විදේශ ශ්‍රමිකයන් ශිල්ප දැනුමින් සවිමත් කිරීම රජයේ අරමුණයි | දිනමිණ

විදේශ ශ්‍රමිකයන් ශිල්ප දැනුමින් සවිමත් කිරීම රජයේ අරමුණයි

උපාලි කරුණාරත්න

විදෙස් රැකියා සඳහා යොමුවන සියලු දෙනාටම වැඩි වැඩියෙන් ශිල්ප දැනුම හා අධ්‍යාපනය ලබාදීම වත්මන් රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

එමගින් ශ්‍රමිකයන්ට ඉපයීම් වැඩි කර ගත හැකි යයිද කී අග්‍රාමාත්‍යවරයා එය රටට ශක්තියක් බව ද කීය.

රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා එසේ ප්‍රකාශ කළේ ඊයේ(11) කොළඹ අරලියගහ මන්දිරයේ පැවැති බස්නාහිර පළාත් රන් නැණ පහන්, විගමනික දෙමාපිය දූ දරු ශිෂ්‍යත්ව ප්‍රධානෝත්සවයට සහභාගි වෙමිණි. මෙහි දී දරු දැරියන් 779 දෙනකු සඳහා රු.19,920,000ක වටිනාකමකින් යුත් ශිෂ්‍යාධාර ප්‍රදානය කරනු ලැබීය. දූ දරුවන්ට මෙන්ම, වැඩිහිටියන්ටද තම විදෙස්ගත සේවයේ සිටින පුද්ගලයා පිළිබඳ තොරතුරක් නොමැති නම් ඒ පිළිබඳ දැනුම් දීම සඳහා 1989 අංකය පැය විසිහතර පුරාම විවෘත බව ද මෙහි දී නිවේදනය කෙරිණ.

එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා-

මෙම ස්ථානයට පැමිණ සිටින ශිෂ්‍ය, ශිෂ්‍යාවන්ට අද දිනයේ ආඩම්බර විය හැකියි. ඔබ අධ්‍යාපන කටයුතු සාර්ථකව ඉදිරියට ගෙන ගිය නිසා ශිෂ්‍යත්වයක් ලැබෙනවා. රජයෙන්, විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ශිෂ්‍ය, ශිෂ්‍යාවන්ගේ දක්ෂකමින් ප්‍රයෝජන ගන්න මේ වැඩ පිළිවෙල තුළින් ශක්තිය ලබා දෙනවා. ඒ නිසා මෙම ශිෂ්‍යත්ව ලාභීන් සෑම දෙනාටම මම සුබ ප්‍රාර්ථනා කරනවා. තවත් ඉදිරියට ගොස් අධ්‍යපනය ලබා ගන්න කියා මා ඉල්ලා සිටිනවා.

තම දරුවන්ට හොඳ අනාගතයන් නිර්මාණය කර දීමට විදෙස්ගත දෙමාපියන් උත්සාහ කරනවා. ඔවුන් පිළිබඳද අපට සතුටු විය හැකියි. විදෙස් ගත වී තම දරුවන්ගේ අනාගතය ශක්තිමත් කර ගැනීමට මේ දෙමාපියන් විවිධ රැකියාවන්හි නිරත වනවා. ඒ වගේම රටට වැඩිම විදේශ විනිමයක් ලබා දෙනවා. විගමනියක සේවකයන්ගෙන් අපට ඩොලර් මිලියන 7000ක් පමණ ලැබෙනවා. ගිය අවුරුද්දේ ඩොලර් මිලියන දහ අටදාහක් දහනව දාහක් පමණ අපට විදේශ විනිමය ලැබුණා. එයින් වැඩිම ආධායම මෙම දරුවන්ගේ දෙමාපියන් රටට ලබා දී තිබෙනවා. ඒ පිළිබඳ දායක වන සියලු දෙනාටම අප ස්තුතිය පුදකරනවා. මෙම දරුවන්ගේ දෙමාපියන් රටට කරන සේවය මතක තබාගෙන අපේ හරීන් ප්‍රනාන්දු ඇමැතිතුමා මේ ශිෂ්‍යත්වය දෙගුණයක් කළා. ඒ නිසා ඇමැතිතුමාටත් මා මේ අවස්ථාවේ ස්තුතිවන්ත වෙනවා.

