට පියවර ගැනීම දියුණුවන රටකට වැදගත් වේ.

රටක දියුණුවට බෙහෙවින් බලපාන අපනයන ක්‍රියාවලිය වෙත මෙවර අය-වැයෙන් වැඩි අවධානයක් යොමුකර තිබීම ද යහපත් තත්ත්වයකි. අප රටේ රබර් නිෂ්පාදනවලට ජාත්‍යන්තරයේ විශාල ඉල්ලුමක් තිබෙන අතර අතීතයේ දී කළේ රබර් රොටී වශයෙන් අපනයනය කිරීමය. වර්තමානයේ ඒවා අගය වැඩි භාණ්ඩ වශයෙන් පරිවර්තනය කොට ටයර්, අත්වැසුම් හා කාපට් ලෙස නිෂ්පාදනය කොට අපනයනයට යොදා ගැනේ. ඊට අමතරව කුරුඳු හොඳ අපනයන භාණ්ඩයක් බැවින් එහි නිෂ්පාදනය වැඩිකර අපනයන වෙළෙඳ පොළ තවත් පුළුල් කිරීමේ අදහසින් රජය මෙවර අය-වැයෙන් කුරුඳු නිෂ්පාදන සඳහා රුපියල් මිලියන 75 ක් ද රබර් නිෂ්පාදනය දියුණු කිරීම සඳහා නව රබර් වගා ඇති කිරීමට රුපියල් මිලියන 800 ක මුදලක් වෙන්කොට තිබේ.

තේ කර්මාන්තය

තේ අපනයනය මඟින් ද රටට සැලකිය යුතු ආදායමක් ගෙන දුන් අතර මේ වනවිට එය තරමක පසුබෑමකට පත්ව තිබෙන බවක් පෙනේ. එය යළි වර්ධනය කිරීම සඳහා තේ වතු හිමියන් දිරිගැන්වීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට යෝජිතය. තේ කර්මාන්තය කඩා වැටීමට මූලික හේතුවක් වන්නේ නිසි වෙලාවට දළු නෙළීමට ප්‍රමාණවත් ශ්‍රමය නැතිවීමය. තේ දළු නෙළන කාන්තාවන්ට ඉතා අවම දෛනික වැටුපක් ගෙවීම එයට හේතුව වේ. ඒ හේතුවෙන් කාන්තාවන් එම වෘත්තියේ නොයෙදී වෙනත් වෘත්තීන්හි යෙදේ. මෙම ගැටලුවට පිළියමක් වශයෙන් තේ දළු නෙළන්නන්ට දෛනිකව ගෙවන මුදල වැඩි කිරීමට ද රජය පියවර ගැනීමට නියමිතය. එමගින් තේ කර්මාන්තය සඳහා ප්‍රමාණවත් ශ්‍රම දායකත්වයක් ලබාදීම රජයේ අරමුණ වී ඇත.

නිමි ඇඳුම් කර්මාන්තය, කුළුබඩු නිෂ්පාදන කර්මාන්තය, මැණික්, මිනිරන් හා පලතුරු හා බතික් කර්මාන්තයද අප රටට විදේශීය ආදායම් ගෙනෙන මාර්ග වේ. එවැනි ව්‍යාපෘති දියුණු කිරීම මඟින් අපනයන ක්ෂේත්‍රය පුළුල් කිරීමට පෞද්ගලික ව්‍යවසායකයන් දිරිගැන්වීමේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ඇතුළු තවත් ණය ව්‍යාපෘති හා පුහුණු මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට රජය යෝජනා කර ඇත. මෙවැනි ව්‍යාපෘති ‍ෙහ්තුවෙන් රට තුළ නව රැකියා අවස්ථා බිහිවනවා මෙන්ම ඒකපුද්ගල ආදායමත් දළ ජාතික නිෂ්පාදනයත් ඉහළ තලයකට එනු ඇත. අස්ථාවර තත්ත්වයක් මත අඩු වැඩි වශයෙන් දෝලනය වන රුපියලේ අගය සැලකිය යුතු මට්ටමක ඉහළ අගයක රඳවා ගැනීමට අපනයන ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීම සිදුකළ යුතු වනවා සේම දේශීය මුදල් විදේශීය වෙළෙඳ පොළට යාම අවම කිරීමට දේශීය අවශ්‍යතා නිෂ්පාදන හැකි පමණින් වර්ධනය කරගත යුතුය. ඒ සඳහා දේශීය වෙළෙඳ පොළට අවශ්‍ය භාණ්ඩ නිෂ්පාදනාගාර ආරම්භ කිරීම වැදගත්ය.