නිවසක අයිතියක් ලබාගැනීම සහ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීම සෑම පුද්ගලයෙකුගේම සිහිනයක්. එම බලාපොරොත්තු ඉෂ්ට කර ගැනීම සඳහා අපත් මෙම ශිෂ්‍යත්ව වැඩ සටහන තුළින් ශක්තිය ලබා දෙනවා. මෙම අයවැයෙන්ද අලුත් යෝජනා ගෙනාවා. තමන්ට නිවසක් හදන්න අවශ්‍ය නම් රුපියල් මිලියන දහයක ණයක් ලබාදෙනවා. මෙය මුදල් ඇමැතිතුමාට යෝජනා කළේ හරීන් ඇමැතිතුමා. විදෙස් ගත රැකියාවන්හි නිරත වූවන්ට අප විවිධාකාරයෙන් ශක්තිය ලබාදීමට කටයුතු කරනවා.

මා අධ්‍යාපන ඇමැතිව සිටි වකවානුවේ විදේශ රැකියාවන්ට ලාංකිකයින් පිටත් වීම ආරම්භ කළා. එවකට සිටි කම්කරු ඇමැති සි. පී.ජේ සෙනෙවිරත්න මැතිතුමා මේ විදේශ සේවා කාර්යාංශයේ කටයුතු ඇරඹුවා. නීති රීති ගෙන ආවා. එදා බොහෝ පිරිස් මැදපෙරදිග නුපුහුණු රැකියා සඳහා යොමු වුණා. මේ තත්ත්වය වර්තමානයේ වෙනස් වෙමින් තිබෙනවා.

මේ රට තුළ රැකියා ආදායම් මාර්ග වැඩි කරන්න අප කටයුතු කරනවා. ඒ සඳහා අවශ්‍ය දේ අප මේ වන විට සිදු කරමින් තිබෙනවා. විදේශ රටවලට ගොස් රැකියා පළපුරුද්ද සහ ආදායම් ලබා ගැනීමට ශ්‍රමිකයින් කටයුතු කිරීම රටට ලබාදෙන ශක්තියක් ලෙස මා මේ අවස්ථාවේ හදුන්වනවා. විදෙස් රටවලට ගොස් රැකියාවක් කිරීමේ දී දියුණු තාක්ෂණ ක්‍රමවේද අපට දැක බලා ගත් හැකියි. ඒවා අප ලබාගත නැවත මෙරටට පැමිණිය යුතුයි. ඒවා තුළින් අපට ආදායම් ඇතිකර ගත හැකියි.

විදෙස් රැකියා සඳහා යොමුවන සියලු දෙනාටම වැඩි වැඩියෙන් ශිල්ප දැනුම හා අධ්‍යාපනය ලබාදීම අපේ අරමුණයි. මේ තුළින් අපේ ශ්‍රමිකයින්ගේ ඉපයීම් වැඩිකර ගත හැකියි. එය අපේ රටට ශක්තියක්. විදෙස් රැකියා සඳහා යන පුද්ගලයන් අදාළ වෘත්තින් සඳහා පුහුණු කිරීමමේ අවස්ථා වැඩි කරන්න කියා මා හරීන් ඇමැතිතුමාට කියනවා. අප බලාපොරොත්තුව වනවා දැනට තිබෙන පුහුණු කිරීමේ ආයතන ප්‍රයෝජනයට ගෙන විදෙස් ගත වන පුහුණු ශ්‍රමිකයන් වැඩි කිරීමට.

මේ රට නවීකරණ කිරීමේ වැඩපිළිවෙළ අප ආරම්භ කර තිබෙනවා. අක්කර හයසීයක පමණ වෙළඳ කලාපවල කර්මාන්ත තිබෙනවා. බිංගිරියේ අක්කර එක් දහස් දෙසීයකුත්, හම්බන්තොට අක්කර හාරදාහකින් පන්දාහකින් වෙළඳ කලාප ආරම්භ කරනවා. සංචාරක ව්‍යාපාරවලට අවශ්‍ය හෝටල් අප ඉදිකරනවා. කොළඹ වරාය ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය කරන සැළැස්ම අපට භාර දී තිබෙනවා. තොරතුරු තාක්ෂණය වෙනුවෙන් වැඩ සටහන් ආරම්භ කළා. මෙවැනි දේ තුළින් අපට මුදල් ඉපයිය හැකියි. අලුත් ආර්ථිකයකට අප ගමන් කරනවා. එහි දී මෙහි රැස්ව සිටින ශිෂ්‍ය, ශිෂ්‍යාවන්ටද තැනක් ලැබෙනවා. මේ සඳහා සහභාගි වන පිරිසට විදෙස් පළ පුරුද්ද තිබීමද වැදගත්.

පසුගිය කාලයේ බොහෝ දෙනා විදෙස් රැකියා සඳහා ගියේ මැදපෙරදිගට. ජපානයට විශාල පිරිසක් සේවය සඳහා යැවීමට අනාගතයේ අප බලාපොරොත්තු වනවා. මේ පිළිබඳ අපේ ඇමැතිතුමා ජපන් ආණ්ඩුව සමඟ සාකච්ඡා කරනවා. අප රට ජපානය සමඟ තිබෙන හොඳ සම්බන්ධකම් නිසා ජපානයට ගොස් විවිධ වෘත්තීන්හි නිරත වීමට අනාගතයේ වැඩි පිරිසකට අවස්ථාව ලැබෙයි කියා මා ප්‍රකාශ කරනවා. හැබැයි නුපුහුණු තත්ත්වයක් සමඟ ශ්‍රමිකයින්ට ජපානයට යන්න බැහැ. අප බලාපොරොත්තු වන්නෙ පුහුණු ශ්‍රමිකයින් වැඩි වැඩියෙන් ජපානයට, ඇමෙරිකාව වැනි රටවලට යොමු කර අපට ලැබෙන ආදායම, පළපුරුද්ද, දැනුම දියුණු කිරීමට.

අපට ඉදිරියේ දී රැකියා ආදායම් මාර්ග ගණනාවක් ඇතිවෙනවා. එකක් ජපානයේ රැකියා සඳහා යාම. තව එකක් තමයි තමන්ගේ නිවස සංචාරක ව්‍යාපාරය සඳහා යොදා ගැනීම. ආර්ථිකය දියුණු වන්න දියුණු වන්න රැකියා අවස්ථා වැඩි වනවා. අප අමාරු කාලයක් පසුකරමින් සිටියෙ. පසුගිය කාලයේ ණය වෙලා ණය වෙලා තිබුණා. ණය ගෙවීමට පසුබිමක් තිබුනේ නැහැ. මේ තත්ත්වයෙන් අප ගොඩ එමින් තිබෙනවා. අලුත් රැකියා මාර්ග වළින් අප ආදායම් ඉපදවිය යුතුයි. විදෙස් ගත ශ්‍රමිකයින් වෙනුවෙන් ඉටුවිය යුතු සියලු යුතුකම් වත්මන් රජය ඉටුකරන බව මා මේ අවස්ථාවේ දී ප්‍රකාශ කරනවා. විදෙස් ගත ශ්‍රමිකයින් රටට සම්පතක්.

විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා ඇමැති ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා-

අග්‍රාමාත්‍යවරයා ඉදිරිපිට අපේ ඉදිරි දැක්ම පිළිබඳ වැඩ සටහනක් අද ඉදිරිපත් කරනවා. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සුබ සාදනය මගින් මෙවැනි ශිෂ්‍යත්ව වැඩ සටහන් ක්‍රියාත්මක කිරීම පිළිබඳ අප සතුටු විය යුතුයි. විදෙස් ශ්‍රමිකයින්ගේ දරුවන්ගේ අධ්‍යානය සඳහා සහ තවත් වැඩ සටහන් සඳහා මිලියන අටසියකට වැඩි මුදලක් විදෙස් ශ්‍රමිකයින් වෙනුවෙන් වැය කරනවා. මෙහි රැස්ව සිටින දරුවන්ගේ අම්ම, තාත්ත තමන්ගේ විශේෂ අවස්ථාවලට සම්බන්ධ නොවිය හැකියි. මේ නිසා කනගාටුවක් ඇති වෙන්න පුලුවන්. මේකට පිළිතුරක් ලබා දීමේ වැඩ පිළිවෙලක් අප සකස් කරනවා. විදෙස් ශ්‍රමිකයින්ගේ සෑම නිවසකටම ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය හරහා තම අම්මගේ හෝ තාත්තාගේ මුහුණ බලා කතා කර පාසල් යාමට පාසල් ගොස් ආපසු කතා කිරීමට නොමිලේ ක්‍රමයක් ලබාදීම අපේ අරමුණයි. රවුටරයක් හයි කර ජංගම දුරකතනයෙන් හෝ පරිගණකයක් උපයෝගි කරගෙන මෙය ක්‍රියාත්මක කරන්න පුලුවන්. මෙවිට අම්ම තාත්ත ලඟ සිටිනව වගේ දැනෙනවා. මේ සඳහා අලුත් සිම් එකක් භාවිත කළ හැකියි. එය රුපියල් විසිපහක් පමණක වනවා. මේ තුළින් දරුවන්ට අම්මා හෝ තාත්තා සමඟ සම්බන්ධ විය හැකියි.