රටේ සංවර්ධනයට අවශ්‍ය වන කෘෂි කර්මාන්තය වෙනුවෙන්ද මෙවර වැඩි අවධානයක් යොමුකොට තිබේ. ඒ සඳහා අවශ්‍ය වාරි යෝජනා ක්‍රම හඳුන්වා දීමටත් දැනට ක්‍රියාත්මක වාරි ක්‍රම වැඩිදියුණු කිරීමටත් රජය අපේක්ෂා කරයි. පරිසරය සුරැකීම උදෙසා හරිත උද්‍යාන වැඩසටහන පුළුල්ව ක්‍රියාත්මක කිරීමද මෙවර අයවැයේ එක් යෝජනාවකි. ඊට අමතරව වෙරළ තීරයේ විනාශ වී ගිය කඩොලාන ශාඛ යළි රෝපණය කොට වෙරළ තීරයේ ආරක්ෂාව සම්බන්ධයෙන්ද අවධානය යොමුකර ඇත.

රටක ජීවනාලිය බඳු ළමා පරපුර වෙනුවෙන් ඔවුන්ගේ බුද්ධි වර්ධනය හා යහපැවැත්ම සංවර්ධනය උදෙසා අධ්‍යාපනය වෙනුවෙන් නව වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට යෝජනා කර තිබේ. පාසල් අධ්‍යාපනයෙන් විශිෂ්ට දක්ෂතා දක්වන දරුවන් වෙනුවෙන් ලොව හොඳම සරසවිවල අධ්‍යාපනය ලැබීමට අවස්ථා උදාකරදීමට අපේක්ෂා කරන අතර මෙම වසරේදී සිසුන් 14 දෙනෙකුට එම අවස්ථා ලබාදීමට නියමිතය.

උසස් පෙළ සමත්වී විශ්වවිද්‍යාල වරම් නොලබන දරුවන් සඳහා පෞද්ගලික සරසවිවලින් අධ්‍යාපනය ලැබීමට පොලී රහිත රුපියල් මිලියන 1.1 දක්වා ණය මුදලක් ලබාදීමටද කටයුතු කිරීමට යෝජනා කර තිබේ. රට පුරා බොහෝ පාසල්වල යටිතල පහසුකම් ඉතා අවම මට්ටමක පවතින බැවින් ඒවා උසස් මට්ටමකට සංවර්ධනය කිරීමට රුපියල් මිලියන 32,000 වෙන්කර තිබේ. විශ්වවිද්‍යාලවලද යටිතල පහසුකම් යහපත් මට්ටමක නොමැති හෙයින් ඒවා උසස් මට්ටමකට සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 25000 ක මුදලක් ලබාදීමට කටයුතු කිරීමට නියමිතය. ඊට අමතර රුහුණු සරසවියේ සම සෞඛ්‍ය විද්‍යා පීඨයක් ඉදිකිරීමටද සැලසුම්කොට ඇත. අප රටේ භාවිතා වන දෙමළ භාෂාව අනාගත පරපුර තුළ ප්‍රචලිත කිරීමෙන් සංහිඳියාව ප්‍රශස්ත මට්ටමක නැංවිය හැකි බැවින් ගුරුවරුන් සඳහා දෙමළ භාෂාව පුහුණුව සඳහා රුපියල් මිලියන 400 ක් වෙන් කිරීමට යෝජනා කර තිබේ.

රාජ්‍ය සේවා වැටුප්

සෞඛ්‍ය ක්ෂේත්‍ර තුළ නව පිබිදීමක් ඇති කළ “සුව සැරිය” ගිලන් රථ සේවාව වඩාත් පුළුල් කිරීම සඳහා රුපියල් මිලියන 600 ක් සමඟ නව නැවතුම් පොළවල් 300 ක් ක්‍රියාත්මක කිරීමද මෙවර අය වැයේ විශේෂ වූවකි. “සුව සැරිය” ගිලන් රථ සේවය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සක්‍රීයවන සමාජ සේවාවක් වන අතර එමඟින් නොමිලේ රෝගීන් රෝහල වෙත ගෙන යාම සිදුවන අතර විශේෂ පුහුණු වෛද්‍යවරයකු හා හෙදියන් නිරන්තරයෙන් රථයේ රැඳී හිඳී. එම සේවය නිසා මේ වනවිට විශාල රෝගීන් සංඛ්‍යාවකගේ ජීවිත ගැලවී තිබේ.