ගෘහ සේවිකාවන් ලෙස කාන්තාවන් විදෙස් ගත වීම පිළිබඳ විවිධ විවේචන තිබෙනවා. ජනාධිපතිතුමාද මේ පිළිබඳ ප්‍රකාශ කළා. මෙරට යම් පුද්ගලයකු පුහුණුවක් නොමැතිව විදෙස් ගත වීම අප අනුමත කරන්නෙ නැහැ. දහතුන් වසරක අධ්‍යාපනය පිළිබඳ අප සංතෝෂ විය යුතුයි. ඒ පිළිබඳ අග්‍රාමාත්‍යතුමාට අප ස්තුතිවන්ත විය යුතුයි. උසස් පෙළ සියලු දෙනාට විශ්වවිද්‍යාලවලට යන්න බැහැ. අප ලක්ෂ හතරක් දරුවො වයස දාසයේ දී මඟට විසි කරනවා. මෙවැනි තත්ත්වයන් යටතේ මත් උවදුරු, පවුල් ගැටලු සහ විවිද ප්‍රශ්න ඇතිවෙනවා. දහතුන් වසර අධ්‍යාපනය මේ ගැටලුවට හොඳ පිළිතුරක් ලබා දෙනවා. මේ තුලින් සුදුසුකම් ඇති දරුවන් බිහිවනවා.

ඩුබායිවල එක් හෝටලයක 1300ක සේවකයන්ගෙන් 822ක් ශ්‍රී ලාංකිකයො. අපේ ඇතැම් දරුවො වඩුවැඩ, මේසන් වැඩ කිරීම ලැජ්ජාවක් ලෙස සලකනවා. හැමෝටම ගණන් බැහැ. විද්‍යාව බැහැ. නමුත් අප සෑම පුද්ගයකු තුළම යම් කුසලතාවක් තිබෙනවා. ගෘහ සේවිකා වෘත්තියට යාම අඩු කර සාත්තු සේවයට යාම වැඩි කිරීම හොද බව මා දකිනවා. දියුණු රටවල මේ සඳහා රැකියා පවතිනවා. විදෙස් රැකියා සඳහා යන අයගෙන් මා ඉල්ලා සිටින්නෙ විධිමත් ආයතනයක් හරහා විදෙස් ගතවන ලෙස.

විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.ඒ චූලානන්ද පෙරේරා මහතා-

වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ රටේ අධ්‍යපනය වෙනුවෙන් විශාල සේවයක් කළා. මා මිට අවුරුදු තිහකට පෙර රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමා එදා අධ්‍යාපන ඇමැතිව සිටි අවස්ථාවේ පරිපාලන ක්ෂේත්‍රයේ ආදුනිකයකු ලෙස පිළිගත් ආකාරය මට මතකයි.

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත් දරුවන් 163 කු වෙනුවෙන් රු.20, 000 බැගින් රු.3, 260, 000.00ක ශිෂ්‍යාධාර ද, අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සමත් දරුවන් 490 දෙනකු සඳහා රු.25, 000 බැගින් රු.12, 250, 000.00 ක ශිෂ්‍යාධාරද මෙහි දී ප්‍රදානය කරනු ලැබීය. එසේම විශ්වවිද්‍යාල සුදුසුකම් ලැබූ දරුවන් 126 දෙනකු සඳහා රු.35, 000 බැගින් 4, 410, 000.00 ක ශිෂ්‍යාධාර ප්‍රදානය කිරන ලදී.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් 1996 වර්ෂයේ සිට මෙම ශිෂ්‍යත්ව වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන අතර, කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියා සඳහා ගොස් සිටින ශ්‍රමිකයින්ගේ දූදරුවන් සඳහා මෙම ශිෂ්‍යත්ව පිරිනමනු ලැබේ.

මෙම අවස්තාව සඳහා මැති ඇමැතිවරුන් රැසක්, ආයතන ප්‍රධානීන්, ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහභාගි වූහ.

ඡායාරූප - හිරන්ත ගුණතිලක

නව අදහස දක්වන්න