රාජ්‍ය සේවා වැටුප් වැඩිකිරීම් සඳහා රුපියල් බිලියන 40 ක මුදලක් වෙන්කර තිබෙන අතර රුපියල් 2500 ක වැටුප් වැඩිවීමක් එමඟින් රජයේ සේවකයන්ට හිමිවනු ඇත. විශ්‍රාමික රාජ්‍ය සේවකයන්ද අමතක නොකළ මෙවර අය වැය ඔවුන්ගේ වැටුපද වැඩි කිරීමට පියවර ගෙන ඇත. ඊට අමතරව වැසිකිළි කැසිකිළි පහසුකම් නැති ලක්ෂ 10 කට වැඩි පිරිස් වෙත ඒ පහසුකම් ලබාදීම වෙනුවෙන් රුපියල් මිලියන 4000 ක් වෙන්කර තිබෙනවා සේම මෙම වසර අවසන් වීමට පෙර රටේ සියලුම නිවාස සඳහා වැසිකිළි කැසිකිලි පහසුකම් ඇති කිරීම අපේක්ෂිතය.

ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධනය උදෙසා ව්‍යාප්ත කළ ‘ගම්පෙරළිය’ වැඩසටහන වෙනුවෙන් රුපියල් මිලියන 48,000 ක් ලබාදෙන අතර ආගමික ස්ථාන සංවර්ධනයටද මුදල් ලබාදීමට රජය කටයුතු කරනු ඇත. ආබාධිත පුද්ගලයන් වෙනුවෙන් මෙතෙක් ගෙවන 3000 දීමනාව 5000 දක්වා වකුගඩු රෝගීන් සිටින පවුලක් සඳහා 5000 මාසික දීමනාවක් ලබාදීමටද මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයන් පුනරුත්ථාපනය කිරීමට අඹේපුස්ස නගරයේ නව පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් ඉදිකිරීම ද නව අය වැය යෝජනා අතර වේ. මීට අමතරව නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය හා නිවාස, ගම්මාන වෙනුවෙන් මිලියන 24,000 ක් වෙන් කිරීමටද රජය පියවර ගෙන තිබීම පැසසුමට කාර්යයකි.

මෑත ඉතිහාසයේ ඉදිරිපත් වූ අය-වැය අතුරින් සුවිශේෂී අයවැය යෝජනාවක් ලෙස මෙවර සමස්ත අයවැයම හඳුන්වාදීමට පුළුවන. පටු පරමාර්ථ ඉටුකිරීම වෙනුවට තිරසාර සංවර්ධන යෝජනාවලියකින් පිරිපුන් අයවැයකි. මෙවර යෝජනා වූ අයවැයේ විශේෂත්වය වන්නේ රටේ ආර්ථිකයත්, භෞතික සංවර්ධනයත්, අධ්‍යාපන, සෞඛ්‍ය, කෘෂිකර්මාන්තය හා මානව සංවර්ධනයත් උදෙසා නිර්මාණය වූ එකක් වීමය. මේවා ක්‍රියාත්මක කිරීමේදී යම් යම් ගැටලු මතුවීමට ඉඩ තිබෙන මුත් ඒවාට පිළියම් සොයමින් සාර්ථකව ක්‍රියාත්මක කිරීමට රජයට සහය ලබාදී දිරිගැන්වීම ශ්‍රී ලාංකීය ජනතාව වන අප සැමගේ යුතුකම වන්නේය. ජාති, ආගම්, කුල, දේශපාලන භේදවලින් තොර රටක් වශයෙන් ශ්‍රී ලාංකීය ජාතියක් වශයෙන් ඉදිරියට යාම සැමගේ වගකීම වේ.

සටහන - නිශාන් මෙන්ඩිස්

 


නව අදහස දක්වන්න